ජාත්‍යන්තර යෝග දිනය අදට යෙදී ඇත. 'කොවිඩ් 19' වයිරස වසංගතය හමුවේ කායික සහ මානසික සෞඛ්‍යය
ශක්තිමත් කර ගැනීමට යෝග ව්‍යායාම ඉවහල් වූ බව ජාත්‍යන්තර යෝග දිනය සමරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවැසුවේය.
අද (21) සැමරීම සිදුවන්නේ, හත්වැනි ජාත්‍යන්තර යෝග දිනයයි. යෝග දිනයක් නම් කිරීම කෙරෙහි මැදිහත් වී කටයුතු කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිය. ඒ අනුව, ලොව රටවල් රැසක යෝග දිනය සැමරීම සිදුවන්නේ යෝග ව්‍යායාම කෙරහි උනන්දුවක් දක්වන සැමගේ සහභාගීත්වයෙනි.
මෙවර එම කටයුතු සිදුවූයේ කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවය.
ඉන්දියාව සෙසු රටවල් සමඟ යෝග දිනය සැමරීම සිදුවූයේ 'ඔන්ලයින්' ක්‍රමවේදයකට අනුවය. මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ද ලබා ගැනීමට ඉන්දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය රජය කටයුතු කර තිබුණි.
'කොරෝනා ව්‍යසනයට රට මුහුණ දෙද්දී, කිසිම කෙනෙකු ඊට සූදානම් වී සිටියේ නැහැ. එවැනි අවස්ථාවක කායික මෙන්ම මානසික ශක්තිය වර්ධනය කර ගැනීමට යෝග ඉවහල් වුණා. ඉදිරිපෙළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාමාජාකයන් පවා මට කීවා ඔවුන්ට වයිරසය සමඟ සටන් කරන්න යෝග මෙවලමක් වුණු බව' යැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යෝග දිනය අරඹමින් ජාතිය ඇමැතූ මෝදි පැවැසීය.
මෙවර යෝග දිනයේ තේමාව වී ඇත්තේ 'නිරෝගී එක් ලෝකයක්' යන්නය.
ජාත්‍යන්තර යෝග දිනය සැමරීම ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ටයිම්ස් චතුරස්‍රයේදී සිදුවිය. 3,000 කට වැඩි නිව්යෝක් වැසියෝ පිරිසක් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ඊට එක් වූහ. සෑම වසරකම, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ටයිම්ස් චතුරස්‍රයේදී ජාත්‍යන්තර යෝග දිනය සැමරීම සිදුවෙයි. මේ වනවිට 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ලොක්ඩවුන් කර තිබුණු නිව්යෝක් නුවර යළි විවෘත කර තිබේ. ඒ, සෞඛ්‍ය අංශ ලබා දුන් මාර්ගෝපදේශවලට අනුවය.
ජාත්‍යන්තර යෝග දිනය සමරමින්, ඉන්දීය නළි නිළියන් බොහෝ දෙනකු ද යෝග ව්‍යායාමවල යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර තිබේ.
ඉන්දියාවේ ජනප්‍රිය ටෙලි නිළියක මෙන්ම, නිරන්තරයෙන් සිය යෝග ව්‍යායාම සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය කරන ෂිවංගි ජෝෂී ද ඒ අතර සිටී. තමා සැමවිටම නිරෝගීව, රුවැති සිරුරකින් සතුටින් සිටින්නේ යෝග නිසා යැයි 26 හැවිරිදි සුරූපිනිය පවසා ඇත.
NDTV