දෙගොඩවාරම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Stay_Safe

Jan 9, 2021

දෙගොඩවාරම

කොයි කවුරුත් තමන්ගේ සැඟවුණු උන්මත්තකයා එක්ක රහසේ ජීවත් වෙන්න කැමැතියි. 

නවකතාකරුවකු, කෙටිකතාකරුවකු මෙන්ම ජනශ්‍රැති පර්යේෂකයකු ද වන ගාමිණී කන්දේපොළ කෘති කිහිපයක් ම සිංහල සාහිත්‍යයට දායාද කළ අයෙකි. 'ටොකු', 'වැහිබිත්තර', 'ඉරවරවර' වැනි නවකතාත්, 'සැලමුතු පෙම' කෙටි කතා සංග්‍රහයත් ඔහුගේ නිර්මාණ අතරින් කැපී පෙනෙයි.

 'ගංගොඩේ අඬහැරේ', 'අපට හිනැහෙන අපේම ජනතකා', 'පුරාණ කෙම් ක්‍රම', 'එදා ගමේ අවුරුදු සිරිත්', 'පුරාණ හේන් ගොවිතැන', 'ගලේ දෙවියන්ගේ අඩවියේ ජනකතා' 'කැලෑව සහ පුරාණ ගම' ඔහුගේ ජනශ්‍රැති විමර්ශන කෘති අතරින් කීපයකි. 'දෙගොඩවාරම' ඔහුගේ අලුත්ම නව කතාවයි. 
'දෙගොඩවාරම' මරදානේ 'සූර්ය' ප්‍රකාශනයකි. 
පිට කවර නිර්මාණය ප්‍රසාද්  සමරසේකර.
මිල රුපියල් 400

"සසා මට සමාවෙන්න .ඔබට මගේ ආත්ම විශ්වාස ය සහ අභිමානය කඩා බිද දමන්නට  ඉඩ දී මාලිගා වක තනි වන සුවච කීකරු බිරිඳක්  පමණක් වෙන්න බෑ මට.මම මගේ නිදහස් සිතිවිලිවලට ආදරෙයි .ඒවා පියාපත්  ලෙස ගෙන ඉහලින්  පියාඹන්න ආසයි.ආදර බැදීමක් තුළ වුවත්  ගැහැනිය කගේ නිදහස් සිතිවිලි පිරිමියකුට මරල දාන්න දෙන්න බෑ."ගාමිණී කන්දෙපොළ


'දෙගොඩවාරම' තරුණ පාඨකයන්ට අලුත් යෙදුමක් නේද? 

ඇත්තටම ඔව්. ඒත් මේක වියළි කලාපෙ ගොවියන් අතර තියෙන පරණ යෙදුමක්. මාස් කන්නෙ වැස්ස පටන් ගන්න කලින් ඊසාන දිගින් වාගෙම නිරිත දිගින් විදුලි කොටලා අකුණු ගහල දෙපැත්තෙම අරගලයක් ඇති වෙනවා. ඒ මැද ඇතිවෙන කුණාටුවටයි 'දෙගොඩවාරම' කියන්නේ. ඒත් මේ නවකතාවේ මේක සංකේතයක් විතරයි. මේ කතාවේ කියන්නේ මිනිස් සිතේ කැලඹෙන සිතුවිලි අරගලයක් ගැන. මේ සිතුවිලි කුණාටුවල නිශ්චිත කාලයක් හැඩයක් ප්‍රමාණයක් හොයන්න අමාරුයි. 

ඔබේ නවකතාවලත් ජනශ්‍රැතිවලත් වැඩිපුර සාකච්ඡා කළේ පරිසරය, සොබාදහම ආශ්‍රිත කාරණා. ඒත් 'දෙගොඩවාරම' ලිංගිකත්වය පදනම් කොටගෙන ලියැවුණු නව කතාවක් බව පේනවා. ඇයි ඔබ ඔබේ ට්‍රැක් මාරු කළේ? 

මේ තේමාවත් සමස්ත පරිසරයෙන් බැහැර කරන්න බෑ. සමස්ත පරිසරයේ පැවැත්ම තීරණය වෙන්නේ ඇත්තටම ලිංගිකත්වය මත. අපි ලිංගික සත්වයෝය යන්න සඟවා ගන්න තවමත් සමහරු උත්සහ දරනවා. මේ කතාව ගෙතෙන්නේ විකෘති ලිංගික කාමාශාවන් සහිත විරූපී පුද්ගලයකුගෙ හැසිරීම් වටා. පොදු සමාජය ඔහු දිහා බලන විදියත් ඔහු ඒ තත්ත්වයට පත් වෙන්න හේතුවත් මේකෙ මතු කරනවා.

ඇයි ඒ වගේ උමතූ චරිතයක් සමාජය ඉදිරියේ පෙන්වන්න උත්සහ ගන්නේ? 

ඔහුගේ උමතූ බව බාහිරට පේන බව ඇත්ත. ඒත් ලෝකයේ ජීවත් වන හැම ගෑනියක මිනිසකු තුළමත් උන්මත්තකයෙක් හැංගිලා ඉන්නවා. 'සබ්බේ පුතජ්ජනා උම්මත්තකා' කියලා බුදු දහමේ ඉගැන්වෙනවා. අපි සමාජගත වුණාම, බාහිරින් සංස්කරණය වෙලා හිටියට ඕනෑම කෙනෙක් කැමතියි තමන්ගෙ සැඟවුණු උන්මත්තකයා එක්ක රහසේ ජීවත් වෙන්න. තමන්ගේ අභ්‍යන්තර චරිතය තමන්ටම කියවගන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන් ද කියල මම මේ කතාවෙන් උත්සාහ ගන්නෙ.

ඒත් ලිංගිකත්වය වගේ දේවල් උලුප්පා දක්වනවාට වඩා නවකතාකරුවාට සමාජ දේශපාලන වගකීමක් තියෙනවා නේද? 

පුද්ගල මනස කියවා ගැනීමට පාඨකයාට අවස්ථාවක් දීමත්, සමාජ දේශපාලනික කාරණයක් තමයි. ලිංගිකත්වය දේවභාෂිතවක් වගේ. ආරක්ෂා කළ යුතු සඟවා තබා ගත යුතු දෙයක් නොවෙයි. එහෙම වුණාම තමයි බොහෝ සමාජ ප්‍රශ්නවලට මුලපිරෙන්නේ. ජාතක පොතේ පවා ලිංගිකත්වය සාකච්ඡා කරනවා. නවකතාකරුවා කරන්න ඕනෑ භාවයන් ප්‍රකෝප නොවන විදියට සංයමයෙන් පාඨකයාට මේ කාරණය කියවා ගන්න අවස්ථාවක් දීමයි. 

ඒත් මේක වෙළෙඳ විජ්ජාවක් වගෙයි පේන්නේ. 

නවකතාකරුවා ලිංගිකත්වය අලවිකරණ වෙළෙන්ඳෙක් විය යුතු නැහැ. ඔහු භාෂාව ආයුධයක් කරගෙන මූර්තියක් තනන්නෙක්. පාඨකයාට විවිධ හැඩවලට ඒක කියවා ගන්න පුළුවන් වෙන්න ඕනෑ‍. 

වත්මන් සිංහල නවකතා ගැන මොකද හිතන්නේ?

හොඳ නවකතා ලියන අලුත් පරම්පාරාවක් අපට ඉන්නවා. ඒත් සිංහල නවකතාව තවමත් පැරණි ආකෘතිය හා පැරණි තේමා තුළම පල් වෙමින් තියෙන බව පේනවා. සිංහල නවකතාවට අලුත් අත්හදා බැලීම් ඕනෑ‍. අලුත් සමාජ හා පුද්ගල කියවීම් සහිත තේමා ගැන අලුත් නවකතාකරුවන්ගේ අවධානය යොමු වීම වැදගත්. එහෙම වුණොත් අලුත් පාඨක ලෝකයක් ගැන බලපොරොත්තු තියා ගන්න පුළුවන්. පොතපත කියවන පාඨකයන් නැතැයි චෝදනා කිරීම වෙනුවට පාඨකයා කියවීමට පොළොඹවන සුළු නව අත්හදා බැලීම් සහිත නිර්මාණ බිහි කර ගැනීමයි කළ යුත්තේ. පාඨකයා දිනා ගැනීමේ අභියෝගය ඇත්තේ ලේඛකයාටමයි. හොඳ පොත් පාඨකයා අතරට ගෙන යෑමට විචාරකයාගේ මැදිහත් වීම ලැබුණොත් උසස් පාඨක පිරිසක් බිහිකර ගැනීමට බැරිවෙන්නේ නෑ.

෴සාගර෴

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe