නිතිෂ් තිවාරිගේ රාමායණ එනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 31, 2026

නිතිෂ් තිවාරිගේ රාමායණ එනවා

සිනමාලෝලීන් මහත් උනන්දුවෙන් මගබලා සිටි, නිතිෂ් තිවාරිගේ දැවැන්ත සිනමා නිර්මාණය වන ‘රාමායණ’ චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට නිකුත් වී අවසන්ය. රාම රාවණා කතාව පදනම් කරගනිමින් නිර්මාණය වන මෙම දැවැන්ත සිනමා පටයේ ප්‍රධාන චරිත සඳහා රන්බීර් කපූර්, සායි පල්ලවී, යෂ්, සනී ඩියෝල්, රකුල් ප්‍රීත්, විවේක් ඕබරෝයි, සෞරභ් සච්දේවා, ලාරා දත්තා සහ රවි ඩුබේ යන ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් දායක වෙති. 

රාමගේ චරිතයට පණ දෙන්නේ බොලිවුඩ් සිනමාවේ ආදරණීය නළු රන්බීර් කපූර්ය. සීතා ලෙස දෙමළ සහ තෙලිගු සිනමාවේ ජනප්‍රිය නිළි සායි පල්ලවී මෙන්ම ත්‍රෛලෝකයේ පාලකයා රාවණ ලෙස කණ්ණඩ සිනමාවේ සුපිරි දැවැන්තයා යෂ් ප්‍රධාන චරිතවලට දායක වෙති. 

 ඊට අමතරව, ප්‍රවීණ බොලිවුඩ් නළු සනී ඩියෝල් හනුමා ලෙසත්, රවී ඩුබේ රාම්ගේ සොහොයුරු ලක්ෂ්මන ලෙසත් රාම් සහ ලක්ෂණගේ පියා දශරාත් ලෙස අරුන් ගෝවිල් ද, මන්දෝදරී ලෙස කාජල් අගර්වාල් ද ලාරා දත්තා කෛකෙයි රජ බිසව ලෙසත් රංගනයෙන් දායක වෙති. 
මිනිත්තු හතරක පූර්ව ප්‍රචාරක පටය ආරම්භ වන්නේ රාවණගේ චරිතයට පණ දෙන සුපිරි කණ්ණඩ නළු යෂ්, සිය ආධිපත්‍ය පෙන්වන ආකාරයෙනි. ඉන් අනතුරුව, විෂ්ණු දෙවියන්, රාම ලෙසින් පෙනී සිටින ආකාරය දකින්න ලැබෙයි. රාමගේ චරිතයට පණ දෙන රන්බීර් කපූර් ඔහුගේ පියා වන දශරථ රජු විසින් ජනතාවට හඳුන්වා දීම සිදුවන ආකාරය ද පූර්ව ප්‍රචාරක පටයේ ඇත. එහිදී මිනිස් සංහතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් තම ජීවිතය වුව ද කැප කිරීමට සූදානම් බවට රාම ප්‍රතිඥා දෙයි. 

රාම සහ සීතාගේ විවාහ මංගල්‍යයේ සිට ඔවුන්ගේ වසර 14 ක වනවාසය ආරම්භ වීම දක්වා වූ වීර කාව්‍යයේ ප්‍රධාන සිදුවීම් රැසක් මෙම පූර්ව ප්‍රචාරක පටය ඔස්සේ දැකගත හැකිය. රාවණාගේ සොහොයුරිය වන සූර්පනඛා ලෙස ජනප්‍රිය තෙලිගු නිළි රකුල් ප්‍රීත් රංගනයෙන් එක් වෙයි. රාම රාවණා ගැටුම ආරම්භ වන්නේ සහ රාවණ සිය පළි ගැනීම සිදු කරන්නේ, රාමගේ සොහොයුරු ලක්ෂ්මන, සූර්පනඛාගේ නාසය කපා දැමීමෙනි. 

එය මෙම චිත්‍රපටයේ ද කතා තේමාවට අදාළ වෙයි. ‘රාවණා ත්‍රෛලෝකයේම පාලකයා නම්, ඔහුගේ මරණයට ද ලෝක ත්‍රයම සාක්ෂි දරනු ඇත’ යැයි පවසමින් රාම පවසන ආකාරය ද පූර්ව ප්‍රචාරක පටයේ ඇත. 

නමිත් මල්හෝත්‍රාගේ Prime Focus Studios, DNEG සහ යෂ්ගේ Monster Mind Creations යන ආයතන එකමුතුවෙන් නිෂ්පාදනය වන ‘රාමායණ’ චිත්‍රපට ද්විත්වයේ, පළමු කොටස මෙම 2026 දීපවාලී උත්සව සමයේදී ලොව පුරා සිනමාහල්වල තිරගත වීමට නියමිත අතර, දෙවන කොටස 2027 වසරේදී තිරගත කිරීමට සැලසුම් කර ඇත.

Classified_Ad