ඇෆ්ගන් යුද්ධය අවසන් කරනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 15, 2021

ඇෆ්ගන් යුද්ධය අවසන් කරනවා

නිමාවක් නැති ඇෆ්ගන් සංග්‍රාමය නිමා කරන බවත්, ලබන මැයි පළමු වැනිදා සිට, ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගෙන්වා ගැනීම ආරම්භ කරන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

මේ වනවිට ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් සොල්දාදුවන් 2,500 ක පිරිසක් රඳවා තැබේ. මොවුන් ක්‍රියා කරන්නේ ඇෆ්ගන් රජයත්, ආරක්ෂක අංශවලටත් සහාය දක්වන උපදේශකරුන් ලෙස පමණි. යුද ගැටුම්වලට මෙම පිරිස සම්බන්ධ වෙන්නේ නැත. ඇෆ්ගන් හමුදා සහ පොලිස් නිලධාරීන් පුහුණු කිරීම ද මෙම ඇමෙරිකන් සොල්දාදුවන් විසින් සිදු කරනු ලබයි. 

මෙම සොල්දාදුවන් 2,500 දෙනා, අදියර කීපයක් යටතේ කාණ්ඩ වශයෙන් ආපසු ඇමෙරිකාවට ගෙන්වා ගැනීම මැයි පළමු වැනිදා ආරම්භ වන බවත්, එම කටයුතු එලැඹෙන සැප්තැම්බර් 11 වැනිදා වනවිට එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවේ, ධවල මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය. 

ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය, මගී ගුවන් යානා පැහැර ගනිමින් ඒවා යොදාගෙන ඇමෙරිකාවට පහර දුන්නේ 2001 සැප්තැම්බර් 11 වැනිදාය. ඒ, මීට වසර 20 කට පෙරය. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමත්, තලේබාන්වරුන්ට එරෙහි යුද ප්‍රකාශ කිරීමත් සිදුවූයේ ඉන්පසුවය. 

‘වසර 20 ක් තිස්සේ ඇෆ්ගන් යුද්ධය ඇදගෙන යන්න ඇමෙරිකාවට ඕනෑ වුණේ නැහැ. ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. ඒ අනුව, ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළා. ඒක පැහැදිලි අරමුණකින් සහ පැහැදිලි සැලසුමකින් කළ ආක්‍රමණයක්. 2011 දී ඇමෙරිකන් හමුදා බින් ලාඩන් ඝාතනය කළා. අද වනවිට ඇෆ්ගනිස්තානයේ අල් කයිඩා සංවිධානය අඩපණ වෙලා. ඒ නිසා නිමාවක් නැති ඇෆ්ගන් සංග්‍රාමය නිමා කිරීමට කාලය ඇවිල්ලා’ යැයි ජනාධිපති බයිඩන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. 

 ඇෆ්ගන් සංග්‍රාමය යනු ඇමෙරිකාව සම්බන්ධ වූ දීර්ඝතම යුද සංග්‍රාමයයි. ඇෆ්ගන් සංග්‍රාමයට සම්බන්ධ වී දිවි පිදූ ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 2,448 කි. ඇමෙරිකාවට මෙම සංග්‍රාමය සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් ටි්‍රලියන 2 ක් යැයි ද පැවැසෙයි.

 2001 සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩාව ඇමෙරිකාවට පහරදීමෙන් පසු ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ එම වසර අවසානයේය. ඒ, අල් කයිඩා නායක බින් ලාඩන් ඇෆ්ගනිස්තානයට ගොස්, ඇෆ්ගන් තලේබාන් පාලකයන්ගේ රැකවරණය ලැබීම හේතුවෙනි. 

බින් ලාඩන් බාර දෙන්නැයි ඇමෙරිකාව කළ ඉල්ලීම තලේබාන්වරු ප්‍රතික්ෂේප කළ අතර, ඇමෙරිකාව, සෙසු නේටෝ සාමාජික රටවල හමුදා එක් කර ගනිමින්, ඇෆ්ගන් තාල්බාන් පාලනය පෙරළා දමා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය. ඇෆ්ගන් සංග්‍රාමය ආරම්භ වූයේ ඒ අනුවය. 

ඉන්පසු ඇමෙරිකාව සහ බටහිර රටවල අනුග්‍රහය යටතේ ඇෆ්ගනිස්තානයේ රජයක් පිහිටුවීය. ඇෆ්ගනිස්තානයේ වත්මන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල අනුග්‍රහය යටතේ තෝරා පත් කර ගත් ජනාධිපතිවරයෙකි. 

ට්‍රම්ප් පරිපාලනයට පෙර ඔබාමා පරිපාලනය පැවැති අවස්ථාවේදී, ඔබාමා මැදිහත් වී, ඇෆ්ගනිස්තානයේ යුද පෙරමුණේ සිටි සොල්දාදුවන් සියල්ල ආපසු ගෙන්වා ගැනීමට ද කටයුතු කළේය. 2,500 ක පිරිසක් ආරක්ෂක උපදේශකවරුන් ලෙස රැඳවීම කළේ ජනපති ඔබාමාය. ඒ, තමන්ට ආරක්ෂාවත් පුහුණුවත් අවශ්‍ය බව ඇෆ්ගන් රජය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි. ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, උප ජනාධිපති ලෙස කටයුතු කළේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ය. 

වත්මන් ජෝ බයිඩන් ට පෙර ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූ ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කිරීමට සාම සැලැස්මක් සකස් කළේය. ඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතරේ සාම සාකච්ඡා පැවැත්වූයේ දෝහා කටාර් හි පිහිටි තලේබාන් සාම කාර්යාලය හරහාය. අද වනවිට බයිඩන් පරිපාලනය, ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කරන්නේ එම සාම කතා සාර්ථක වීම හේතුවෙනි. 

ඇමෙරිකාව ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කිරීමට මෙසේ තීරණය කර ඇත්තේ නේටෝ සංවිධානය සමඟ සාකච්ඡා පවත්වමිනි. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී නේටෝ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත් වූයේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ය. ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමට පාකිස්තානය ද මැදිහත් වී සිටී. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලිකන් සහ පාකිස්තාන හමුදාපතිවරයා අතරේ ද දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි. 

ඇමෙරිකා ජනාධිපති බයිඩන්, ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කරමින්, ඇමෙරිකන් සොල්දාදුවන් ආපසු ගෙන්වා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇෆ්ගන් ජනාධිපති අෆ්රාෆ් ඝානී, ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබේ. ‘ඇමෙරිකාව ගත් තීරණයට පූර්ණ සහාය දෙනවා’ යැයි ඇෆ්ගන් ජනාධිපතිවරයා එම ට්විටර් පණිවුඩයෙන් පවසා තිබේ.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom