චීන ගගනගාමිනියක් උඩු ගුවනේ වැඩ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 9, 2021

චීන ගගනගාමිනියක් උඩු ගුවනේ වැඩ

චීනය ඔවුන්ටම කියා අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකිරීම ආරම්භ කර තිබේ. මෙම නැවැතුම්පොළ නම් කර ඇත්තේ 'ටියැංගොන්' යන නමිනි. නැවැතුපොළට සම්බන්ධ කෙරෙන කොටස් (මේවා හැඳින්වෙන්නේ මොඩියුල යන නමිනි.) අදියර කීපයකින්, රොකට්ටු මගින් උඩු ගුවනට යවා එකිනෙක හා සම්බන්ධ කරමින් එකලැස් කිරීම් කරයි. 'ටියැංගොන්' නැවැතුම්පොළට සම්බන්ධ ප්‍රධාන මොඩියුලය හැඳින්වෙන්නේ 'ටියැංහේ' යනුවෙනි. 

මේ වනවිට, චීන ගගනගාමීහු තිදෙනෙක් ටියැංහේ මොඩියුලයේ රැඳී සිටින අතර ඔවුන් නැවැතුම්පොළ ඉදිකිරීමේ එකලැස් කිරීමේ කටයුතුවලට නියැළෙති. එම ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු කාන්තාවකි. ගගනගාමිනියකි. ඇය 41 හැවිරිදි වැංග් යපින් ය. පසුගිය අට වැනි දා යපින් වාර්තා අතරට එක් වූයේ චීනයට අභිමානයක් ද එක් කර දෙමිනි. චීනය නියෝජනය කරමින් ගගන සක්මනකට එක් වී එය සම්පූර්ණ කළ පළමු කාන්තාව බවට ඇය පත් වූවාය.

අභ්‍යවකාශ නැවැතුම්පොළේ එකලැස් කිරීම් සඳහා වැංග් යපින් සමඟ අභ්‍යවකාශයට ගොස් සිටින සෙසු ගගනගාමීන් දෙදෙනා වන්නේ 55 හැවිරිදි සායි ෂි ගැංග් සහ 41 හැවිරිදි යේ ග්වංෆු ය. මෙම ගගනගාමීන් තිදෙනාගෙන් යුත් කණ්ඩායම හැඳින්වෙන්නේ 'ෂෙන්සු13' යන නමිනි. කණ්ඩායමේ නායකයා සායි ෂි ගැංග් ය. 

මොවුන් තිදෙනා, මාස 6 කට වැඩි කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමට නියමිතය. චීන ගගනගාමීන් කණ්ඩායමක් මාස 6 ක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටින පළමු අවස්ථාව වන්නේ මෙය යැයි චීන මාධ්‍ය පෙන්වා දෙයි. මොවුන් තිදෙනා අභ්‍යවකාශය බලා පිටත්ව ගියේ පසුගිය ඔක්තෝබර් 16 වැනිදාය. ඒ, ගෝබි කාන්තාරයේ පිහිටි චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. 

 ගගන සක්මන (ස්පේස් වෝක්) යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ ගගනගාමියකු හෝ ගගනගාමිනියක අභ්‍යවකාශයේ පාවෙමින් කිසියම් කාර්යයක නියැළිමය. ගගන සක්මන යැයි කීවත්, අභ්‍යවකාශයේ සක්මන් කළ නොහැකි අතර, කළ හැක්කේ පාවී යෑම පමණි. පසුගිය නොවැම්බර් 8 වැනිදා 'ටියැංහේ' මොඩියුලයෙන් පිටත අභ්‍යවකාශයට පා වී ආ වැංග් යපින් ට පැය 6 ක මෙහෙයුමක් පැවැරී තිබුණි. යපින් විශේෂිත කේබලයකින් මොඩියුලය හා සම්බන්ධ වී සිටියාය. යපින් පැය 6 ක් සහ මිනිත්තු 25 ක් පුරාවට අභ්‍යවකාශයේ රැදී සිටිමින් ඇයගේ මෙහෙයුම් කටයුතු සාර්ථකව අවසන් කළාය. ඇය වාර්තා අතරට එක් වූයේ ඒ අනුවය. 

මොඩියුලය තුළ සිටි සායි ෂි ගැංග් සහ යේ ග්වංෆු අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කළහ. ඉදිවෙමින් පවතින 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළට පැමිණ සිටින පළමු කාන්තාව ලෙස සැලකෙන්නේ වැංග් යපින් ය. වැංග් යපින් උපත ලබා ඇත්තේ 1980 ජනවාරි 27 වැනිදාය. පාසල් අධ්‍යාපනය අවසන් වීමෙන් පසු ඇය ගුවන් හමුදා නියමුවකු ලෙස පුහුණුව ලැබුවාය. ඇය චීන අභ්‍යවකාශ වැඩසටහනට සම්බන්ධ වූයේ ප්‍රහාරක යානා ගුවන් නියමුවකු ලෙසිනි. ඇය විවාහකය. 

චීනය නියෝජනය කරමින් අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාව වන්නේ ලී යැංග් ය. ඇය එම වික්‍රමය කළේ 2012 දීය. යපින් අභ්‍යවකාශයට ගිය දෙවැනි චීන කාන්තාව වන අතර ගගන සක්මනක නියැළුණු පළමු කාන්තාවය. යපින් අභ්‍යවකාශයට ගිය දෙවැනි චීන කාන්තාව බවට පත් වූයේ 2013 වසරේ 'ෂෙංග්සු 10' මෙහෙයුමට සම්බන්ධ වීමෙනි. 

'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළේ එකලැස් කිරීම්වලට සම්බන්ධ වීම වැංග් යපින්ගේ දෙවැනි අභ්‍යවකාශ සංචාරය බව පැවැසෙයි. චීනය බලාපොරොත්තු වන්නේ 2022 වසර අවසන් වීමට පෙර 'ටියැංගොන්' නැවැතුම්පොළ ඉදිකර අවසන් කිරීමටය. මෙය මේ වනවිටත් අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ තරම් විශාල එකක් නොවන බව චීනය පවසා ඇත. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ ආයු කාලය 2030 දී අවසන් වීමට නියමිතය.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom