මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala: ක්‍රීඩා - Sports

Hot

Stay Safe

Showing posts with label ක්‍රීඩා - Sports. Show all posts
Showing posts with label ක්‍රීඩා - Sports. Show all posts

Sep 15, 2026

රුමේෂ්ට කෝටි 6 ක තෑග්ගක්

September 15, 2026
හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැති ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශුර රුමේෂ් තරංගට ඇමෙරිකානු ඩොලර් 150,000 ක් හෙවත් ශ්‍රීලංකා රුපියල් කෝටි 6 කට වැඩි මුදලක් ත්‍යාග ලෙස හිමිවිය. 

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය පළමු වරට සංවිධානය කළ ලෝක මලල ක්‍රීඩා පිටියේ ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිත්වයෙන් මෙම ක්‍රීඩා උළෙල පැවැත්විණි. රුමේෂ් එහිදී මීටර 91.09ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. 

රුමේෂ් හෙල්ල විසිකිරීමේ පිරිමි සව්වේ මෙම වසරේ මේ දක්වා ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයා වන අතර 23 හැවිරිදි ඔහු රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 92.62ක දක්ෂතාවක් දක්කමින් එම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීමේ අංක එක ක්‍රීඩකයා බවට ද පත්විය. 

මෙම ජයග්‍රහණයත් සමඟ රුමේෂ් ලෝක මලල ක්‍රීඩා පිටියේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සටහන් කළ අතර ඔහුගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් බවට ද පත්විය. ඉසව් 26කින් සමන්විතව ලොව ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූ එම ක්‍රීඩා උළෙල දින තුනක් පැවැත්විණි. 

රුමේෂ් තරංග, ජර්මනියේ ජුලියන් වෙබර්, ග්‍රැනඩාහි ඇන්ඩසන් පීටර්ස්, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටුබැගෝහි කර්ශොන් වෝල්කොට් වැනි ක්‍රීඩකයන් එයි හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගි වීම නිසා දැඩි අවධානයක් යොමුවී තිබුණි.
තව කියවන්න

Sep 4, 2026

ස්ම්‍රිතී මන්දනා වාර්තා අතරට

September 04, 2026
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ හොංකොං පිලට එරෙහි තරගයේදී විශිෂ්ට ශතකයක් ලබා ගනිමින් කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩිකාව වීමට ඉන්දියාවේ ස්ම්‍රිතී මන්දනා සමත් වූවාය. 

එහිදී ඇය හිටපු ඉන්දීය නායිකා මිථාලි රාජ් තබා තිබූ ලකුණු 10,868 වාර්තාව අභිබවා යමින් ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාව 10,880 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වූවාය. මෙම තරගයේදී පන්දු 14 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 7 ක් සමගින් අතිවිශිෂ්ට ලකුණු 124 ක් රැස්කිරීමට මන්දනා සමත් වූවාය. 

ඒ අනුව කාන්තා 20-20 ආසියානු කුසලාන ඉතිහාසයේ තනි ක්‍රීඩිකාවක වාර්තා කළ ඉහළම ඉනිම ලෙස ද මෙය සැලකෙයි. තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 18 වැනි ශතකය වාර්තා කළ ඇය, ඕස්ට්‍රේලියා සුපිරි ක්‍රීඩිකා මෙග් ලැනින් (ශතක 17) පසුකර යමින් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ වැඩිම ශතක ලාභිනිය බවටද පත්වූවාය. 

 මීට අමතරව 20-20 ජාත්‍යන්තර තරගවලදී ශතක දෙකක් රැස්කළ පළමු ඉන්දීය ක්‍රීඩිකාව බවට පත්වීමට ද ඇයට හැකි විය. ඉනිම ආරම්භයේදී පිටියේ අන් පිතිකාරිනියන්ට ලකුණු අතරට පැමිණීමට යම් බාධා පැවතියද, මන්දනා සරලව සහ අලංකාර ලෙස පන්දුවට පහර දෙමින් මුළු ක්‍රීඩාංගණය පුරාම ලකුණු රැස් කළාය. 

තරගයේ 18 වැනි පන්දු වාරයේ දී රුචිතා වෙන්කටේෂ්ට එරෙහිව එල්ල කළ දැවැන්ත හයේ පහරකින් මන්දනා තම ලකුණු සංඛ්‍යාව 113 දක්වා ඉහළ නංවාගත් අතර, එම පන්දු වාරයේදීම මිථාලි රාජ්ගේ ලෝක වාර්තාව බිඳ හෙලීමට සමත් වූවාය. හස පන්දු වාරයේ පමණක්, හයේ පහර තුනක් එල්ල කළ ඇය, තම 20-20 ජාත්‍යන්තර තරග දිවියේ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ද පසු කළාය. 

NDTV Sports
තව කියවන්න

Feb 15, 2026

ඉන්දු පාකිස්තාන ගැටුම අද

February 15, 2026
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව කාගේත් අවධානය දිනා ගත් ඉන්දු - පාකිස්තාන තරගය සැලසුම් කළ පරිදිම අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 

රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙය, මෙරට වෙලාවෙන් ප.ව. 7.00ට ආරම්භ වනු ඇත. එය, තරගාවලියේ 'A' කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත් වෙයි. 

ඉන්දු - පාකිස්තාන තරගය සැලසුම් කළ පරිදි විශේෂ වූ ආරක්ෂාවක් යටතේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවින් වික්‍රමරත්න මහතා පැහැදිලි කර ඇත. 

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරගය පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙවර මහත් ආන්දෝලනයක් මතුවුණේ දෙරටේ පවතින දේශපාලන අර්බුධ උග්‍රවීමත් සමඟය.
තව කියවන්න

Jul 14, 2023

නදීෂාට රන් පදක්කමක්

July 14, 2023
තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී, ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක මීටර 400 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය. 

තත්පර 52.61 ක දක්ෂතාවක් දක්වමින් ඇය හා ඉසව්වේ තරග වැදුණු රටවල් පහක ක්‍රීඩිකාවන් හත් දෙනකු පරාජය කිරීමට සමත් වූ අතර, 29 හැවිරිදී නදීෂා, වසර 23 කට පසුව ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීම කැපී පෙනේ. 

රන් පදක්කම දිනු නදීෂා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරයි. ඇය වීරකැටිය රාජපක්ෂ මැදි මහ විදුහලේ ආදි ශිෂ්‍යාවකි. මෙම තරගයේදී ඇය වාර්තා කළ කාලය ඇගේ පෞද්ගලික හොඳම කාලයද වේ. නදීෂාගේ පුහුණුකරු ඩබ්ලිව්. ජී.එම්. තුෂාර මහතා ද මෙම තරග සංචාරයට එක්ව සිටී. 

2000 දී ජකර්තා නුවර පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 (කාන්තා) ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් අවසන් වරට එම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව කේ.පී. දමයන්ති දර්ශා ය. ඇයගේ කාලය තත්පර 51.5 කි. ඇගේ එම ආසියානු තරග වාර්තාව මේ දක්වා බිඳ වැටී නැත.

තව කියවන්න

Mar 9, 2023

මමත් අනෙක් කෙල්ලෝ වගේ තමයි

March 09, 2023
කායවර්ධන ක්‍රීඩාව, අද වනවිට පිරිමින්ට පමණක් සීමා වූවක් නොවෙයි. කන්තාවෝ ද ඊට දායක වී සිටිති. ඒ අතරින්, මවු බිමට කිර්තියක් ගෙන එන්නට සමත් වුණු යෞවනියක ගැනයි මේ සටහන. ඇය හෂිනි හේවගේය. පසුගියදා පැවති ‘Fitness International Federation’ - ‘වර්ල්ඩ් ෆයිට් ක්ලැසික්’ ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේදී ජයග්‍රහණයක් ලබා ගැනීඹට සමත් වූවාය. 

කොහොමද මේ ක්‍රීඩාවට යොමු වුණේ?
කාලයක් මේ ක්‍රීඩාව පිරිමින්ට පමණක් සීමා වුණා. ඒත් දැන් කාන්තාවන් මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න පටන් ගත්තාම මටත් ආස හිතුණා. එහෙම ආසාවකින් තමයි, කාය වර්ධනයට යොමු වුණේ. හොඳ පුහුණුකරුවකු මට හමුවුණා. ඔහු හර්ෂ් ඩී පිරිස්. ඔහු යටතේ තමයි මම ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් වෙන්න සූදානම් වුණේ. 
කොතරම් කලක් කායවර්ධන ක්‍රීඩාව යොමු වී සිටියාද?
එතරම් කාලයක් නෑ. 2018 දී තමයි කායවර්ධන ව්‍යායාම්වල නිරත වීම ආරම්භ කළේ. එහෙම වුණත්, කායවර්ධන තරගවලට යොමු වීමේ අරමුණින්, කෑම පාලනය කරමින්, පෝෂ්‍යදායි ආහාර අරගෙන ඇඟ හදන්න ගත්තේ 2020 වසර අවසානයේ. එතකොට මට වයස අවුරුදු 23 යි. 

යෞවනියන් කැමතියි හැඩට ඉන්න. එහෙම නේද?
මම හිතන්නේ නෑ, මම අනිත් තරුණියන්ට වඩා වෙනස් කියලා. මමත් කරන්නෙත් ඇඟ හදන එක. ඒත් මේක වෙනස් විදියක්. වෙනස් පැතිකඩක්. මම ක්‍රීඩාවක් වෙනුවෙන් සිරුර වර්ධනය කරනවා. ශරිර ශක්තිය වැඩි කරනවා. ක්‍රීඩාවකට වගේම මේක සෞඛයටත් ඉතාම හොඳයි. 
කෑම පාලනය කරන්නේ කොහොමද?
සාමාන්‍ය විදිහට මම කෑම ගන්නවා. නමුත්, තරගාවලියක් තියෙනවා නම් ඒක ඉලක්ක කරගෙන මගේ පුහුණුකරු මට විශේෂ කෑම වට්ටෝරුවක් දෙනවා. කෑම පාලනය කරන්න, මම අනුගමනය කරන්නේ, ඔහු දෙන කෑම වට්ටෝරුව තමයි. 

නිරූපණයට එහෙම සම්බන්ධ වෙන අදහසක් නැද්ද?
නෑ. හේතුව, මම දක්ෂ කායවර්ධන ක්‍රීඩාවට. නිරූපණය කියන්නේ මට වෙනස් දෙයක්. දැනට නම් කොහෙත්ම අදහසක් නෑ නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්න. ඉදිරියට බලමු. ජිවිතේ හැමවිටම වෙනස් වෙනවා. අවස්ථාවක් ලැබුණොත්, මම නිරූපණයටත් යොමු වෙනවා. 
පිරිමි ළමුන්ගේ ආකාර්ශණය කොහොමද ඔබට? 
විශේෂයක් නෑ, අනෙක් ගැහැනු ළමයින්ට ලැබෙන විදිහට තරුණ අයගේ ආකාර්ශණය මට තියෙනවා. තරුණයෝ කොහොමත් හැඩට ඉන්න ගෑනු ළමයින්ට කැමතියි. ඒ වගේ කැමැත්තක් මටත් ඇති කියලා මම හිතනවා. 

෴ උපුටා ගැනීම -  ‘සාරවිට’
තව කියවන්න

Oct 13, 2022

කාන්තා ක්‍රිකට් පිල අවසන් තරඟයට

October 13, 2022
මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (13) සමත් විය. 

බංග්ලාදේශයේ සිල්හෙට් හි පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලැබීය. 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන අවසාන මහා තරඟයකට තේරෙන්නේ වසර 14කට පසුව වීම ද ‍විශේෂත්වයකි. 
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 122 ක් රැස් කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35 ක් හා අනුෂ්කා සංජීවනී ලකුණු 26 ක් ලබා ගත්හ. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නියමිත පන්දු වාර 4 අවසානයේ ලකුණු 17කට කඩුලු දෙකක් ලබාගත් ඉනෝකා රණවීර තරඟයේ ක්‍රීඩිකාව විය. 

ඒ අනුව තියුණු ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල එළැඹෙන 15 වැනිදා ඉන්දිය කාන්තා ක්‍රිකට් පිල සමග ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී තරග වැදීමට නියමිතය. 

෴ ඩයනා උදයංගනී 
උපුටා ගැනීම - ලංකාදීප
තව කියවන්න

Sep 12, 2022

ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

September 12, 2022
පාකිස්තානයට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කරමින් 6 වැනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (11) සමත් විය. 

නරඹනන් 24,000 ක‍ගේ සහභාගීත්වයෙන් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට පන්දු වාර 20 අවසාන‍යේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි. 

අවසන් වරට ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි-20 තරග 31 දී කණ්ඩායමක් පළමුවෙන් පන්දුවට පහරදී ආරක්ෂා කරගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය හැදින්විය හැකිය. 

මින් පෙර පළමුවෙන් පන්දුවට පහර‍දෙමින් ලබාගත් ලකුණු 172 ක් ආරක්ෂා කරගැනීමට නවසීලන්තය සමත්ව තිබුණේ ස්කොට්ලන්තයට එරෙහිවය. මෙම වසර (2022) තුළ පැවැති විස්සයි-20 තරගයකදී පළමුවෙන් පන්දුවට පහරදී ශ්‍රී ලංකාව ජයගත් පළමු අවස්ථාවද මෙය විය.

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.බාබර් ප.රවුෆ්    8
කුසල් මෙන්ඩිස් - ප.නසීම්    0
ධනංජය ද සිල්වා  - ඇ. සහ ප.රවුෆ්    28
ධනුෂ්ක ගුණතිලක - ප.රවුෆ්    1
භානුක රාජපක්ෂ - නොදැවී     71
දසුන් ශානක - ප.ශදාබ්    2
වනිඳු හරසංග - ඇ.රිස්වාන් ප.රවුෆ්    36
චාමික කරුණාරත්න - නොදැවී     14
අතිරේක     10
එකතුව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී     170

 කඩුලු වැටීම :
1-02(කුසල්), 2-23(පැතුම්), 3-36(ධනුෂ්ක), 4-53(ධනංජය), 5-58(දසුන්), 6-116(වනිඳු)

පන්දු යැවීම :
නසීම් ෂා 4-0-40-1, මොහොමඩ් හස්නයින් 4-0-41-0, හාරිස් රවුෆ් 4-0-29-3, ශදාබ් ඛාන් 4-0-28-1, ඉෆ්තිකාර් අහමඩ් 3-0-21-1, මොහොමඩ් නවාස් 1-0-03-0

පාකිස්තානය
මොහොමඩ් රිස්වාන් - ඇ.ධනුෂ්ක ප.හසරංග    55
බාබර් අසාම් - ඇ.දිල්ෂාන් ප.ප්‍රමොද්    5
ෆකාර් සමාන් - ප.ප්‍රමෝද්    0
ඉෆ්තිකාර් අහමඩ් - ඇ.බණ්ඩාර ප.ප්‍රමෝද්    32
මොහොමඩ් නවාස් - ඇ.ප්‍ර‍මෝද් ප.චාමික    6
කුෂ්දිල් ෂා - ඇ.තීක්ෂණ ප.හසරංග    2
අසීෆ් අලී - ප.හසරංග    0
ශදාබ් ඛාන් - ඇ.ධනුෂ්ක ප.තීක්ෂණ     8
හාරිස් රවුෆ් - ප.චාමික    13
නසීම් ෂා‍- ඇ.චාමික ප.ප්‍ර‍මෝද්    4
මොහොමඩ් හස්නයින් - නොදැවී     8
අතිරේක     14
‍එකතුව ඕවර 20 කදී සියලු‍දෙනා දැවී     147

කඩුලු වැටීම :
1-22(බාබර්), 2-22(ෆකාර්), 3-93(ඉෆ්තිකර්), 4-102(නවාස්), 5-110(රිස්වාන්), 6-111(අසීෆ්), 7-112(කුෂ්දිල්), 8-120(ශදාබ්), 9-125(නසීම්) 10-147(හස්නයින්)

පන්දු යැවීම :
දිල්ෂාන් මධුෂංක 3-0-24-0, මහීෂ් තික්ෂණ 4-0-25-1, ප්‍රමෝද් මධුෂාන් 4-0-34-4, වනිඳු හසරංග 4-0-27-3, චාමික කරුණාරත්න 4-0-33-2, ධනංජය ද සිල්වා 1-0-04-0
තව කියවන්න

ශ්‍රී ලංකාවට ජයපිට ජය !

September 12, 2022
ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට ඊයේ (11) අපූරු දිනයක් විය. ඒ ආසියානු කුසලාන දෙකක සතුට එකම දිනයකදී භුක්ති විඳීමේ දුර්ලභ අවස්ථාව උදා වු බැවිනි. ශ්‍රී ලංකාවට ඊයේ දින හිමිවූ පළමු ආසියානු ශූරතාවය වූයේ ආසියානු දැල්පන්දු ශූරතාවයයි. 

සිංගප්පූරුවේදී පැවති 12 වැනි ආසියානු දැල් පන්දු ශූරතාවලියේදී එම ශූරතාව හිමිකරගැනීමට ගයන්ජලී අමරසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම මෙවර ආසියානු ශූරතාවය දිනාගත්තේ හය වැනි වරටය. මීට පෙර 1989, 1997, 2001, 2009 සහ 2018 වසරවල ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත්තේය. 

මෙවර පැවති 6 වැනි ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් වූයේ එහි සත්කාරක සිංගප්පූරු කණ්ඩායම ලකුණු 63 - 53 ක් ලෙස පරාජයට පත්කරමිනි. ඒ අනුව ආසියානු ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානය තවදුරටත් රැකගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් සමත්ව සිටී.

අවසන් තරගයේ පළමු කාර්තුව අවසන්වන විට, ලකුණු 19 - 13ක් ලෙසත්, දෙවන කාර්තුව අවසානයේදීත්ලකුණු 27 - 30ක් ලෙසත් සිංගප්පූරු ක්‍රීඩිකාවන් පෙරමුණ ගෙන සිටි අතර, ලකුණු 3 ක් පසුපසින් සිටිමින් දෙවැනි කාර්තුව අවසන් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ තරඟයේ තුන්වැනි කාර්තුවේදී විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරතවූහ. 
එම කාර්තුව අවසානයේ ලකුණු 46 - 38 ක් ලෙස පෙරමුණට පැමිණි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් එම ලකුණු පරතරය එලෙසම රඳවාගනිමින් නියමිත කාලය අවසන් වන විට ලකුණු පරතරය ලකුණු 10 දක්වා වැඩිකර ගැනීම සමත්විය. 

ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත කාන්තා දැල්පන්දු ලෝක ශූරතාව සඳහාත් ශ්‍රී ලංකාව මෙම තරඟාවලියේ දී සුදුසුකම් ලබාගත්තේය. මෙම තරඟාවලිය පුරා වඩාත් කැපී පෙනුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වූයේ කණ්ඩායමේ නිත්‍ය පන්දු විදින්නිය වන තර්ජනී ශිවලිංගම් බව කිවහොත් එහි වරදක් නැත. 

මේ වන විට 42 හැවිරිදි වියේ පසුවුවත් තමන් තවමත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ තීරණාත්මක සාධකයක් බව ඇය මෙවර තරඟාවලියේදීත් පසක් කළාය. ශ්‍රී ලංකා කණ්ඩායම පෙර පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර මෙන්ම අවසන් තේරීම් සිදුකරන අවස්ථාවේදීත් මෙරට නොසිටි තර්ජනී කණ්ඩායමට තෝරා ගැනීමට ජාතික පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ මහත්මිය දැඩි ලෙස උනන්දුවූයේම ඇගේ දායකත්වය කණ්ඩායමට අත්‍යාවශ්‍යම වූ නිසා විය යුතුය. 

අඩි 6යි අඟල් 11ක උසින් යුත් ඇය ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ද වන්නීය. මැද පෙළ හා ප්‍රහාරක ක්‍රීඩිකාවන් වන නායිකා ගයන්ජලී අමරසිංහ, පන්දු විදින්නියක් මෙන්ම ප්‍රහාරිකාවක් වන උපනායිකා දුලංගි වන්නිතිලක, ගයනි දිසානායක, සේමිණි අල්විස්, චතුරානි ජයසූරිය, දීපිකා අබේකෝන්, හසිතා මෙන්ඩිස්, රශ්මි පෙරේරා, විදූෂා පෙරේරා, මල්මි හෙට්ටිආරච්චි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සෙසු ක්‍රීඩිකාවෝ වෙති. 

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරතාවලියේ ජයග්‍රහණය කරා පැමිණි ගමනේ දී මුහුණදුන් සෑම තරඟයකදීම ඔවුන්ගේ කණ්ඩායම් හැඟීම මැනවින් කැපී පෙනුණු බව ද කිව යුතුය. ඔවුන්ට මෑත කාලයකදී කිසිඳු විදෙස් සංචාරයක අත්දැකීම් පවා ලැබීමට නොහැකි වූ අතර, ජාතික පුහුණුකාරිනිය, දැල්පන්දු තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය අතර පැවති විවිධ ගැටලු, අර්බුද හා රටේ පවතින ආර්ථික අර්බුදයේ පීඩනය ද හමුවේ ඔවුන් ලද මෙම ජයග්‍රහණය සැබවින්ම අගය කළ යුත්තේය. 

ලබන වසරේ ජූලි මස දී පැවැත්වෙන ලෝක ශූරතා තරඟාවලියට ද සහභාගීවීමට සූදානම් වන ඔවුන් ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ලබනු දැකීම ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ මී ළඟ පැතුමය. 

෴ ඩයනා උදයංගනී 
උපුටා ගැනීම - ලංකාදීප
තව කියවන්න

Sep 7, 2022

කඩුලු 6ක විශිෂ්ට ජයක්

September 07, 2022
විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන්, කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ඉතාමත් තියුණු තරගයකින් පසු, ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු හතරක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් අවසන් වටයට සුදුසුකම් ලබන නමුත් ඉන්දියාව මෙම පරාජයෙන් පසු දැඩි අවදානම් තත්ත්වයකට පත් විය. 

අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නම්, ඉන්දියාවයට, ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ජයගත යුතු වන අතර, සෙසු තරගවලදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය හමුවේ පාකිස්තානය කණ්ඩායම පරාජයට පත්විය යුතුය. එසේ වුවත්, එහිදී එක් ජයග්‍රහණය බැගින් ලබන කණ්ඩායම් තුනෙහි ශුද්ධ ලකුණු වේගයන් සලකා බැලෙනු ඇත. 

අද දින (7) පැවැත්වෙන තරගයේදී ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට පාකිස්තානය සමත් වුවහොත්, සෙසු තරගවල ප්‍රතිඵලයන් කෙසේ වුවද ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය නිසැක වශයෙන්ම අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 173 ක් ලබාගත්තේය. ඉනිමේ අවසන් භාගයේදී ලකුණු 15 ක් තුළ කඩුලු 4 ක් දවාගත් දිල්ෂාන් මධුෂංක ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ, ඉන්දීය කණ්ඩායම විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමෙන් වළක්වා ගත්හ. 

පන්දුවට පහර දීමට පිටියට පිවිසීමෙන් පසු, පන්දු 18 ක් තුළ ලකුණු 13 කට කඩුලු 4 ක් බිඳ වැටුණ ද, භානුක රාජපක්ෂ (නොදැවී 25) සමඟ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 64 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගා ගනිමින්, නායක දසුන් ශානක (නොදැවී 33) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

පන්දු 18 කදී වාර්තා වූ දසුන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර පන්දු 17 කදී වාර්තා වූ භානුකගේ ඉනිමට හයේ පහර 2 ක් ඇතුළත් විය. පළමු පන්දුවාරයේ දී ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කළ ද ඉන් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් ප්‍රහාරය ඇරඹූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ, අධිවේගී ඕවර 6 තුළදී ලකුණු 57 ක් රැස්කළහ. 

ඉන් නොනැවතුණ ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා පන්දු 67 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. එහිදී පන්දු 37 කට මුහුණදුන් පැතුම් නිස්සංක හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග සිය 6 වැනි විස්සයි 20 අර්ධ ශතකය ලබා ගත්තේය.

ඉන්දියාව
ලෝකේෂ් රාහුල් - ක.මු. කළා ප.තීක්ෂණ         6
රෝහිත් ශර්මා - ඇ.පැතුම් ප.කරුණාරත්න     72
විරාට් කෝලි - ප.මධුෂංක                                0
සූර්යකුමාර් යාදව් - ඇ.තීක්ෂණ ප.ශානක        34
හර්දීක් පාණ්ඩ්‍යා - ඇ.පැතුම් ප.ශානක            17
රිෂාබ් පාන්ට් - ‍ඇ.පැතුම් ප.මධුෂංක                17
දීපක් හූඩා - ප.මධුෂංක                                    3
රවිචන්ද්‍රන් අෂ්වින් - නොදැවී                         13
බුව‍නේෂ්වර් කුමාර් - ප.කරුණාරත්න               0
යුස්වේන්ද්‍ර චාහල් ‍- නොදැවී                             1
අතිරේක                                                         8
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී             173

කඩුලු වැටීම :
1-11(රාහුල්), 2-13(කෝලි), 3-110(ශර්මා), 4-119(යාදව්), 5-149(පාණ්ඩ්‍යා), 6-157(හූඩා), 7-158(පාන්ට්), 8-164(බුවනේෂ්වර්)

පන්දු යැවීම :
දිල්ෂාන් මධුෂංක 4-0-24-3, මහීෂ් තීක්ෂණ 4-0-29-1, චාමික කරුණාරත්න 4-0-27-2, අසිත ප්‍රනාන්දු 2-0-28-0, වනිඳු හසරංග 4-0-39-0, දසුන් ශානක 2-0-26-2

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.රෝහිත් ප.චාහල්            52
කුසල් මෙන්ඩිස් - ක.මු. කළා ප.චාහල්           57
චරිත් අසලංක - ඇ.යාදව් ප.චාහල්                    0
ධනුෂ්ක ගුණතිලක - ඇ.රාහුල් ප.අෂ්වින්          1
භානුක රාජපක්ෂ - නොදැවී                           25
දසුන් ශානක - ‍නොදැවී                                 33
අතිරේක                                                         6
එකතුව ඕවර 19.5 කදී කඩුලු 4 ක් දැවී          174

කඩුලු වැටීම :
‍1-97(පැතුම්), 2-97(චරිත්), 3-110(ධනුෂ්ක), 4-110(කුසල්)

පන්දු යැවීම :
බුවනේෂ්වර් කුමාර් 4-0-30-0, අර්ෂ්දීප් සිං 3.5-0-40-0, හර්දීක් පාණ්ඩ්‍යා 4-0-35-0, යුස්වේන්ද්‍ර චාහල් ‍4-0-34-3, රවිචන්ද්‍රන් අෂ්වින් 4-0-32-1
තව කියවන්න

Sep 4, 2022

ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

September 04, 2022
සුපිරි සිවු දෙනාගේ වටය ආරම්භ කරමින්, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ (3 වැනිදා) පැවැති තරගයේදී කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළේය. 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගන් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 175 ක් ලබාගත්තේය. පන්දු වාර 18 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 163 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවූ ඇෆ්ගන් කණ්ඩයමට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, අවසන් පන්දු වාර 2 ලකුණු 12 කට සීමා කරමින් එහිදී කඩුලු 3 ක්ද දවාගත්‍හ. 

 පිටියට පිවිසීමෙන් පසු මුහුණ දුන් පන්දු 14 න් 5 ක්ම හතරේ සීමාවෙන් එපිටට යැවීමට භානුක රාජපක්ෂ සමත් වීම විශේෂත්වයකි. අවසන් පන්දු වාර කිහි‍පයේදී ධනුෂ්ක ගුණතිලක සමග එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 15 කින් ලකුණු 32 ක්ද, වනිඳු හසරංග සමග එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 11 කින් ලකුණු 23 ක් ද එක් කරමින්, ශ්‍රී ලකා කණ්ඩායමට ජයග්‍රණයේ මාවතට යොමු කළේය. 

ජයග්‍රහණයට ලකුණු 2 ක් පසුපසින් සිටියදී භානුක රාජපක්ෂ දැවී ගිය ද, ඉන්පසු පිටියට පිවිසි චාමික කරුණාරත්න හතරේ පහරකින් ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය. නායකයා සහ උප නායකයා දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළ සවිමත් කළ ධනුෂ්ක ගුණතිලක අංක 4 පිතිකරු ලෙස නව ජවයක් එක්කරමින් පන්දු 20 කදී ලකුණු 33 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟිනි‍. 

පිටියට පිවිසි මොහොතේ සිට, පන්දුව පසු පස හඹාගොස් පහර එල්ල කළ වනිඳු හසරංග පන්දු 9 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 16 ක් රැස්කළේය. ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවම හතරේ සීමාව කරා යැවූ පැතුම් නිස්සංක, තෙවැනි පන්දු වාරයේ අවසන් පන්දු දෙකට ද පිට පිටම හතරේ පහර දෙකක් එල්ල කරමින් ආරම්භයේ සිටම ඇෆ්ගන් පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කරන්න විය. ඊට නොදෙවෙනි පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්, මුජිබුර් රහමාන් ට පීඩනයක් එල්ල කළේ වේගවත් හයේ පහර දෙකකිනි.

මෙම තරග ජයත් සමග ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඉතිහාස ගත වුණේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම විස්සයි 20 තරග ගණනක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය කළ නායකයා ලෙසය. වත්මන් විස්සයි 20 නායක දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 14 කි. 

මීට පෙර කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව 20 යි 20 තරග 13ක් සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් තරග 13ක් ජයගෙන තිබේ. මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ජයගෙන ඇති 20 යි 20 තරග සංඛ්‍යාව 12 කි. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් තරග 7ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇති 20 යි 20 තරග සංඛ්‍යාව 6 කි.

ඩුබායි හිදී පැවති 20යි 20 ජාත්‍යන්තර තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයග්‍රහණය කිරීමේ වාර්තාවට ශ්‍රී ලංකාව හිමිකම් කියයි.  ශ්‍රී ලංකා කණ්ඩායම එම වාර්තාව පිහිටුවූයේ පසුගියදා බංග්ලාදේශය සමග පැවති තරගයේදීය. එම තරගයේදී ශ්‍රී ලංකාව හඹාගිය ලකුණු සංඛ්‍යාව 184ක්. 

ඇෆ්ගනිස්තානය
හස්රතුල්ලා සසායි - ‍ප.මධුෂංක                      13
රහ්මතුල්ලා ගුර්බාස් - ඇ.හසරංග ප.අසිත       84
ඊබ්‍රහීම් සද්‍රාන් - ඇ.අසිත ප.මධුෂංක                40
නජිබුල්ලා සද්රාන් - දුවද්දී දැවී ගියා               17
මොහොමඩ් නබී - ඇ. සහ ප.තීක්ෂණ               1
රෂීඩ් ඛාන් - දුවද්දී දැවී ගියා                             9
කරීම් ජානට් - නොදැවී                                    0
අතිරේක                                                       11
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී       175

කඩුලු වැටීම :
1-46 (සසායි), 2-139 (ගුර්බාස්), 3-151 (ඊබ්‍රහීම්), 4-166 (නබී), 5-166 (නජිබුල්ලා), 6-175 (රෂීඩ්)

පන්දු යැවීම :
මහීෂ් තීක්ෂණ 4-0-29-1, අසිත ප්‍රනාන්දු 4-0-34-1, දිල්ෂාන් මධුෂංක 4-0-37-2, වනිඳු හසරංග 4-0-23-0, චාමික කරුණාරත්න 2-0-29-0, දසුන් ශානක 2-0-22-0

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.ගුර්බාස් ප.මුජිබුර්            35
කුසල් මෙන්ඩිස් - ඇ.ඊබ්‍රහීම් ප.නවීන්             36
චරිත් අසලංක - ප.නබී                                     8
ධනුෂ්ක ගුණතිලක - ප.රෂීඩ්                          33
දසුන් ශානක - ඇ.නජිබුල්ලා ප.මුජිබුර්            10
භානුක රාජපක්ෂ - ප.නවීන්                           31
වනිඳු හරසංග - නොදැවී                                16
චාමික කරුණාරත්න - නොදැවී                        5
අතිරේක                                                         5
එකතුව ඕවර 19.1 කදී කඩුලු 6 ක් දැවී          179

කඩුලු වැටීම :
1-62 (කුසල්), 2-80 (පැතුම්), 3-94 (චරිත්), 4-119 (දසුන්), 5-151 (ධනුෂ්ක), 6-174 (භානුක)

පන්දු යැවීම :
ෆසාල්හක් ෆරූකි 3.1-0-34-0, මුජිබුර් රහමාන් 4-0-30-2, නවීන් උල්හක් 4-0-40-2, රෂීඩ් ඛාන් 4-0-39-1, මොහොමඩ් නබී 4-0-34-1
තව කියවන්න

Sep 2, 2022

බංග්ලාදේශය පරදා සුපිරි වටයට

September 02, 2022
ඉතාමත් තියුණු තරගයකින් පසු, බංග්ලාදේශයට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට ‘B’ කාණ්ඩයෙන් සුදුසුකම් ලැබූ දෙවැනි කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත් විය. 

ලැබූ පරාජයත් සමග බංග්ලාදේශයට අසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ‍නොලබා හිස් අතින්ම ආපසු යෑමට සිදුවෙයි. ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් පමණක් දැවී 184 ඉලක්කය සපුරාගත්හ. 

විස්සයි-20 තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම හඹාගොස් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර මින් පෙර ලකුණු 194 ක් හඹාගොස් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේද බංග්ලාදේශය එරෙහිව වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ඉනිමේ 10 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි අසිත ප්‍රනාන්දු (නොදැවී 10) තමා මුහුණදුන් පන්දු 3 න් 2 ක්ම හතරේ සීමාව කරා යවමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 45 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවතට ගෙනාවේය.

බංග්ලාදේශය
මෙහෙදි හසන් මිරාස් - ප.හසරංග                   38
සබීර් රහමන් - ඇ.කුසල් ප.අසිත                      5
සකීබ් අල් හසන් - ප.තීක්ෂණ                        24
මුෂ්ෆිකුර් රහීම් - ඇ.කුසල් ප.චාමික                  4
අෆීෆ් ‍හොසේන් - ඇ.හසරංග ප.මධුෂංක         39
මහමදුල්ලා රියාද් - ඇ.චාමික ප.හසරංග         27
මොසැඩ්ඩෙක් හොසේන් - නොදැවී                24
මෙහෙදි හසන් - ක.මු. කළා ප.චාමික               1
ටස්කින් අහමඩ් - නොදැවී                              11
අතිරේක                                                       10
එකතුව ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී             183

කඩුලු වැටීම :
1-19(සබීර්), 2-58(මිරාස්), 3-63(මුෂ්ෆිකුර්), 4-87(සකීබ්), 5-144(අෆීෆ්), 6-147(මහමදුල්ලා), 7-159(මෙහෙදි),

පන්දු යැවීම :
දිල්ෂාන් මධුෂංක 4-0-26-1, මහීෂ් තීක්ෂණ 4-0-23-1, අසිත ප්‍රනාන්දු 4-0-51-1, වනිඳු හසරංග 4-0-41-2, චාමික කරුණාරත්න 4-0-32-2

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.මුස්තෆිසුර් ප.ඉබාදත්      20
කුසල් මෙන්ඩිස් - ඇ.ටස්කින් ප.මුස්තෆිසුර්     60
චරිත් අසලංක - ඇ.මහමදුල්ලා ප.ඉබාදත්         1
ධනුෂ්ක ගුණතිලක - ඇ.ටස්කින් ප.ඉබාදත්     11
භානුක රාජපක්ෂ - ඇ.නයීම් ප.ටස්කින්            2
දසුන් ශානක - ඇ.මෙ‍ාසැඩ්ඩෙක් ප.මෙහෙදි    45
වනිඳු හරසංග - ඇ.මෙහෙදි ප.ටස්කින්              2
චාමික කරුණාරත්න - දුවද්දී දැවී ගියා            16
මහීෂ් තීක්ෂණ - නොදැවී                                 0
අසිත ප්‍රනාන්දු - නොදැවී                                10
අතිරේක                                                       17
එකතුව ඕවර 19.2 කදී කඩුලු 8 ක් දැවී          184

කඩුලු වැටීම :
1-45(පැතුම්), 2-48(චරිත්), 3-67(ධනුෂ්ක), 4-77(භානුක), 5-131(කුසල්), 6-139(වනිඳු), 7-158(දසුන්), 8-171(චාමික)

පන්දු යැවීම :
මුස්තෆිසුර් රහමන් 4-0-32-1, ටස්කින් අහමඩ් 4-0-24-2, සකීබ් අල් හසන් 4-0-31-0, ඉබාදත් හොසේන් 4-0-51-3, මෙහෙදි හසන් 2.2-0-30-1, මෙහෙදි හසන් මිරාස් 1-0-11-0
තව කියවන්න

Aug 28, 2022

පළමු ජය ඇෆ්ගනිස්තානයට

August 28, 2022
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත් විය. ඒ, ඊයේ (27)  ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේදීය. ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගන් පිතිකරුවෝ පන්දු වාර 10.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළහ.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් කණ්ඩායමේ නායක මොහොමඩ් නබීගේ ආරාධ‍නයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට, ඇෆ්ගන් පන්දු යවනන්න්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දු වාර 19.4 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 105 ක් පමණි. ඉනිම පුරා සිය ආධිපත්‍ය පැතිරවූ ඇෆ්ගන් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොදුන්හ. 

පසුව,‍ වේගවත් ආරම්භයක් ලබාගත් ඇෆ්ගන් පිතිකරුවෝ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 83 ක ‍සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහිදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ රහ්මතුල්ලා ගුර්බාස් පන්දු 18 කින් ලකුණු 40 ක් රැස් කළේය. ඒ, හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ ගුර්බාස් දැවී ගියද, පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 37 ක් රැස්කළ හස්රතුල්ලා සසායි, ඇෆ්ගන් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

මහීෂ් තීක්ෂණ යැවූ ඕවරයකදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 රැස්කළ ගුර්බාස් සහ හස්රතුල්ලා, ඉන් නොනැවතී චාමික කරුණාරත්න යැවූ පන්දු වාරයේ දී ලකුණු 21 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. මංගල විස්සයි-20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ මතීෂ පතිරණගේ පන්දු යැවීමද එක් ඕවරයකට සීමා කළ ඇෆ්ගන් ආරම්භක පිතිකරුවෝ, එහිදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක් රැස්ක‍ළහ. 

ලැබූ පරාජයත් සමග, තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට, ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක අභියෝගයක් වනු ඇති බව ක්‍රිකට් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එම අභියෝගය ජය ගැනීමට නම්, බංග්ලාදේශ කණ්ඩායම, මූලික වටයේදී සහභාගි වන තරග දෙකම පරාජයට පත්විය යුතුය. එසේත් නැතිනම් එලැඹෙන සැප්තැම්බර් මස 1 වැනිදා,  ශ්‍රී ලංකාව, බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගය ඉහළ  ලකුණු වේගයක් පවත්වා ගනිමින් ජයගත යුතුය. 

ඇමෙරිකන් හමුදා නික්ම ගොස්, ඇෆ්ගනිස්තානය යළි තලේබාන් පාලනයට නතු වීමෙන් අනතුරුව, තලේබාන් රජයක් පවතිද්දී, ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වන අතර, ඔවුන් ලැබූ මෙම ජයග්‍රහණය සුවිශේෂී එකකි.

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.ගුර්බාස් ප.නවීන්             3
කුසල් මෙන්ඩිස් - ක.මු. කළා ප.ෆරූකි            2
චරිත් අසලංක - ක.මු. කළා ප.ෆරූකි               0
ධනුෂ්ක ගුණතිලක - ඇ.ජානට් ප.මුජිබුර්       17
භානුක රාජපක්ෂ - දුවද්දී දැවී ගියා                38
වනිඳු හසරංග - ඇ.නබී ප.මුජිබුර්                     2
දසුන් ශානක - ඇ.ගුර්බාස් ප.නබී                    0
චාමික කරුණාරත්න - ප.ෆරූකි                    31
මහීෂ් තීක්ෂණ - දුවද්දී දැවී ගියා                      0
මතීෂ පතිරණ - ඇ.නජිබුල්ලා ප.නබී               5
දිල්ෂාන් මධුෂංක - නොදැවී                            1
‍අතිරේක                                                        6
එකතුව පන්දු වාර 19.4 කදී සියල්ල දැවී      105

කඩුලු බිඳ වැටීම
1-03(කුසල්), 2-03(චරිත්), 3-05(පැතුම්), 4-49(ධනුෂ්ක), 5-60(වනිඳු), 6-64(දසුන්), 7-69(භානුක), 8-69(මහීෂ්), 9-75(මතීෂ), 10-105(චාමික)

පන්දු යැවීම
ෆසාල්හක් ෆරූකි 3.4-1-11-3, නවීන් උල්හක් 3-0-23-1, මුජිබුර් රහමන් 4-0-24-2, අස්මතුල්ලා ඔමර්සායි 1-0-20-0, මොහොමඩ් නබී 4-0-14-2, රෂීඩ් ඛාන් 4-0-12-0

ඇෆ්ගනිස්තානය
හස්රතුල්ලා සසායි - නොදැවී                        37
රාහ්මතුල්ලා ගුර්බාස් - ප.හසරංග                  40
ඊබ්‍රහීම් සද්‍රාන් -‍ දුවද්දී දැවී ගියා                     15
නජිබුල්ලා සද්රාන් - නොදැවී                         2
අතිරේක                                                      12
එකතුව ඕවර 10.1 කදී කඩුලු 2 කට            106

කඩුලු බිඳ වැටීම
1-83(රහ්මතුල්ලා), 2-103(ඊබ්‍රහීම්) 

පන්දු යැවීම
දිල්ෂාන් මධුෂංක 1-0-10-0, මහීෂ් තීක්ෂණ 4-035-0, මතීෂ පතිරණ 1-0-16-0, වනිඳු හසරංග 3-0-19-1, චාමික කරුණාරත්න 1-0-20-0, චරිත් අසලංක 0.1-0-1-0
තව කියවන්න

Feb 8, 2022

ගිනි සිළුව දැල්වූ උයිගුර් මුස්ලිම් ක්‍රීඩිකාව

February 08, 2022
2022 ශීත ඔලිම්පික් උළෙල සමාරම්භක උත්සවය පසුගිය 4 වැනිදා අති උත්කර්ෂවන් අන්දමින් චීනයේ බෙයිජීං අගනුවර ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර, ක්‍රීඩාංගනයේ ගිනි සිළුව දැල්වීම සිදුවූයේ චීනය නියෝජනය කරන එරට උයිගුර් මුස්ලිම් ක්‍රීඩිකාවක වීම විශේෂත්වයකි. 

බෙයිජීං ඔලිම්පික් උළෙල ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් වර්ජනය කරනු ලැබ ඇත. ඒ, චීනය එරට සුළු ජාතීන් වන චීන උයිගුර් මුස්ලිම්වරුන්ට කෙණෙහිලිකම් කරමින් මානව හිමිකම් කඩන බවට චෝදනා නගමිනි. එම චෝදනා හේතුවෙන් ඇමෙරිකාව, කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් බෙයිජීං ඔලිම්පික් උළෙල වර්ජනය කර ඇත. 

ඒ අනුව, මෙම රටවල රාජ්‍ය නායකයන් හෝ රාජ්‍ය නියෝජිතයන් හෝ ඔලිම්පික් උළෙලට සහභාගී නොවන අතර සහභාගී වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් පමණි. ශීත ඔලිම්පික් උළෙලේ දී ප්‍රධාන ගිනි සිළුව දැල්වීමට 20 හැවිරිදි උයිගුර් ක්‍රීඩිකා ඩින්ජීර් ඉලලාමිජියැංට අවස්ථාවක් දීමට චීන රජය කටයුතු කිරීම සුවිශේෂී සිදුවීමක් බව ඔලිම්පික් කමිටුව මෙන්ම දේශපාලන විශ්ලේෂකයන් ද පෙන්වා දෙති. 
උයිගුර් වැසියන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කරනවා යැයි එල්ල වන සියලු චෝදනා චීන රජය ප්‍රතික්ෂේප කර තිබේ. උයිගුර් ක්‍රීඩිකා ඩින්ජීර් ඉලලාමිජියැං පසුගිය 4 වැනිදා රාත්‍රියේ බෙයිජීං ජාතික ක්‍රීඩාංගනයේ දී ඔලිම්පික් ප්‍රධාන ගිනි සිළුව දැල්වීම කළේ චීන ක්‍රීඩක 21 හැවිරිදි සාඕ ජියාවෙන් ද සමඟ එක් වෙමිනි. 

උයිගුර් මුස්ලිම් වැසියන් ජීවත් වන්නේ චීනයේ සිංජියැං පළාතේය. ශීත ඔලිම්පික් උළෙල වර්ජනය කරන්නැයි බටහිර රටවලට බලපෑම් කළේ චීනයෙන් පිටවී විදෙස්ගතව ජීවත්වන චීන උයිගුර් මුස්ලිම් වැසියන්ය. ක්‍රීඩිකා ඩින්ජීර් ඉලලාමිජියැං ඔලිම්පික් ගිනි සිළුව දැල්වීමට චීන රජය ඉඩ ලබා දීම ප්‍රසංශනීය යැයි ඔලිම්පික් කමිටුව මාධ්‍ය හමුවේ පසුව පවසා තිබුණි.

෴ උපුටා ගැනීම - Al Jazeera
තව කියවන්න

Jan 8, 2022

සවි එසවීමේ ශූරිය ශෙනුකි දිශාල්‍යා

January 08, 2022
කාන්තාව යනු ලාමක, ශක්තිය අඩු, තනිව තීරණ ගැනීමට නොහැකි පිරිසක් ලෙසින් සැලකුණ යුගය මේ වන විට නිමාවෙමින් පවතින්නේ තමාට ද පිරිමින් මෙන්ම බොහෝ දේ තුළින් ඉදිරියටම යා හැකි බව කාන්තාවන් දිනෙන් දිනම ඔප්පු කර පෙන්වන වටපිටාවක් තුළය. 

මේ සටහන කාන්තාව ඕනෑම අංශයකින් දස්කම් දක්වන්නට සමත් බව ඔප්පු කර පෙන්වූ ශ්‍රී ලාංකීය යෞවනියක් පිළිබඳවය. තුර්කියේ දී පසුගියදා පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලිය අවසන් වූයේ ද ශ්‍රී ලංකාවට රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 2ක් හිමිකරදෙමිනි. එම පදක්කම් දිනාගත් පිරිස අතර සිටි එකම කාන්තාව වූයේ ශෙනුකි දිශාල්‍යා නැමති මෙම රුවැත්තියයි. 
රන් පදක්කම් 4ක් සමගින් කිලෝ ග්‍රෑම් 47 බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ද 19 හැවිරිදි ශෙනුකි දිශාල්‍යා මෙහිදී සමත් වූවාය. 2021 ජාතික සවි එසවීමේ ශූරතාවලියේදීද නව ජාතික වාර්තා දෙකක් සමඟින් ජාතික ශූරිය වූ ශෙනුකි ආසියානු ශූරතාවලියේදී තමන් විසින්ම පිහිටුවා තිබූ ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද බිඳ හෙලුවාය. 

එමෙන්ම ඇය ජිම්නාස්ටික්, කිමිදුම් (ඩයිවින්) ආදී ක්‍රීඩාවලින් ද ජාතික මට්ටමේ දස්කම් දක්වා ඇති අතර, මෙරට එකිනෙකට වෙනස් ක්‍රීඩා තුනකින් ජාතික මට්ටමේ පදක්කම් දිනූ ලාබාලතම ක්‍රීඩිකාව ලෙස ද ඇය වාර්තා පොතට එක්ව සිටී. 

ශෙනුකි කොළඹ බිෂොප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර ශෙනුකිගේ මව වන ක්‍රිෂාන්ති කුලසූරිය මාධ්‍යවේදිනියක් මෙන්ම ලේඛිකාවක ද වන්නීය. ඇගේ පියා වන අනූෂ සංජීව චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ශෙනුකිගේ වැඩිමහල් සොයුරිය විද්‍යා ගවේෂිකාවක් වන අතර සෙහොයුරා පාසල් අධ්‍යාපනය ලබයි. 

“අපේ රටේ තාමත් ගැහැනු ළමයෙක් දිහා බලන්නේ කුස්සියට කොටු කරලයි. මේ ක්‍රීඩාවේදීත් බොහෝ දෙනෙක් කෙල්ලෙක් මෙච්චර බරක් උස්සන්නේ කොහොමද කියල පුදුම වෙනවා. සාමාන්‍යයෙන් මේ ක්‍රීඩාව පිරිමි අයගේ ක්‍රීඩාවක් විදියට තමයි ගොඩක් අය දන්නේ. මෙයට කාන්තාවන් නැඹුරු වෙනවා ගොඩක් අඩුයි. ඉතින් මට හිතුණා කාන්තාවක් විදියට සමාජය හිතනවට වඩා වැඩි බරක් මට උස්සන්න පුළුවන් කියලා. මට අවශ්‍ය වුණේ මගේ ශක්තියෙන් රටට ජයග්‍රහණයක් ලබාදෙන්නයි. මම ඒ දේ කළා.” අප හා කතාබහකට එක්වෙමින් ශෙනුකි පැවසුවාය. 

ශෙනුකි ජිම්නාස්ටික් ක්‍රීඩාවට එක්වන්නේ වයස අවුරුදු 4ක කුඩා දැරියකට සිටියදීය. එම ක්‍රීඩාවෙන් ඉදිරියටම යන ශෙනුකි අනතුරුව කිමිදුම් ක්‍රීඩාවට යොමු වන්නීය. මේ වන විට ඇය වැඩි කාලයක් වැය කර ඇත්තේ සවි එසවීමේ ක්‍රීඩාව වෙනුවෙනි. ශෙනුකි ජිම්නාස්ටික්, කිමිදුම් වැනි ක්‍රීඩා අත්හැර සවි එසවීමට යොමුවූයේ ඇයිදැයි මා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය කීවේ මෙවැන්නකි.
“අනිත් ළමයින්ට වගේ සුන්දර ළමා කාලයක් මට තිබුණෙ නැති තරම්. උදෙන්ම පාසල් යනවා. ඊට පසු පුහුණුවීම් කරනවා. ගෙදර එද්දී අත් නිල් වෙලා. අම්මා මාව ජිම්නාස්ටික් පුහුණුකරුවෙක් වෙත කුඩා කාලයේදීම යොමු කර තිබුණේ කුඩා කල සිට මගේ ශරීරයේ තිබූ නම්‍යශීලීත්වය, ඉහළ ස්ථානවල සිට බිමට පැනීම ආදිය කළ නිසා බව ඇය කියා තිබෙනවා. ගෙදරදි එහෙම කරද්දී තුවාල වෙයි වැටෙයි කියන බයට තමයි අම්මා මා ඒ අංශයට යොමුකර තිබෙන්නේ. ඉන්පසු මම අවුරුදු 14 දී ජිම්නාස්ටික් කරන ගමන්ම කිමිදුම්වලට යොමුවුණා. පටන්ගත්තා. පසුව යම් යම් සිත් රිදීම් නිසා මම මේ ක්‍රීඩා දෙකෙන්ම ඈත් වුණා. ඒත් කාලයක් ක්‍රීඩාවේ යෙදී සිටි නිසා මට ශරීර සුවතාව පවත්වාගැනීමට ව්‍යායාම ආදිය අවශ්‍ය වුණා. ඒ නිසා ක්‍රීඩා සමාජයකට සම්බන්ධ වුණා. මට සවි එසවීම ගැන උනන්දුවක් ඇතිවුණේ එහිදීයි. මුලින්ම මම මෙය කර බැලුවේ මගේ ශක්තිය ගැන අවබෝධයක් ගන්නයි. ඒත් මට එහිදී හමුවූ මෙරට සවි එසවීමේ ප්‍රවීණයෙක් වන රන්සිළු ජයතිලක මහතා මා මෙම ක්‍රීඩාවට උනන්දු කළා. ඒ අනුව 2019 දී එයට යොමුවී වසර දෙකක් ඇතුළත ජාතික ශූරිය වී ආසියානු රන් පදක්කම් හතරක් දිනාගන්න හැකිවීම ගැන මා ඉතා සතුටු වෙනවා.” 

මලක් වන රුවැති දියණියක දෙමාපියන්ට ආඩම්බරයකි. විශේෂයෙන්ම මවක් බොහෝ විට දියණියන්ගේ පෙනුම ගැන උනන්දුය. සවි එසවීම වැනි ක්‍රීඩාවකට යොමුවන විට ශෙනුකිට දෙමාපියන්ගේ කැමැත්ත හිමිවීම ද පුදුමයකි. 

“මුලදී මම මේ ක්‍රීඩාවට එනවට අම්මත් බය වුණා. ඇය සිතුවේ මගේ ශරීරය මේ නිසා වෙනස් වෙයි කියලයි. පසුව මම මේ ක්‍රීඩාවේ යෙදී ඉන්න සුන්දර ක්‍රීඩිකාවන්ගේ ඡායාරූප පෙන්වල තමයි අම්මා කැමති කරගත්තේ. දැන් මේ සඳහා මට වැඩිපුරම උදව් කරන්නේ මගේ අම්මායි. ඇත්තටම මේ ක්‍රීඩාවෙන් අපේ ශරීරයේ හැඩයට බලපෑමක් වෙන්නේ නැහැ. මස්පිඬු වර්ධනය වුණොත් කාන්තා ලාලිත්‍යය අහිමි වෙයි කියන බිය නිසා බොහෝ දෙනෙක් මෙවැනි ක්‍රීඩාවකට බිය වුණත් මම නම් කියන්නේ එහෙම බියවෙන්න අවශ්‍ය නැහැ කියලයි.” 

තමන්ට අවශ්‍ය වූයේ වැඩි දෙනෙකු යොමු නොවන ක්‍රීඩාවක් තුළින් රටට කීර්තියක් ගෙනඒමට හා තවත් අයට ආදර්ශයක් ලබාදීම බව ශෙනුකි පවසයි. ඒ වෙනුවෙන් තමන් කැපවූ බවත්, විශේෂයෙන්ම ශරීර බර පාලනය කරගනිමින් ශක්තිය වඩවාගැනීම සඳහා ආහාර පාලනය කරමින් නිසි පෝෂණය ලබාගැනීම සඳහා මව ලබාදෙන සහයෝගය විශේෂයෙන් සිහිපත් කළ යුතු බව ඇය කීවාය.

“ලෝකය දිනපු ගොඩක් අය එතැනට ඇවිත් තියෙන්නේ කැපකිරීම් කරලා. මමත් ඒ තැනට යනවා. මට අවශ්‍ය වුණේ ආසියානු ශූරතාවලියේදී හොඳ තරඟයක් දී මා වඩාත් දස්කම් දක්වන ඩෙඩ් ලිෆ්ටින් අංශයේ රන් පදක්කම ලබාගන්නයි. ඒත් මට රන් පදක්කම් හතරක් සමඟ ඒ අංශයේ ශූරතාව දිනාගන්නත් හැකිවුණා. ඉදිරියේදී මගේ බලාපොරොත්තුව ඉදිරි ලෝක ශූරතා තරඟාවලියකදී රන් පදක්කමක් හිමිකරගැනීමයි. මම මගේ රට වෙනුවෙන් යුතුකමක් කළ බව හිතනවා.තවත් දුර ගමනක් යන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සිවෙලා පුහුණුවීම් කරනවා. මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතූ සියලුම දෙනාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.” 

පූර්ණකාලීන ක්‍රීඩිකාවක ලෙස කටයුතු කිරීමට කැමති ශෙනුකිගේ අනාගත බලාපොරොත්තුව ක්‍රීඩා පුහුණුකාරිනියක් වීමය. ඇය මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන කටයුතුවල නිරතවෙමින් සිටී. එමෙන්ම ඇය ඔටිසම් දරුවන් වෙනුවෙන් වන සමාජ පදනමක ද ක්‍රියාකාරී සාමාජිකාවකි. එම දරුවන්ගේ ක්‍රීඩා දස්කම් ඉහළ නංවා ඔවුන් එම අංශයෙන් සමාජයේ ඉහළ තලයකට ගෙනඒම ද තම අපේක්‍ෂාවක් බව ශෙනුකි පවසන්නීය. 

“ක්‍රීඩිකාවකට හෝ ක්‍රීඩකයකුට තනියෙන් ගොඩනැගෙන්න බැහැ. ඒ සඳහා පවුලේ අයගේ සහයෝගය, හොඳ පුහුණුකරුවෙක් ලැබීම ආදිය වැදගත්. ඒ වගේම ඉදිරියට යද්දී කකුලෙන් අදින අයත් වැඩියි. තමන් දක්‍ෂ අංශ හඳුනාගෙන බාධක නොතකා ඉදිරියට ගියොත් අපිට ක්‍රීඩාවෙන් බොහෝ දුර යා හැකියි.” යැයි ද ඇය පැවසුවාය.

ඇගේ පුහුණුකරු වන රන්සිළු ජයතිලක ද ආසියානු ශූරතාවලියේදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් හිමිකරගත් අතර ඔහු මෙවර ආසියානු රන් පදක්කමක් හිමිකරගත්තේ පස්වැනි වරටය. 
“මම ශෙනුකි තුළ මෙම ක්‍රීඩාවට දක්‍ෂතාවක් තියෙන බව හඳුනාගත්තා. මේ ක්‍රීඩාවේ අපි දකින්නේ ශක්තිය තියෙන උස මහත මිනිස්සු. කෙට්ටු ළමයින් මෙවැනි ක්‍රීඩාවලට යොමුවෙන්න එතරම් හිතන්නේ නැහැ. මේ අංශයේ ඉන්නවා අඩුයි. ඒත් ශෙනුකි තුළ ශක්තිය වගේම කැපවීමක් තියෙනවා මම දැක්කා. මම දැක්ක වැඩියෙන්ම කැපවෙන ක්‍රීඩිකාවක්. ඒ වගේම ඇය ඉදිරියේදී තරුණියන් මේ ක්‍රීඩාවට යොමුවීම සඳහා ආදර්ශයක් වනු ඇතැයි මා සිතනවා.” ශෙනුකි පිළිබඳව ඔහු පැවසීය. 

ශෙනුකිට අනාගතයේදී රටට තව තවත් ගෞරවයන් දිනාදීමට හැකිවේවා යන්න අපේ ද පැතුමයි. 

෴ ඩයනා උදයංගනී විතාන
ඡායාරූප - සජීව ලක්ෂාන් - Photo Journalist
තව කියවන්න

Dec 29, 2021

වාර්තා අලුත් කළ පුංචි කෙල්ල

December 29, 2021
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ රන්පදක්කම් 4ක් සමගින් 47kg බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශාල්‍යා සමත් වූවාය.

එහිදී Dead Lift, Bench Press, Squat යන තරග ඉසව් 03 සඳහාම රන් පදක්කම් දිනා ගනිමින් සමස්ත ශූරතාවයට හිමි රන් පදක්කම ද ඇය දිනා ගත්තාය.

එම සුවිශේෂි ජයග්‍රහණය සමගම ඇය මෙතෙක් දැරූ ශ්‍රී ලංකා ජාතික වාර්තාව ඇය විසින්ම බිඳ හෙලනු ලැබීය.
තුර්කි සවි එසවීමේ සම්මේලනයේ සහයෝගය ඇතිව ආසියානු සවි එසවීමේ සම්මේලනය මගින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි. 

රටවල් 19 ක් සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 24-30 දින දක්වා තුර්කියේ ඉස්තාන්බුල් හි දී මෙම ආසියානු සවි එසවීමේ ශූරතාවලිය පැවැත්වෙයි.
තව කියවන්න

Dec 7, 2021

ශීත ඔලිම්පික් වර්ජනයට සැරැසෙයි

December 07, 2021
චීනය මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින්, එරට පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වර්ජනය කරන බව ජෝ බයිඩන් පරිපාලනය පවසා තිබේ. 

ඒ අනුව, බෙයිජීං අගනුවර කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙන චීන ශීත ඔලිම්පික් උළෙලට ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයන් සහභාගී නොවනු ඇති බව පැවැසෙයි. චීනය මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ඇමෙරිකාව චෝදනා කරන්නේ, චීනයේ උයුගුර් මුස්ලිම් ප්‍රජාව මුල්කොට ගනිමිනි. 

 මෙම මුස්ලිම් වැසියන් ජීවත් වන්නේ චීනයේ ෂිංජියැං පළාතේය. මෙම චීන මුස්ලිම්වරුන් චීන රජය විසින් දැඩි ලෙස මර්දනයට ලක් කර ඇති බවට ද ඇමෙරිකාව චෝදනා නගයි. 

'චීනයේ පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් යවන්නේ නැතැයි බයිඩන් පරිපාලනය තීරණය කර තිබෙනවා. චීනය උයිගුර් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ඉතා දරුණු ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙනවා. ඊට එරෙහි වීමක් ලෙස බයිඩන් පරිපාලනය මෙම තීරණය ගත්තා' යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකී මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

෴ උපුටා ගැනීම - REUTERS
තව කියවන්න

Nov 15, 2021

විස්සයි 20 ශූරයෝ ඕස්ට්‍රේලියාව

November 15, 2021
සිය පළමු විස්සයි 20 ලෝක කුසලාන කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම  සමත් විය. තරගය ආරම්භයේ දී  කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා සමත් වූ අතර ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායම ලබාදීමටය. 

ඒ අනුව, තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් රැස් කළේය. එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක කේන් විලියම්සන් ලකුණු 85ක් රැස්කළ අතර මාටින් ගප්ටිල් ලකුණු 28ක් රැස් කළේය. 

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජොෂ් හේසල්වුඩ් කඩුලු 3ක් දවා ගත් අතර ඇඩම් සම්පා එක් කඩුල්ලක් දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2ක් දැවී පන්දුවාර 18යි පන්දු 5ක් තුළ ලකුණු 173ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් විය. 

එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මිචෙල් මාෂ් නොදැවී ලකුණු 77ක් රැස්කළ අතර ඩේවිඩ් වෝනර් ලකුණු 53ක් රැස් කළේය. පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් දවා ගත්තේය. 

ඒ අනුව, පසුගිය ඔක්තෝබර් 16 වනදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සහභාගීත්වයෙන් ආරම්භවු විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය නිමාවට පත් විය.

෴ උපුටා ගැනීම - ESPN
තව කියවන්න

Nov 14, 2021

T20 අවසන් තරගය අද

November 14, 2021
ඔක්තෝබර් 16 වනදා අප ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සහභාගීත්වයෙන් ආරම්භවු විසසයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අද (14) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. 

පළමු අවසන් පූර්ව වටයේ තරගයේදී නවසීලන්තය, ලෝක ශූර එංගලන්තය පරාජය කරමින් අවසන් තරගයේ ස්ථානය තහවුරු ගත් අතර, ඔස්ට්‍රේලියාව දෙවන අවසන් පූර්ව තරගයේදී මෙවර ලෝක කුසලානයේ අපරාජිත එකම කණ්ඩායම වූ පාකිස්තානය පරාජය කරමින් අවසන් තරගයට පිවිසුණි.

ඒ අනුව, නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට එක්වන පළමු අවස්ථාව මෙයයි.  කෙසේ නමුත්, ඔස්ට්‍රේලියාව විස්සයි 20 ලෝක කුසලානයක අවසන් තරගයට පිවිසෙන දෙවන අවස්ථාව මෙයයි. 

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ජාත්‍යන්තර විස්සයි 20 තරග 14ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 9ක් ඔස්ට්‍රේලියාව ජය ගෙන ඇති අතර, නවසීලන්තය ජය ගෙන ඇත්තේ තරග 4ක් පමණි. එමෙන්ම පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දෙරටේ ක්‍රීඩකයන් එකිනෙකා හමුවන දෙවන අවස්ථාවද මෙයයි.

෴ උපුටා ගැනීම - ESPN
තව කියවන්න

ප්‍රතිවාදීන් වූ පාසල් මිතුරෝ

November 14, 2021
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානමින් පවතී. මෙවර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේ අසල්වැසියන් වන නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවය.
 
අවසන් මහා තරගයට පෙර පැවති අවසන් පූර්ව තරගය දෙකේ දී විශිෂ්ට ඉනිම් දෙකක් ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් සහ ඕස්ට්‍රේලියා ක්‍රීඩක මාකස් ස්ටොයිනිස්ගේ ක්‍රීඩා විලාශයන් අවසන් මහා තරගයේ දී සිය කණ්ඩායම් දෙකට වැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි පැවැසෙයි. 

සුවිශේෂී සිදුවීමක් ලෙස මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ප්‍රතිවාදීන් ලෙස තරග වදින ඩැරල් මිචෙල් සහ මාකස් ස්ටොයිනිස් පාසල් වියේ මිතුරන් වීමය. ඩැරල් මිචෙල් සහ මාකස් ස්ටොයිනිස් දෙදෙනා 2009 සිට 2010 තෙක් කාලයේ ඕස්ට්‍රේලියාවේ ස්කාර්බරෝ විද්‍යාලයේ ස්කාර්බරෝ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කර තිබේ. 

෴ උපුටා ගැනීම - ESPN
තව කියවන්න

Sep 26, 2021

දීපිකාගේ බැඩ්මින්ටන් පුහුණුව

September 26, 2021
දීපිකා පදුකෝන් දක්ෂ සම්මානනීය බොලිවුඩ් නිළියකි. රංගනයට පමණක් නොවෙයි, දීපිකා බැඩ්මින්ටන් ක්‍රීඩාවටත් හපනියකි. පසුගිය දා තමන් බැඩ්මින්ටන් පුහුණු වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සහ ඡායාරූප  පෙළක් දීපිකා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කළාය.

එම දසුන් සහ ඡායාරූපවලට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණි. සමාජ මාධ්‍ය හරහා පමණක් නොව, ඉන්දීය මාධ්‍ය හරහා ද කසුකුසුවක් නිර්මාණය විය. කසුකුසුව නිර්මාණය වූයේ දීපිකාගේ බැඩ්මින්ටන් පුහුණුව සම්බන්ධයෙන් නොවෙයි, ඇය බැඩ්මින්ටන් පුහුණුව කළේ කා සමඟ ද යන්න සම්බන්ධයෙනි. 

දීපිකා බැඩ්මින්ටන් පුහුණු වූයේ ඉන්දීය ඔලිම්පික් බැඩ්මින්ටන් ශූරිය පී.වී. සිංදු සමඟය.

'සිංදු ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියට සූදානම් වෙනවා. ඇය ඒ වෙනුවෙන් පුහුණු වෙනවා. ඇය පුහුණු වෙන්න මා තෝරා ගත්තා' යැයි දීපිකා ඉස්ටග්‍රෑම් හරහා පවසා තිබේ.

දීපිකා බැඩ්මින්ටන් ක්‍රීඩාවට ආධුනිකයකු නොවෙයි. ඇගේ පියා ප්‍රකාශ් පදුකෝන් ඉන්දියාවට කීර්තියක් ගෙනා දක්ෂ බැඩ්මින්ටන් ශූරයෙකි. දීපිකා ද ජාතික මට්ටමින් බැඩ්මින්ටන් ජයග්‍රහණය හිමි කරගෙන ඇත. 

'දීපිකා හරිම දක්ෂයි. ඇය බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉදිරියට ගියා නම් ලෝක ශූරියක් පවා වෙන්න තිබුණා' යැයි පී.වී. සිංදු දීපිකාගේ දක්ෂතා අගය කරමින් පවසා තිබේ. 

දීපිකා, සැමියා රන්වීර් සිං සහ පී.වී. සිංදු අතරේ සමීප මිත්‍රත්වයක් පවතී. මීට පෙර තිදෙනා එකට මුම්බායි අවන්හලකට ගොස් සිටින අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සහ ඡායාරූප දීපිකාගේ ඉස්ටග්‍රෑම් ගිණුමේ පළ වී තිබුණි. 

෴ උපුටා ගැනීම - India Today
තව කියවන්න

Classified_Ad