‘ස්වYoung‘ කෘතියෙන් පසු නිකුත්වන ‘පිය‘ කෘතියේ අන්තර්ගතය ගැන හැඳින්වීමකින්ම අපි කතාව පටන් ගනිමු.
සාමාන්‍යයෙන් මා ලියපු දෙයක් "මේ වගේ" කියල නිර්වචනය කිරීම කම්මැලි දෙයක්. මා වඩාත්ම කැමැති මගේ කතාව වෙන කෙනෙක් කියවා කරන නිර්වචනයට. ඒත්, ඔබගෙ ප්‍රශ්නෙට කෙටි උත්තරයක් දෙන්නම්. දික්කසාදයකින් පස්සෙ පශ්චාත් කම්පන ආතතිය (PTSD - Post Traumatic Stress Disorder) කියන තත්වයට පත්වුණු තාත්තා කෙනෙකක් මුලික කරගෙන තමා මේ කතාව ලියැවෙන්නෙ. තාත්තා සහ දරුවන් අතර තියෙන්නෙ 'අප්රකාශිත' අදරයක්. ඒ ප්‍රකාශය නොවීම හරහාම තමා තාත්තා ඇතුළෙ මොහොතක අර කම්පනය, ආතතිය සහ පුපුරා යෑම ඇතිවෙන්නෙ.
‘පිය‘ කෘතියට ඔබ තේමා ගීතයක් නිර්මාණය කර තිබෙනවා. එහි විශේෂත්වය මොකක්ද?
පොතක් මුද්‍රණය වුණාට පස්සෙ ඒ කෘතිය ඇසුරු කරගෙන කරන නිර්මාණවලදී තේමා ගීත නිර්මාණය වෙලා තියනවා. ඒ වගේම පොතක චරිත ඇසුරෙන් පසුව ගීත නිර්මාණය වුණු අවස්ථාත් තියනවා. ඒත් පොත මුද්‍රණයත් එක්කම ඒ පොතට තේමා ගීතයක් නිර්මාණය වුණේ පළවැනි වතාවට කියල මං විශ්වාස කරනවා. මේ ගීතය මට ලියවුණේ පොත ලියන්නත් සෑහෙන කාලෙකට කලින්.
‘පිය' ඔබ රචිත ‘බකුසුවත‘ සහ ‘ස්වYoung‘ කෘති දෙකෙන් වෙනස් වෙන්නේ කොහොමද?
මගේ පළවෙනි පොත "බකුසුවත" රැස පත්තරේ ගියපු තීරු ලිපි එකතුවක්. ඒ පොත 2020 අවුරුද්දෙ ගොඩගේ සාහිත්‍ය සම්මාන වලදී හොඳම තීරු ලිපි සංග්‍රහය සඳහා නිර්දේශ වුණා. දෙවෙනි පොත "ස්වyoung" දිනපතා මව්බිම පත්තරේ "යං" අතිරේකයේ ගියපු විශේෂාංගයක්. "පිය" මගේ තුන්වෙනි පොත. ඒකත් "යෙහෙළී" කාන්තා පත්තරේ ගියපු කතාවක්. මා මේ තාක් කරපු පොත් තුනම පත්තරවල සතිපතා පළවුණු ඒවා වීම විශේෂයි. තුනම එකිනෙකට වෙනස් තේමාවන්. ‘පිය‘ පොතේ තේමා පාඨය 'බිඳීමක් නැති බැඳීමක්'. ජීවිතේ අපි බැඳෙන හැම බැඳීමම සදාකාලිකව පවතින්නෙ නෑ. බෙදෙනවා, වෙන්වෙනවා, අතෑරෙනවා. ඒ මොනව වුණත් බැඳුණු කිසිම බැඳීමක් හිත්වලින් බිඳෙන්න හොඳ නෑ කියන එකයි පිය පොතෙන් කතාකරන්නෙ.
බොහෝ කාලයක් විදෙස්ගතව ජීවත්වන කෙනෙක් විදිහට ඒ රටවල සාහිත්‍යය සහ පාඨක පිරිස ඔබ හඳුනාගෙන තියෙන්නෙ කොහොමද?
ඕනෑම රටක කොඳුනාරටිය ඒ රටේ සංස්කෘතික සාරධර්ම වගේම දියුණු ආකල්ප හා සහකම්පනය සහිත මිනිස්සු. රටක් ශිෂ්ටාචාරගත වෙද්දිම ඒවයින් කොටසක් ඒ රටේ සංස්කෘතික දේහයට බින්න වෙලා තියනව. සාහිත්‍ය කලාවට පුළුවන් ඒකේ තව විශාල කොටසක් හදන්න. ලෝක සාහිත්‍යය ගත්තම ඒවට ඇති තරම් උදාහරණ තියනව. කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නෙ අපේ බහුතර පාඨකයන් අතර ජනප්‍රිය අපේ හර පද්ධතියට පහර ගහන නිර්මාණ. ඒවට සාහිත්‍යය කියල කියන්න බැරිවුණත් ඒවා සාහිත්‍ය ක්ෂෙත්රය තුළ ලොකු ඉඩක් වෙන් කරගනිමින් මතුවෙලා තියනවා. අපේ සාහිත්‍යකරුවාට ලොකු වගකීමක් තියනවා පාඨකයා තුළ ඇති අනවබෝධය නැති කරන්න.
සාහිත්‍ය මාසයත් එක්ක පොත් මුද්‍රණය සුලබ දෙයක්. වෙනත් රටක ජීවත්වෙමින් ලංකාවේ සාහිත්‍යය එක්ක එකතුවීම දැනෙන්නේ කොහොමද?
අපේ ලිවීම සහ කියැවීම අතර තියෙන්නෙ 'කොලිටිය සහ කොන්ටිටිය' ගැන ප්‍රශ්නයක්. අවුරුද්දෙ එක කාලෙක පොත් ගොඩක් ලියැවෙනවා. ඒ වගේම ප්‍රමාණයක් විකිණෙනවා. හැබැයි මේ නිෂ්පාදනය සහ අලෙවිය මොනතරම් දුරට සාහිත කලාව පෝෂණයට ගුණාත්මකව උපයෝගී වෙනවද කියනෙක ගැන තක්සේරුවක් නෑ. මං පූර්ණකාලීනව පත්තර රස්සාවට එන්නෙ 2006 විතර. පළවෙනි පොත ලියන්නෙ 2020. 'පිය' කියන්නෙ මගේ තුන්වැනි පොත. මේ පොත් තුනම මගේ අතින් ලියැවෙන්නෙ ලංකාවෙන් පිට ඉද්දි. මොන රටක්, මොන ප්‍රජාවක්, මොන භාෂාවක් එක්ක ගනුදෙනුව තිබ්බත්, සිංහල භාෂාවෙන්, ලාංකික පාඨකයන්ට ලියනව තරම් වෙන සතුටක් කොහෙන්ද?
නවකතාවක, කෙටිකතාවක, තීරු ලිපියක ඊටම ආවේණික හැඩයක් තියනවා. ඒත් ඔබේ බොහෝ ලියවිලිවල තියෙන්නෙ සිනමාරූපි සහ නාට්‍යමය ගතියක්. ඒ වෙනසට හේතුව කුමක්ද?
මා යමක් ලියන්න ගන්නෙ ඒක මා කියෙව්වොත් කොහොම වෙයිද කියන තැන ඉඳල. ඕනෑම ලියවිල්ලක් මට කියවන්න කම්මැලියි නම්, නීරසනම් අනිත් අයටත් එහෙමයි කියල තමා මං හිතන්නෙ. කෙටි පරිසර වර්ණනා, චරිත විස්තර, සංකේත සහ රූපක එක්ක වැඩියෙන් දෙබස් එකතුකරල සංවාද තුළින් කතාව ගොඩනැඟීම තමා මගේ ක්‍රමය. සමහරවිට ඒක සම්ප්‍රදායික කතා කලාව නොවෙන්න පුළුවන්. කතා රසයට සහ පාඨක රුචියට හානි නොවී සම්ප්රදාය බිඳුණට කමක් නෑ කියල මා විශ්වාස කරනවා. මා කාලයක් ටෙලිනාට්‍ය ක්ෂෙත්රය හා සම්බන්ධව වැඩකරපු එකත් ඒකට බලපාන්න ඇති කියල හිතනවා.
සමාජ මාධ්‍ය හරහා සෘජුවම මුද්‍රිත මාධ්‍යයට බලපෑමක් වෙලා තියනව කියල ඔබ විශ්වාස කරනවද?
තාක්ෂණයත් එක්ක යාවත්කාලීන වෙනව,කියල අපි හුඟක් දේවල් පටලගෙන ඉන්නෙ. රූපවාහිනියෙන් පත්තර බලනවා. ගුවන් විදුලියෙන් පත්තර අහනවා. ජංගම දුරකතනයෙන් පොත් කියවනවා. අන්තර්ජාලයට පොත් ලියනවා. ලෝකයේ ශ්‍රව්‍ය, දෘෂ්‍ය මුද්‍රිත කියන මාධ්‍ය තුන බිහිවෙන්නෙ ඊට ආවේණික හැඩයකින් සහ අන්තර්ගතයකින්. මේ තුන එකට කලවම් කරගෙන එකක්වත් හරියට කරන්න බෑ වගේම ඒවයෙ හැබෑ රසය විඳින්නත් බෑ. සමාජ මාධ්‍ය කියන්නෙම විනෝදාස්වාදය මූලික කරගෙන ගොඩනැඟුණු අවකාශයක්. ඒකේ ටී.වී පත්තර හෝ පොත් කරන්න යෑමේ ප්‍රතිවිපා වලට අපි දැඩිව මුහුණ දෙමින් ඉන්නව. ඒ විපාකයේ නරකම අඩියෙ ඉන්නෙ මුද්‍රිත මාධ්‍යය.

