April 14, 2026

විද්‍යාඥයන්ට අනුව චිම්පන්සි යනු මනුෂ්‍ය අපට වඩාත්ම සමීප සත්වයෙකි. වසර මිලියන කිහිපයකට පෙර මනුෂ්‍ය අපට මෙන්ම චිම්පන්සීන්ට ද පොදු වූ එක් මුතුන්මිත්තකු සිටි බවත්, කාලයත් සමඟ අප වෙනස් මාර්ග දෙකක පරිණාමය වෙන්න ඇතැයි යන්න විද්‍යාඥයන්ගේ මතයයි. අද වන විටත් මනුෂ්‍යයන්ගේ සහ චිම්පන්සීන්ගේ ජානමය සැකැස්ම සියයට 98.8 කට වඩා සමානකමක් දක්වයි.
මෙයින් අදහස් වන්නේ මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය සහ ජෛව විද්‍යාත්මක ලක්ෂණ චිම්පන්සීන්ට අතිශයින් සමීප බවය. සතුන් අතරින් ඉතාමත් දියුණු බුද්ධියක් හිමි චිම්පන්සීන්, මනුෂ්‍යයන් මෙන් සිතීමට හා ගැටලු විසඳීමට දක්ෂය.
චිම්පන්සීන් ආහාර සොයා ගැනීමට කොටු කැබලි සහ ගල් වැනි මෙවලම් භාවිතා කරන ආකාරය නිරීක්ෂණය වී ඇත. ඒ, උන්ගේ බුද්ධිය සනාථ කරමිණි.
චිම්පන්සීන්ගේ සමාජ ජීවිතය තුළ ආදරය, කෝපය, දුක සහ සහයෝගීතාවය වැනි මානුෂීය හැඟීම් ද දැකගත හැකි බව අද්‍යයනවලින් තහවුරු වී ඇත. තම වර්ගයා අතර සන්නිවේදනය සඳහා උන් විවිධ ශබ්ද සහ සංඥා භාෂා භාවිතා කිරීමද විශේෂත්වයකි. චිම්පන්සීන්, ජීවත් වන්නේ ඉතා සංකීර්ණ සමාජ කණ්ඩායම් ලෙසය. මිනිස් පවුල් ඒකකවල මෙන්ම, චිම්පන්සීන් අතර ද මව සහ දරුවන් අතර ප්‍රබල බැඳීම් පවතී.

කණ්ඩායමේ නායකත්වය සඳහා තරඟ වැදීම, අනෙකාට උපකාර කිරීම සහ අනතුරකදී එකිනෙකා ආරක්ෂා කර ගැනීම වැනි ගුණාංග ඔවුන් තුළින් පැහැදිලිවම දැකගත හැකිය. චිම්පන්සීන්ගේ චර්යා ගැන ලොවට අනාවරණය කළේ, වසර ගණනක් ඔවුන් අධ්‍යයනය කළ විද්‍යාඥ ජේන් ගුඩෝල්ය. ගුඩෝල් පසුගිය වසරේ අභාවප්‍රාප්ත වූවාය.
ගුඩෝල් යනු ප්‍රිමේටාවන් සම්බන්ධ අධ්‍යයන සිදු කළ විද්‍යාඥවරියකි. ප්‍රිමේටාවන් යනු චිම්පන්සීන්, ගෝරිල්ලන් ආදී වානරයන්ය.
කිබාලේ ජාතික උද්‍යානය ඇත්තේ අප්‍රිකාවට අයත් උගන්ඩාවේය. මේ වනාන්තරය නිවහන කරගත් චිම්පන්සි කණ්ඩායම, විදයාඥයන් හඳුන්වන්නේ න්ගෝගෝ චිම්පන්සීන් යනුවෙනි. ලෝකයේ වඩාත් අධ්‍යයනයට ලක්වුණු චිම්පන්සි පවුල ද මොවුන්ය.
මොවුන් අතර අභ්‍යන්තර අරගලයක් පවතින බව විද්‍යාඥයන් දැනගත්තේ ද නිරන්තරයෙන් මොවුන් ගැන අධ්‍යයන සිදුවන බැවිනි. සාමාන්‍යයෙන් චිම්පන්සින් රංචු දෙකක් අතරේ ගැටුමක් පැවැතීම සාමාන්‍ය දෙයකි. ඒ ආහාර වෙනුවෙන් සහ වාසභූමිය වෙනුවෙනි. ඒත් එක් චිම්පන්සි පවුලක් තුළ බෙදීමක් නිර්මාණය වීම සහ එම බෙදීමෙන් සිවිල් යුද්ධයක් හට ගැනීම සාමාන්‍ය දෙයක් නොවෙයි. මෙම බෙදීම ආරම්භ වුණු බව පැවැසෙන්නේ අද ඊයේ නොව, 2015 වසරේදීය.
එකිනෙකා තුරුලු කරගෙන සිටි චිම්පන්සීන්ට හිටිහැටියේ එකිනෙකා රුස්සන්නේ නැති විය. දුරස් වුණු බැදීම් බෙදීමක් තෙක් දුරදිග ගියේය.
විද්‍යාඥයන්ට අනුව චිම්පන්සීන් බෙදුණේ බටහිර කණ්ඩායම සහ මධ්‍යම කණ්ඩායම ලෙසිණි. වසරින් වසර එම බෙදීම උත්සන්න වී අද වනවිට එය ප්‍රචණ්ඩ සිවිල් යුද්ධයක් තෙක් දුරදිග ගොස් ඇත. චිම්පන්සීන් කණ්ඩායමක මෙවැනි සිවිල් යුද්ධයක් වාර්තා වන දෙවැනි අවස්ථාව මෙයයි.
පළමු වරට චිම්පන්සීන් අතරේ සිවිල් යුද්ධයක් හටගත් බව නිරීක්ෂණය කරමින් එය ලොවට අනාවරණය කළේ ගුඩෝල්ය. ඒ, 1970 දශකයේය. චිම්පන්සීන්ගේ චර්යා රටාවේ අදුරු පරිච්ඡේදයක් තමන් දුටු බව ජේන් ගුඩෝල් එදා ලොවට පැවැසුවාය. ගුඩෝල් එම සිවිල් යුද්ධය දුටුවේ ටැන්සානියාවේ ගොම්බේ චිම්පන්සීන් අතරේය. එම සිවිල් යුද්ධය වසර හතරක් පුරා පැවතිණි. මේවනතුරු මෙය හුදෙකලා සිදුවීමක් පමණක් විය.
අද උගන්ඩාවේ න්ගෝගෝ චිම්පන්සීන්ගේ බෙදීම ගැන ලොවට අනාවරණය කළ විද්‍යාඥ කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ ආරොන් සැන්ඩෙල්ය. න්ගෝගෝ චිම්පන්සි කණ්ඩායම, වසර 30 ක් තිස්සේ විද්‍යාඥයන්ගේ නිරීක්ෂණයට ලක්වූ, සාමාජිකයන් 200කින් පමණ සමන්විත වූ එක් දැවැන්ත චිම්පන්සි පවුලකි. 2015 දී හටගත් බෙදීම 2018 දී උත්සන්න වුණු බව සැන්ඩෙල් පවසයි.
“ඔවුන් කණ්ඩායම් දෙකකට බෙදුණු පසු, එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායමට පහර දී මරා දැමීමට පටන් ගත්තා. එය දරුණු ප්‍රචණ්ඩකාරී සමයක් දක්වා වර්ධනය වුණා” යැයි ආරොන් සැන්ඩෙල් පැහැදිලි කරයි. 2021 වසරේ සිට මෙම ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස කුඩා පැටවුන් මරා දැමීම සිදුවිය.
හිටිහැටියේම අතුරුදහන් වූ චිම්පන්සින් සංඛ්‍යාව සැලකූ විට, නිල වශයෙන් වාර්තා වූ මරණවලට වඩා වැඩි ප්‍රමාණයක් මෙම යුද්ධයෙන් මියයන්නට ඇතැයි සැන්ඩෙල් සහ ඔහුගේ කණ්ඩායමේ අදහසය. සැන්ඩෙල් සහ කණ්ඩායම, චිම්පන්සීන්ගේ මෙම අභ්‍යන්තර ගැටුම හැඳින්වීමට, ‘සිවිල් යුද්ධය’ යන යෙදුම භාවිත කිරීමට මැලිකමක් දැක්වූවත්, ඔවුන් එසේ කළේ චිම්පන්සි කණ්ඩායමේ බෙදීම ලෝකවාසී වන අපට පහසුවෙන් වටහා ගැනීමට හැකිවන ලෙස යැයි ද පැවැසෙයි.
“මේ සටන් වදින්නේ, නාඳුනන ආක්‍රමණිකයන් පිරිසක් නොවෙයි. මේ සටන් වදින්නේ මරාගන්නේ දශක ගණනක් තිස්සේ එකිනෙකා හොඳින් හඳුනන, මිතුරන් ලෙස ජීවත් වුණු චිම්පන්සීන්” යැයි ආරොන් සැන්ඩෙල් පැහැදිලි කරයි. “න්ගෝගෝ චිම්පන්සීන් ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී කණ්ඩායමක්. 1998 සිට 2008 දක්වා කාලයේ උන් ප්‍රතිවිරුද්ධ චිම්පන්සි කල්ලි සමග සටන් වැදුණා.
එම චිම්පන්සි කල්ලි යටත් කරගෙන උන්ගේ භූමි අත්පත් කර ගත්තා. එක් අවස්ථාවක සතුරු චිම්පන්සි කල්ලියක චිම්පන්සීන් 21 දෙනකු කුරිරු ලෙස ඝාතනය කර දැම්මා. දැන් අවසානයේ දී ප්‍රචණ්ඩත්වය න්ගෝගෝ කණ්ඩායම තුළ පැතිරෙන්න පටන්ගෙන. ප්‍රචණ්ඩත්වය දැන් ඔවුනොවුන් අතරේ පැතිරෙනවා” යැයි සැන්ඩෙල් වැඩි දුරටත් පෙන්වා දෙයි.
න්ගෝගෝ ප්‍රජාව මෙතරම් දරුණු ලෙස බෙදී යාමට හේතු කිහිපයක්, ආරොන් සැන්ඩෙල් ප්‍රමුඛ කණ්ඩායම ඉදිරිපත් කර ඇත. ඒ, චිම්පන්සි පවුල පිළිබඳ එක් රැස් කරගත් අධ්‍යයන ඇසුරිනි. අසීමිත ගහනය ඊට එක් හේතුවක් යැයි අනුමාන කෙරේ. චිම්පන්සි කණ්ඩායමේ සාමාජිකයන් ගණන 200ක් දක්වා වැඩිවීම, උන්ගේ සහජීවනය පවත්වා ගැනීම අපහසු වෙන්න ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. සම්පත් හිඟකම තවත් හේතුවකි. ආහාර සහ ප්‍රජනන අවස්ථා සඳහා පිරිමි සතුන් අතර ඇති වූ දැඩි තරඟය මෙහිදී කැපී පෙනෙයි.
නායකත්වයේ වෙනස්වීම් ද මෙම අභ්‍යන්තර ගැටුමට බලපා ඇතැයි විදයාඥයන්ගේ අදහසය. 2014 දී ප්‍රබල පිරිමි සතුන් පස් දෙනකු මියයාම සහ 2015 දී නව නායකයකු කණ්ඩායමට පත්වීම තුළින් ඇති වූ අස්ථාවරත්වය ද චිම්පන්සි පවුලේ බෙදීමට හේතුවක් වී ඇත. මේ සියල්ලටම අමතරව, විද්‍යාඥයන් තවත් හේතුවක් ගැන ද අවධානය යොමු කර ඇත. ඒ, චිම්පන්සි කණ්ඩායම අතරේ පැතිර ගිය වසංගතයකි. 2017 දී ශ්වසන රෝගයකින් චිම්පන්සින් 25 දෙනකු මියගොස් ඇත. මෙය ද චිම්පන්සි පවුලේ සමාජීය බැඳීම් ලිහිල් වීමට හේතුවක් වන්න ඇතැයි පැවැසෙයි.
ලුසිත ජයමාන්න
BBC ඇසුරිනි








































