ජීවත් වීමට අවශ්ය සාධක මොනවාද? ජීවත් වීමට සහ ජීවිතය රැක ගැනීමට ජලය අවශ්යයි. ශක්තිය සහ වර්ධනයට අවශ්ය පෝෂ්ය පදාර්ථ සහිත ආහාර අවශ්යයි. ශ්වසනය සඳහා ඔක්සිජන් අවශ්යයි. සෛලීය ක්රියාකාරීත්වයට හිතකර සුදුසු උෂ්ණත්ව පරාසයක් අවශ්යයි. ආරක්ෂාව සඳහා සුදුසු වාසස්ථානයක් මෙන්ම ශාකවල ආහාර නිෂ්පාදනයට සහ ජීවීන්ගේ ක්රියාකාරකම්වලට අත්යවශ්ය සූර්යාලෝකය අවශ්යයි. ජීවත් වීමට අවශ්ය මූලික සාධක වන්නේ මේවාය.
ඔබ දන්නවාද? පෘථිවියේ, ඕනෑම පරිසරයක; අධික සීතල හෝ අධික උණුසුම් පරිසරයක ජීවත් වීමට සහ දිවිරැකගෙන සිටිය හැකි, එපමණක් නොව, වායුගෝලයක් නොමැති නිසල සඳ මත පවා දිවි රැක ගනිමින් ජීවත් වීමට හැකි පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්ර ජීවීන් සිටින බව. ඒ අතරින්, ඉදිරියෙන්ම සිටින්නේ; විද්යාඥයන් මවිත කළ ටාඩිග්රේඩ්ස් නමැති ක්ෂුද්ර ජීවී විශේෂයයි.
අන්වීක්ෂයක් තුළින් බැලුවොත්, ටාඩිග්රේඩ්ස් හුරුබුහුටි පෙනුමක් ගත්, පාද බොහොමයක් ඇති වළසකු හා සමානය. මේ නිසාම, විද්යාඥයෝ ‘දිය වළසුන්’ යන නමින් ද ටාඩිග්රේඩ්ස් හඳුන්වති.
අපේ මේ කතාවේ කථා නායකයා හඳුනා ගැනීමට පෙර, අපි ටාඩිග්රේඩ්ස් හෙවත් ‘දිය වළසුන්’ යනු කවුරුන්දැයි හඳුනා ගනිමු.
ටාඩිග්රේඩ්ස් යනු මිලිමීටරයකටත් වඩා කුඩා ප්රමාණයකින් යුත්, පාද අටකින් සමන්විත, ඉතා මන්දගාමී කුඩා ජීවීන් විශේෂයකි. හුරුබුහුටි පෙනුමක් තිබුණ ද, ටාඩිග්රේඩ්ස් ජීවීන්ගේ ඕනෑම පාරිසරික තත්ත්වයකට හැඩ ගැසීමට ඇති හැකියාව විස්මිතය. උණුසුම් කාන්තාරවල දරාගත නොහැකි දැඩි උෂ්ණත්වයේ සිට, ඇන්ටාක්ටිකාවේ දරාගත නොහැකි දැඩි ශීතල මෙන්ම මුහුදේ පතුලේ අධික පීඩනයට පවා ඔරොත්තු දීමට ටාඩිග්රේඩ්ස්ට ඇති හැකියාව විස්මිතය.
කිසිවක් නොමැති, රික්තකයක් ලෙස සැලකෙන අභ්යවකාශයේ, මාරාන්තික කොස්මික් විකිරණ හමුවේ පවා දිවි රැක ගැනීමටත්, ජීවත් වීමටත් ටාඩිග්රේඩ්ස් සමත් වෙයි. ඒ නිසාම, ටාඩිග්රේඩ්ස් ‘සුපිරි ජීවියකු’ ලෙස පිළිගැනෙයි. ඇමෙරිකාවේ නාසා ගගනගාමීන් සඳට යද්දී ද ටාඩිග්රේඩ්ස් රැගෙන ගොස් ඇත. ඒ, ටාඩිග්රේඩ්ස්ගේ දිවි රැක ගැනීමට ඇති හැකියාව සොයා බැලීමටය.
එහි ප්රතිඵලයක් ලෙස අද වන විට සඳ මත පවා ටාඩිග්රේඩ්ස් ක්ෂුද්ර ජීවීන් නිරුපද්රිතව සිටින බව පැවැසෙයි.
වාතය නොමැති විට, ජලය නොමැති විට, ටාඩිග්රේඩ්ස් ජීවීන්, ‘ක්රිප්ටොබයෝසිස්’ නමැති අක්රිය තත්ත්වයට පත් වෙයි. දශක ගණනක් ඔවුන්ට මෙම තත්ත්වය යටතේ සිටිය හැකිය. යළි ජලය, වාතය හෝ ජීවත් වීමට අවශ්ය සාධක ලැබුණු සැණින්, ටාඩිග්රේඩ්ස් සක්රිය වෙයි. එය හරියට ශිශිරතරණ නින්දකින් අවදි වෙනවා වැනිය.
ශිශිරතරණය යනු ඇතැම් සතුන් (සෘතු භේදයට මුහුණ දෙන ඇමෙරිකාවේ වළසුන්, මීයන් මකුණන් වැනි සතුන්) දැඩි ශීත කාලගුණයක් සහ ආහාර හිඟයක් පවතින කාලවලදී තම ශරීරයේ පරිවෘත්තීය ක්රියාවලීන්, ශරීර උෂ්ණත්වය මෙන්ම හුස්ම ගැනීමේ වේගය ඉතා අවම මට්ටමකට පාලනය කර ගනිමින්, බලශක්තිය ඉතිරි කර ගනිමින් ශීත සමය පුරාම ගැඹුරු නින්දක යෙදෙන විස්මිත ස්වභාවික පැවැත්මේ ක්රියාවලියකි.
දැන් අපි අපේ කතාවේ කතා නායකයාට යොමු වෙමු. මේ සතා කිසියම් දුර බැහැර ග්රහලෝකයකින් ආ සතකු නම් නොවෙයි.
ජීවත් වීමට අවශ්ය සාධක නොමැතිව, දිවි රැක ගැනීමට හැකියාව ඇත්තේ ටාඩිග්රේඩ්ස් හෙවත් ‘දිය වළසුන්’ ට පමණක් යැයි සිතූ විද්යාඥයන් මවිත කිරීමට මේ නව සත්වයා සමත් විය.
නවතම ‘සයන්ස් ඇඩ්වාන්ස්ඩ්’ සඟරාවේ පළ වී ඇති විද්යා ලිපියකට අනුව, විද්යාඥයන්ට ටාඩිග්රේඩ්ස් පරයන ආකාරයේ මෙම නව අන්වීක්ෂීය ජීවියා හමුවී ඇත්තේ අප අවටින්ය. අපේ ගෙවත්තේ ඇති මල් පෝච්චියක, තෙතබරිත පාසි අතරේ හෝ ජල තටාකයක හෝ මේ ජීවීන් දකින්න ලැබේ. මේ ජීවියා රොටිෆර්ය.
ටාඩිග්රේඩ්ස් ගැන ඉහත සඳහන් විස්තර අසා ඔබ පුදුමයට පත්වූවා නම්, විද්යාඥයන් රොටිෆර් යනුවෙන් නම් කළ මේ නවක ක්ෂුද්ර ජීවියා ගැන අසද්දී, ඔබ පුදුමයෙන් පුදුමයට පත් වනු නිසැකය.
‘බඩෙලොයිඩ් රොටිෆර්’ යනුවෙන් හැඳින්වෙන මෙම ජීවියා, විද්යාත්මකව ‘ඇඩිනෙටා වැගා’ නමැති කාණ්ඩයට අයත් බව විද්යාඥයන්ගේ පැහැදිලි කිරීමය.
ඕනෑම පරිසරයක ජීවත් වීමට සහ දිවි රැක ගැනීමට රොටිෆර් සමත් වන්නේ, පරම්පරාවෙන් පරම්පරාවට, මෙම ක්ෂුද්ර ජීවීන්ට උන්ගේ ඩීඑන්ඒ සහ වර්ණදේහ අලුත්වැඩියා කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති නිසාය. ‘බඩෙලොයිඩ් රොටිෆර්’ සොයා ගැනීම කළේ කැරින් වැන් ඩොනින්ක් සහ බර්නාඩ් හැලට් යන ප්රකට විද්යාඥයන් දෙදෙනාය. ඒ, වසර කීපයක් තිස්සේ සිදු කළ පර්යේෂණවලින් අනතුරුවය.
මීට අමතරව, ජාත්යන්තර විද්යාඥයන් කණ්ඩායමක්, කැරින් වැන් ඩොනින්ක් සහ බර්නාඩ් හැලට් සමග එක් වී මෙම සොයා ගැනීමට දායක වුණු බව ද පැවැසෙයි.
ස්වභාවධර්මය යනු පුදුම සහගත රහස්වල එකතුවක් බව ‘බඩෙලොයිඩ් රොටිෆර්’ හමුවීමෙන් තහවුරු වුණැයි කැරින් වැන් ඩොනින්ක් සහ බර්නාඩ් හැලට් පවසති.
අප මනුෂ්යයන් ඇතුළු සාමාන්ය ජීවීන්ගේ සෛලවල ඩීඑන්ඒ හෝ වර්ණදේහ බිඳී ගියොත් එය මාරාන්තික තත්ත්වයක් බවට පත් වෙයි. ඒත් රොටිෆර් සම්බන්ධයෙන් එය එසේ නොවෙයි.
දැඩි විකිරණ හෝ දැඩි වියළි ස්වභාවයක් නිසා රොටිෆර්ගේ වර්ණදේහ සම්පූර්ණයෙන්ම කුඩා කැබලිවලට බිඳී ගියත්, උන් ක්ෂණිකව මියයෑමක් සිදුවන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ, එම බිඳුණු වර්ණදේහ කැබලි එලෙසම ස්ථාවර කර, ඒවා රොටිෆර් ඊළඟ පරම්පරාවේ බිත්තර වෙත සම්ප්රේෂණය කිරීමය.
සතුන්ගේ වර්ණදේහ යුගල වශයෙන් පවතින බැවින්, වර්ණදේහයක් බිඳී ගිය විට එහි ඉතිරි කොටස්වලට අනෙක් නිරුපද්රිත ‘නිවුන්’ වර්ණදේහයේ උදව් ඇතිව නැතිවී ගිය කොටස් ක්රමයෙන් යළි ගොඩනගා ගැනීමට හැකි වෙයි. විද්යාඥයෝ, මෙම ක්රමය BIHER (Break-Induced Homologous Extension Repair) යන නමින් හඳුන්වති.
හානිය ඉතා දරුණු නම්, මෙම අලුත්වැඩියා කිරීම එක පරම්පරාවකින් අවසන් වෙන්නේ නැහැ. එය අනුප්රාප්තික පරම්පරා කිහිපයක් පුරා ක්රමයෙන් සිදුවී, අවසානයේ සම්පූර්ණ වර්ණදේහයම යළි සාමාන්ය තත්ත්වයට පත් කර ගැනීම සිදුවෙයි.
මෙම අන්වීක්ෂීය ජීවීයාට ඇති මෙම සුවිශේෂී හැකියාව, අනාගතයේදී මිනිස් වර්ගයාටත් විශාල ප්රයෝජනයක් වනු ඇතැයි විද්යාඥයෝ විශ්වාස කරති.
විශේෂයෙන්, අභ්යවකාශ ගමන්වලදී මුහුණ දීමට සිදුවන දැඩි විකිරණ උවදුරුවලින් ආරක්ෂා වීමේ ක්රම සෙවීමට මෙන්ම, පිළිකා සෛල තුළ වර්ණදේහ බිඳී ගොස් විකෘති වන ආකාරය තේරුම් ගැනීමට මෙය මහත් උපකාරී වේවි යැයි පැවැසෙයි. අප ගෙවත්තේ කොහේ හෝ තැනක නිහඬව ජීවත් වන මේ ඇසට නොපෙනෙන කුඩා ජීවියා අපට කියා දෙන්නේ, කොතරම් දුෂ්කර සහ අන්තවාදී තත්ත්වයන් හමුවේ වුවද ජීවිතය නොවැටී ඉදිරියට ගෙන යෑමට සොබාදහම සතුව කොතරම් අපූරු ක්රමවේද තිබෙනවාද යන්නයි.
ලුසිත ජයමාන්න
Science Alart ඇසුරිනි

