ඇමෙරිකන් කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 ක් ඇති අතර, බහුතරය සඳහා ආසන 218 ක් අවශ්‍ය වෙයි. ඩිමොක්රටික් පක්ෂය ආසන 219 සීමාව පසු කළේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට දිනා ගත හැකි වූයේ ආසන 126 ක් පමණි.
ඇමෙරිකන් කොංග්‍රසයේ සෙනෙට් සභාවේ මුළු ආසන සංඛ්‍යාවෙන් සියයට තුනෙන් එකකට (ආසන 33 ක් හෝ 34 ක්) නියෝජිතයන් තෝරා ගැනීම පසුගියදා සිදුවිය. සෙනෙට් සභාවේ බහුතරය සඳහා අවශ්‍ය ආසන ගණන 50 කි. ඩිමොක්රටික් පක්ෂය සෙනෙට් සභාවේ ආසන 53 ක් දිනා ගත් අතර, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් දිනා ගත්තේ ආසන 41 ක් පමණි. ඒ අනුව කොංග්‍රසයේ බහුතර බලය ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් සතු වීමත් සමග ට්‍රම්ප්ගේ තටු කැපුණි.
කොංග්‍රසයට (පාර්ලිමේන්තුව) අමතරව ඇමෙරිකාවේ ජනපද 36 ක පමණ ආණ්ඩුකාරවරුන්, ජනපද ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්ගේ නියෝජිතයන් සහ ජනපදයේ පළාත් පාලන ධුර සඳහා ද නියෝජිතයන් තෝරා ගැනීම සිදුවිය. මෙම මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්රටික් පාක්ෂිකයන්ට වැඩි වාසි හිමිවූයේ ඔවුන් ටෙක්සාස්, දකුණු කැරොලයිනා සහ කැන්සාස් යන ජනපද ජයග්‍රහණය කිරීමත් සමගය.
ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ සිවු වසරක ධුර කාලය මැද, මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙයි. ඒ, කොංග්රසයයට නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය. ජනාධිපති ධුරයට මෙහිදී අභියෝගයක් එල්ල නොවුණත්, ජනාධිපතිවරයාගේ පක්ෂයට කොංග්‍රසයේ බහුතරය අහිමි වීම යනු ජනාධිපතිවරයා ජනතා අප්‍රසාදයට පත් වී ඇති බව පෙන්වීමේ සාධකය යැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
ට්‍රම්ප් නායකත්වය දෙන්නේ රිපබ්ලිකන් පක්ෂයටය. ඇමෙරිකන් කොංග්‍රසය, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් සභාවකින් සමන්විත වෙයි. මෙතෙක් කල් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මෙන්ම සෙනෙට් මණ්ඩලයේ ද බහුතර බලයේ පැවැතියේ රිපබ්ලිකන් පක්ෂය සතුවය.
ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, එරට ජනාධිපතිවරණයෙන් ජයගන්නා ජනාධිපතිවරයාට ධුර කාල දෙකක් දැරිය හැකිය.
ජනාධිපතිවරයකුගේ ධුර කාලය සිවු වසරකි. පළමු සිවු වසර ගෙවී අවසන් වෙද්දී, ජනාධිපතිවරණය පැවැත්වෙයි. එයින් ජයග්‍රහණය කළොත්, තවත් සිවු වසරක කාලයක් ධුරය දැරිය හැකිය. පරාජය වුවහොත්, ඉතිරි සිවු වසර සඳහා ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැක.
2017 සිට 2021 දක්වා ජනාධිපති ධුරයේ සිටියේ ට්‍රම්ප්ය. ඒ, ඔහුගේ පළමු ධුර කාලයයි. 2020 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්, ප්‍රතිවාදී ඩිමොක්රටික් අපේක්ෂකයා වූ ජෝ බයිඩන්ට පරාජය විය. දෙවැනි මෙන්ම අවසන් ධූරවාරය ඉතිරි වූ බැවින්, ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී, රිපබ්ලිකන් පක්ෂය මෙහෙයවමින් අති විශිෂ්ට ජයක් වාර්තා කළේය. 2025 ජනවාරියේ ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ජනාධිපති ධුරය ඇරැඹුවේය.
ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ සිවු වසරක එක් ධුර කාලය මැද, එනම් වසර දෙකක් ගෙවී යද්දී, ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙයි. සාමාන්‍යයෙන් මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙන්නේ ජනාධිපතිවරයාගේ සිවු වසරක ධුර කාලයෙන් වසර දෙකක් ගතවන නොවැම්බර් මාසයේ මුල්ම අඟහරුවාදා දිනයේදීය. ඒ දිනය පසුගිය 3 වැනිදාට යෙදී තිබුණි. ඒ අනුව, මධ්‍යවාර මැතිවරණය පැවැත්විණි. මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙන්නේ ජනාධිපතිවරයාගේ ජනපති ධුරය අභියෝගයට ලක් කිරීමට නොව, ඔහුගේ ජනප්‍රියත්වය උරගා බලමින්, ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසයට නියෝජිතයන් තෝරා ගැනීමටය.
මෙවර මධ්‍යවාර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි ලියාපදිංචි ඡන්දදායකයන් ගණන මිලියන 210 කි. එයින් මිලියන 58 ක් කල්තියා ඡන්දය ප්‍රකාශ කිරීමේ සහ තැපැල් ඡන්ද ක්‍රමය ඔස්සේ තම මනාපය සලකුණු කර අවසන් වී තිබුණි. පෙරේදා (3) පැවැත්වුණු මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල ලහිලහියේ නිකුත් වීමත්, ඩිමොක්රටික්වරුන්ට බහුතර හිමිවීමත් සමග, ට්‍රම්ප් පැවැසුවේ, තමන් මැතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් නොකරන බවය. තමන් 2022 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ආකාරයට තනිවම මෙම මැතිවරණයට ඉදිරිපත් වූයේ නම්, තමන් අතිවිශිෂ්ට ජයක් හිමි කර ගන්නා බව ද ට්‍රම්ප් පුරසාරම් දෙඩීය.
ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ පසුබෑමට හේතුව දිනෙන් දින ඉහළ යන එරට ජීවන වියදම යැයි පැවැසෙයි. ඇමෙරිකාවේ ඉන්ධන මිලද ඉහළ ගොස් ඇත. මේ සම්බන්ධයෙන් බොහෝ ඇමෙරිකානුවන් ට්‍රම්ප්ට චෝදනා කරන්නේ ඔහු ඉරානය සමග යුද්ධයකට යෑම හේතුවෙන් රටේ ඉන්ධන අර්බුදයක් සහ භාණ්ඩ මිල ඉහළ යෑමක් සිදුවී ඇති බවය. මෙම මධ්‍යවාර මැතිවරණය ඇමෙරිකා දේශපාලන ඉතිහාසයේ සංධිස්ථානයක් වූ බවට සැකයක් නැත.
මැතිවරණයෙන්, මිචිගන් ජනපදයේ ඩිමොක්රටික් සෙනෙට් සභික අපේක්ෂකයකු ලෙස තරග වැදුණු අබ්දුල් එල්-සයෙඩ් ලැබූ ජයග්‍රහණය කැපී පෙනෙයි. වසංගත රෝග පිළිබඳ විද්‍යාඥයකු වන අබ්දුල් එල්-සයෙඩ් තරග වැදුණේ රිපබ්ලිකන් පක්ෂයේ මයික් රොජර්ස් සමගය. මිචිගන්හි උපත ලැබූ එල්-සයෙඩ්ට මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ මුහුණ දීමට සිදුව තිබුණේ ප්‍රතිපත්තිමය අභියෝගවලට පමණක් නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මධ්‍යවාර මැතිවරණයෙන් ඇමෙරිකා දේශපාලන ඉතිහාසයේ නව සටහනක් තබමින්, නිව් හැම්ප්ෂර් ජනපදයේ සෙනෙට් මණ්ඩල මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ඩිමොක්රටික් පක්ෂයේ ක්‍රිස් පාපස් සමත් විය. ක්‍රිස් පාපස් සමරිසි තැනැත්තියකි. ඇය ඒ බව ප්‍රසිද්ධියේ පවසා ඇත. සමරිසි පුද්ගලයකු ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලය නියෝජනය කරන පළමු අවස්ථාව මෙයයි.
නිව් මෙක්සිකෝ ජනපදයේ ආණ්ඩුකාර ධුරය සඳහා පැවැති මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ හිටපු නගරාධිපති ග්‍රෙග් හල් පරාජය කරමින් ඇය මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය. ලගූනා පුවෙබ්ලෝ රතු ඉන්දියානුවන්ගෙන් පැවැත එන තැනැත්තියක වන හැලන්ඩ්, 2018 දී කොංග්රස් මණ්ඩලයට තේරී පත් වූ ප්‍රථම ස්වදේශීය ඇමෙරිකන් කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු වූ අතර, පසුව ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන සමයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරිය ලෙස පත්වෙමින් ඇමෙරිකානු කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූ ප්‍රථම ස්වදේශීය ඇමෙරිකානුවා බවට ද පත්වූවාය.
නිව් මෙක්සිකෝ ජනපදයේ ලගුනා පුබේලෝ, රතු ඉන්දියානු ස්වදේශීය ගෝත්‍රික සාමාජිකාවක වන ඩෙබ් හාෆ්ලන්ඩ් ආණ්ඩුකාරවරිය ලෙස තේරී පත් වූ අතර, ඇය ජනපද ආණ්ඩුකාර ධුරයට තේරී පත් වූ පළමු ඇමරිකානු ස්වදේශික කාන්තාව ද වෙයි. ජිනා හිනෝසා ටෙක්සාස් ජනපද ආණ්ඩුකාර ධුරයට තේරී පත් වූ පළමු ලතින් ඇමෙරිකා සම්භවයක් ඇති කාන්තාව වෙයි. අබීර් කවාස්, නිව්යෝක් ක්වීන්ස් පළාතේ සෙනෙට් ආසනය ජයග්‍රහණය කළ අතර, ඇය නිව්යෝර්ක් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයට තේරී පත් වූ පළමු පලස්තීන ඇමරිකානුවා වන්නීය.
මැතිවරණය අවසන් වී, කොංග්‍රසයේ බහුතරය අහිමි වීමත් සමග ඉදිරියේ දී ට්‍රම්ප්ට සිය අභිමතය පරිදි තීන්දු තීරණ ගැනීම කළ නොහැකි වනු ඇත. ඒ, ට්‍රම්ප්ගේ ආන්දෝලනාත්මක තීන්දු තීරණ ඩිමොක්රටික් පාක්ෂිකයන්ගේ විරෝධයට හේතු වන බැවිනි. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ට්‍රම්ප්ට රිසි පරිදි තීන්දු තීරණ ගැනීම කළ නොහැකි බැවින්, ඇමෙරිකා ඉරාන යුද්ධය ද අවසන් වනු ඇතැයි විශ්වාස කළ හැකිය.
ඉරානය පවසා ඇත්තේ ඇමෙරිකා-ඉරාන යුද්ධයට ඇමෙරිකානුවන් සිය විරෝධය සහ අප්‍රසාදය පළ කිරීම ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ පරාජයට හේතුව වූ බවය. ඉදිරියේ දී ට්‍රම්ප්ගේ යුද වියදම්, සංක්‍රමණික ප්‍රතිපත්ති, බදු ප්‍රතිපත්ති ඩිමොක්‍රටික්වරුන් හමුවේ අභියෝගයට ලක් වනු ඇත. අකටයුතුකම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම ද සිදුවනු ඇත. ඇමෙරිකාවේ මීළග ජනාධිපතිවරණය 2028 දී පැවැත්වීමට නියමිත අතර, එහිදී බලය තහවුරු කර ගැනීම වෙනුවෙන්, ඩිමොක්රටික් පක්ෂය මෙන්ම පසුබෑමට ලක්වුණු රිපබ්ලිකන් පක්ෂය ද කටයුතු කරනු ඇත.
මැතිවරණයෙන් පසු, ඩිමොක්‍රටික්වරුන් ලැබූ ජයග්‍රහණය පැසැසීමට ලක් කරමින් ට්‍රම්ස් පැවැසුවේ, ඩිමොක්‍රටික්වරුන් තමන්ගේ තීන්දු තීරණවලට විරුද්ධ වී, ඊට එරෙහිවීමට යෑමට උත්සාහ කරන්නේ නම්, එම විරෝධතා පරාජය කිරීමට නිෂේධ බලය භාවිතයට ගන්නා බවය. අවසානයේ ඔවුන්ට කෙසේ හෝ තමන් සමග පොදු එකඟතාවකට ඒමට සිදුවනු ඇතැයි ද ට්‍රම්ප් පැවැසීය. ඩිමොක්‍රටික්වරුන් තමන් එකඟ නොවන පනත් කෙටුම්පත් කොංග්‍රසයට ඉදිරිපත් කරන සෑම අවස්ථාවකම, ඒවා නිෂේධ කිරීමට පියවර ගන්නා බව ද ට්‍රම්ප් තරයේ පවසා ඇත.
එපමණක් නොව, කොංග්‍රසයේ බලය හිමි ඩිමොක්රටික් පක්ෂයේ ද තමන්ට හිතවත් නියෝජිතයන් සිටින බව ද ට්‍රම්ප් පවසා ඇත.
ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වන වගන්තියේ 7 වන කොටස මගින් එරට ජනාධිපතිවරයාට ඉතා බලවත් නිෂේධ බලයක් හිමි වෙයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් සෙනෙට් සභාවේත් ඡන්දවලින් අනුමැතිය ලැබීමෙන් පසු සෑම පනත් කෙටුම්පතක්ම, අවසාන අනුමැතිය සඳහා ධවල මන්දිරය වෙත ලැබෙන අතර, එහිදී ජනාධිපතිවරයාට ගත හකි පියවර දෙකක් ඇත.
එක්කෝ ඔහුට එම පනත් කෙටුම්පතට අත්සන් තබා එය නීතියක් බවට පත් කළ හැකිය. නැතිනම්, එම පනත් කෙටුම්පත පිළිබඳව විරෝධය පළ කර, එය සංශෝධනය කරන්නැයි ඉල්ලා ආපසු කොංග්රස් මණ්ඩලයට හරවා යැවිය හැකිය. කිසියම් පනත් කෙටුම්පතකට හෝ වෙනත් කිසියම් යෝජනාවකට හෝ තමන් විරුද්ධ නම්, ඊට විරෝධය පළ කරමින් එය වැළැක්වීමේ විධායක බලය ජනාධිපතිවරයා සතුය. මෙම ක්‍රියාවලියේදී සුවිශේෂී නීතිමය තත්ත්වයක් ද ක්‍රියාත්මක වේ.
ඉරිදා දින හැර, දින 10 ක කාලයක් ඇතුළත ජනාධිපතිවරයා පනත් කෙටුම්පතකට අත්සන් නොතැබුවහොත් හෝ ආපසු හරවා නොයැවුවහොත්, කොංග්රස් මණ්ඩලය රැස්වී සිටින කාලසීමාවක් නම් එම පනත් කෙටුම්පත ස්වයංක්‍රීයවම නීතියක් බවට පත්වේ. එසේම, එම දින 10 ඇතුළත කොංග්රස් මණ්ඩලයේ වාරය නිමා කළහොත් සහ ජනාධිපතිවරයා පනත් කෙටුම්පතට අත්සන් තබා නොමැති නම්, එය අහෝසි වී යයි.
මෙහිදී විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් වන්නේ, ජනාධිපතිවරයාට පනත් කෙටුම්පතක කොටස් පමණක් වෙනස් කිරීමට හෝ කොටසක් පමණක් ප්‍රතික්ෂේප කිරීමට හෝ නොහැකි වීමයි; ඔහුට මුළු පනත් කෙටුම්පතම එකවර පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට සිදුවේ.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පතක් නැවත නීතියක් බවට පත් කිරීමට කොංග්රස් මණ්ඩලයට බලය ඇත. ජනාධිපති නිෂේධ බලය පරාජය කරමින් එලෙස පනතක් සම්මත කර ගැනීමට නම්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව යන මණ්ඩල දෙකෙහිම තුනෙන් දෙකක මන්ත්‍රී බහුතරයකගේ කැමැත්ත හිමිවිය යුතුය.
ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඊට පක්ෂව නැවත ඡන්දය දුන්නොත්, ජනාධිපතිවරයා යම් පනත් කෙටුම්පතකට නිෂේධ බලයෙන් විරෝධය දැක්වූවත් එය නීතියක් බවට පත් වෙයි.
ට්‍රම්ප් සතු නිෂේධ බලය යනු හුදෙක් පනතක් නීතියක් වීම වැළැක්වීමේ අවසාන පියවර පමණක්ම නොවේ. පනත් කෙටුම්පතක් ධවල මන්දිරයට පැමිණීමට පෙර සිදුවන සාකච්ඡා සහ සම්මුතීන් තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමටද ජනාධිපතිවරයාට මෙය ප්‍රබල මෙවලමක් ලෙස භාවිත කළ හැක.
විරුද්ධ පාර්ශ්වයන් විසින් ජනාධිපතිවරයා අකමැති පනත් කෙටුම්පතක් සම්මත කිරීමට උත්සාහ කළහොත්, තමා ඊට නිෂේධ බලය යොදන බවට තර්ජනය කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇත. එමගින් මන්ත්‍රීවරුන්ට සිදුවන්නේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම සඳහා පනත් කෙටුම්පතේ ඇති යම් යම් කොන්දේසි වෙනස් කිරීමට හෝ ආණ්ඩුව සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමටය.
ලුසිත ජයමාන්න
CNN ඇසුරිනි




