අලුතින්ම හමුවුණු ටිල්කයා බළලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Sep 20, 2026

අලුතින්ම හමුවුණු ටිල්කයා බළලා

ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ, විද්‍යා ලෝකයට වසං වූ, බොලිවියාවේ වනාන්තරවල ජීවත් වන, නව වල් බළල් විශේෂයක් ලෝකයට හඳුන්වා දීම පසුගිය දා සිදුවිය. මේ වල් බළලා නැතිනම් බිළාලයා ටිල්කයා බළලා (Tilcaya cat) යන නමින් හැඳින්වෙයි. සත්ව විද්‍යාත්මකව, මේ සත්වයා හැඳින්වෙන්නේ ‘ලියෝපාර්ඩ්ස් ටිල්කයෝ’ (Leopardus tilcayo) යන නමිනි. 

මේ සත්වයා, සාමාන්‍ය ගෘහස්ථ බළලකුගේ ප්‍රමාණයට වඩා තරමක් කුඩාය. ටිල්කයා බිළාලයාගේ සමේ ලොකු ලප, වයිරම් දකින්න ලැබේ. පෙනුමින් මේ සත්වයා, මේ කලාපයේ වනාන්තරවල වෙසෙන සෙසු වල් බළල් විශේෂවලට ද සමාන බැවින්, විද්‍යාඥයන්ට මුලදී මේ සත්වයා නව බළල් විශේෂයක් ලෙස වෙන්කර හඳුනා ගැනීමට නොහැකි විය. 

එබැවින්, ටිල්කයා බළලා, අප ඇස් පනාපිට සැඟවී සිටි නව සත්ව විශේෂයක් යැයි කීවොත් නිවැරදිය. මෙම සත්වයා, නව බිළාල විශේෂයක් බව තහවුරු වූයේ, විද්‍යාවේ දියුණුවත් සමග, නවීන අණුක ජාන පරීක්ෂණ සහ ඩී.එන්.ඒ. පරීක්ෂණ මගින් කළ පුළුල් අධ්‍යයනයකින් පසුවය. 

මෙම සොයා ගැනීමත් සමග විද්‍යාඥයන් පවසන්නේ, ලෝකයට අනාවරණය නොවුණු තවත් බිළාල විශේෂ මිහිමත සිටිය හැකි බවය. මෙම සොයා ගැනීම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කළේ බොලිවියා ජීව විද්‍යාඥ පෝලා නෝගාලෙස් අස්කාරුන්ස් ය. බොලිවියාව යනු ලතින් ඇමෙරිකාවට අයත් රටකි. පෝලා පසුගිය කාලය පුරාවට අධ්‍යයනය කළ අවුරුදු 10 ක් වයසැති කුඩා වල් බළලකු සිටී. 

ඇය ඒ වල් බළලා ‘ටයිග්‍රිනෝ’ යන නමින් නම් කර ඇත. ලතින් ඇමෙරිකාවේ, කොස්ටරීකා සිට බොලිවියාව සහ ආර්ජන්ටිනාව දක්වා වනාන්තරවල දකින්න ලැබෙන වල් වළලුන්, ‘ව්‍යාඝ්‍ර බළලුන්’ යන පොදු නමින් හැඳින්වෙයි. මොවුන් ප්‍රමාණයෙන් කුඩා බිළාලයන්ය. ‘ටයිග්‍රිනෝ’ එවැනි ‘ව්‍යාඝ්‍ර බළලකු’ යැයි පෝලා මුලින් සිතා සිටියාය. 

 ‘ටයිග්‍රිනෝ’ පෝලාට හමුවුණු කතාව හරි අපූරු එකකි. 2016 වසරේ දී බොලිවියා ගැමියකුට වනාන්තර මාර්ගයක් අසලින් යද්දී, කුඩා බළල් පැටියකු හමුවිය. බැලූ බැල්මට, ඌ නිවෙස්වල ඇතිදැඩි කරන බළලකුමය. ගැමියා, බළල් පැටියා නිවසට ගෙන ගොස් ඇති දැඩි කිරීමට පටන් ගත්තේය. පැටවා ලොකු වෙද්දී, උගේ හැසිරීම් රටාව සාමාන්‍ය ගෘහස්ථ බළලකුට වඩා වෙනස් විය. ප්‍රමාණය කුඩා වුවත්, ශරීර ලක්ෂණ ද වෙනස් වීමට පටන් ගත්තේය. 

බළලා කොරොයිකෝ නුවර සෙන්ඩා වෙර්ඩේ වනජීවී අභයභූමියේ නිලධාරීන්ට බාර දීම ඒ අනුව සිදුවිය. බළල් විශේෂ අධ්‍යයනය සම්බන්ධයෙන් ඒ වනවිටත්, පෝලා ප්‍රසිද්ධියට පත්ව සිටියාය. වනජීවී නිලධාරීන්ට ලැබුණු වල් බළලා, පෝලාගේ අවධානයට ලක් විය. ඇය ඌ ‘ටයිග්‍රිනෝ’ ලෙස නම් කළාය. 

 ‘ව්‍යාඝ්‍ර බළලුන්’ ලෙස හැදින්වෙන දුර්ලභ වල් බළලුන් ජීවත් වන්නේ බොලිවියාවේ, යුංගාස් පළාතේ වනාන්තරවලය. මේ බළලුන් ගැන ඒ වනවිට කිසිදු පැහැදිලි විදිමත් අධ්‍යයනයක් සිදුවී තිබුණේ නැත. ‘ටයිග්‍රිනෝ’ නිරන්තරයෙන් දකින පෝලා කල්පනා කළේ යුංගාස් පළාතේ ‘ව්‍යාඝ්‍ර බළලුන්’ සම්බන්ධයෙන් විශේෂ පුළුල් අධ්‍යයනයක් කළ යුතු බවය. 

ඒ අනුව, ප්‍රවීණ සත්ව විද්‍යාඥයන් ද ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් හවුල් කර ගනිමින් යුංගාස් වල් බළලුන් ගැන අධ්‍යයනයක් ආරම්භ විය. වල් බළලුන්ගේ පරම්පරාව සහ ජානමය පසුබිම සෙවීම පර්යේෂණ කණ්ඩායමේ අරමුණ විය. කණ්ඩායම ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ ඩී.එන්.ඒ පරීක්ෂණ හරහා බළලුන්ගේ සැබෑ අන්‍යෝන්‍ය සම්බන්ධතා සහ පරිණාමීය ඉතිහාසය සොයා බැලීමටය. අධ්‍යයනයේ දී අනෙක් වගල් බළලුන්ගේ පමණක් නොව, ටයිග්‍රිනෝගෙන් ලබා ගත් සාම්පල ද පරීක්ෂා කෙරුණි. 

ප්‍රතිඵල පුදුමාකාර විය; ‘ටයිග්‍රිනෝ’ සාමාන්‍ය ව්‍යාඝ්‍ර බළලකුගේ වෙනස් ස්වරූපයක් නොව, ඌ සම්පූර්ණයෙන්ම වෙනස්, වෙනමම විශේෂයකට අයත් බිළාලයකු යැයි ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් සනාථ විය. මීට පෙර හඳුනාගෙන තිබුණේ ව්‍යාඝ්‍ර බළල් විශේෂ තුනක් පමණක් වුවත්, පර්යේෂණවලින් අනාවරණය වූයේ එවැනි නව විශේෂ පහක් සිටිය හැකි බවය. ‘ටයිග්‍රිනෝ’ අයත් වන ටිල්කයා බිළාලයන් ඒ අතරින් ප්‍රධාන වෙයි. 

 මෙම නව සොයාගැනීම සොබාදහමේ සංරක්ෂණයට අතිශයින් වැදගත් වෙයි. ඒ ඇයිදැයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වනජීවී සංරක්ෂණ පර්යේෂණ ඒකකයේ වෛද්‍ය කැරොලයින් සාර්ටර් පැහැදිලි කරයි. 

යම් විශේෂයක් කුමක්ද යන්න හෝ එය ජීවත් වන්නේ කොතැනද යන්න විද්‍යාඥයන් නිවැරදිව නොදන්නේ නම්, එය ආරක්ෂා කිරීම අපහසු කරුණකි. ලෝකයේ තවමත් හොඳින් අධ්‍යයනය කර නොමැති ඝන වනාන්තර සහ දුෂ්කර ප්‍රදේශවල කෙතරම් ජෛව විවිධත්වයක් සැඟවී ඇතිද යන්න මෙම සොයාගැනීමෙන් මනාව පැහැදිලි වෙනවා යැයි වෛද්‍ය කැරොලයින් සාර්ටර් කියයි. 
වනාන්තර එළිපෙහෙළි කිරීම්, කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඩම් ලබා ගැනීම, වාසභූමි අහිමි වීම් සහ නීති විරෝධී දඩයම් කිරීම් හේතුවෙන් කොටි බළලුන් දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටී. ටිල්කයා බළලා සොයා ගැනීම, බිළාල පවුල සම්බන්ධයෙන් අප සතු දැනුම සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත. දැනට නිල වශයෙන් පිළිගත් බළල් විශේෂ 41 ක් සිටින අතර, නව සොයාගැනීමත් සමග එම ගණන 44 ක් හෝ එයටත් වඩා වැඩි වීමට ඉඩ ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි. 

සිංහයන්, දිවියන්, ව්‍යාඝ්‍රයන්, ජගුවරයන් වැනි මහ බළලුන් තරම් ජනප්‍රියත්වයක් නොලබන මෙම කුඩා ‘ව්‍යාඝ්‍ර බළලුන්’ නැතිනම් ‘වල් බළලුන්’ කෙරෙහි ජනතා අවධානය යොමු කිරීම සහ උන් වෙනුවෙන් විද්‍යාත්මක අනුග්‍රහය යොමු කිරීම මෙම සොයා ගැනීම විශාල රුකුලක් වනු ඇතැයි පැවැසෙයි. 

ශ්‍රී ලංකාවේ ද වල් බළල් විශේෂ කිහිපයක් සිටී. ඉන් ප්‍රධානම සහ ලොකුම විලෝපිකයා, මෙරටට ආවේණික උප විශේෂයක් වන දිවියා ය. මීට අමතරව, තෙත්බිම් හා ජලශ්‍රිත ආශ්‍රිතව ජීවත් වන හඳුන් දිවියා, ලෝකයේ සිටින ඉතාම කුඩා වල් බළල් විශේෂයක් වන කොළ දිවියා සහ සාමාන්‍ය වල් බළලා යන විශේෂ ද මෙරටින් හමුවෙයි.

බිළාල පවුල යනු ස්වභාවධර්මයේ සිටින වඩාත්ම ආකර්ෂණීය, වේගවත් සහ පරිණාමීය වශයෙන් සාර්ථකම ක්ෂීරපායී පවුලකි. විද්‍යාත්මකව මෙම පවුල ප්‍රධාන උපකුල කිහිපයකට බෙදා දැක්වෙන අතර, ඉන් වඩාත්ම කතාබහට ලක් වන්නේ ‘මහ බළලුන්’ ලෙස හැඳින්වෙන දැවැන්තයන්ය. 

ව්‍යාඝ්‍රයා, සිංහයා, දිවියා, ජගුවර්, චීටා සහ පූමා වැනි දැවැන්ත, ශක්තිමත් සහ ගෙරවීමට හැකියාව (ගර්ජනා කිරීමේ) ඇති මෙම ශක්තිමත් බිළාලයන්, මහ බළල් පවුලට අයත් වේ. මොවුන් ප්‍රමුඛ පෙළේ මස් භක්ෂක විලෝපිකයන්ය. පරිසර පද්ධතිවල තණබිම් හා වනාන්තරවල සමබරතාව පවත්වා ගෙන යෑමේ දී මෙම මහ බළලුන්ගේ මෙහෙවර වටී. වල් බළලුන් සහ මහ බළලුන් මෙලෙස වනාන්තරවල රජ කරද්දී, අප මනුෂ්‍යයන් සමග අනාදිමත් කාලයක පටන්, සමීපව ජීවත් වන්නේ ගෘහස්ථ බළලුන්ය.

වල් බළල් පරම්පරාවෙන් පැවත එන මේ බළලුන්, මිනිසාගේ සමීපතම සහ ජනප්‍රිය සුරතල් සතුන් බවට පත් වී අවසන්ය. නිවෙස්වල සුරතලයට හැදෙන ආඩම්බරකාර බළලුන්, විවිධ විශේෂ, ප්‍රභේද සහ ආකර්ෂණීය හැඩයන්ගෙන් යුක්තය. 

සුඛෝපභෝගී දිගු ලෝම සහිත, සන්සුන් ස්වභාවයක් ඇති පර්සියානු බළලුන්, සිහින් සිරුරක්, නිල්පාට ඇස් සහ කතා කරනසුලු ස්වභාවයක් ඇති සියැමිස් බළලුන්, බළල් පවුලේ දැවැන්තයකු වන මේන් කූන් බළලුන් මෙන්ම ව්‍යාඝ්‍රයකුගේ පෙනුමට සමාන බෙන්ගල් බළලුන් සහ කිසිදු විශේෂ වංශයකට අයත් නොවන සාමාන්‍ය ගම්බද බළලුන් ලෙස මොවුන් විවිධත්වයෙන් අනූනය. 

බළලුන් මනුෂ්‍ය අප සමග මානසික බැඳීමක් ඇති කරගන්නා සුරතල් සතුන් යැයි කීවොත් එය නිවැරදිය. අතීතයේ පටන් මී කරදරවලින් අප ආරක්ෂා කරන අපේ සුරතලා බළලාය. ඒත් අද සැපට හැදෙන, අලුත් පරම්පරාවේ බළල් සුරතලුන් මීයන් ඇල්ලීමේ ප්‍රතිපත්තිය ද වෙනස් කර ඇත. 

 වසර 100 කට පසු බොලිවියාවෙන් හමුවුණු නව බිළාල විශේෂය හෙවත් ටිල්කයා බළලා වැනි කුඩා වල් බළලුන්ගේ සිට, අප නිවෙස්වල, අපට සත්තම් දමමින්, සැපට හැදෙන ගෘහස්ථ බළල් සුරතලුන් දක්වාත්, අප්‍රිකානු සැවානා බිම් පුරා ගර්ජනා කරන සිංහයන් සහ ආසියාවේ වනාන්තරවල කුරුමානම් අල්ලන ව්‍යාඝ්‍රයන් දක්වාත් පුළුල් ලෙස ව්‍යාප්ත වූ බිළාල පවුල යනු සොබාදහමේ ඇති අසමසම විවිධත්වයේ සංකේතයයි. 

වන විනාශය සහ අනවසර දඩයම් කිරීම් නිසා බිළාල පවුලේ සාමාජිකයන් පමණක් නොව, තවත් සත්ව විශේෂ ගණනාවක්ම ඔබ මේ ලිපිය කියවන මොහොතේ පවා බරපතල තර්ජනයකට මුහුණ දී සිටී. 

ලුසිත ජයමාන්න 
BBC ඇසුරිනි

Classified_Ad