විකෘතිය එන්නත් කාර්යක්ෂමතාව අඩු කරනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 13, 2021

විකෘතිය එන්නත් කාර්යක්ෂමතාව අඩු කරනවා

'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘතිය, 'ඩෙල්ටා' විකෘතියට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එන්නත් කාර්යක්ෂමතාව අඩු කිරීමට ඊට හැකියාව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. 

මේ වනවිට රටවල් බොහොමයක් තෙවැනි එන්නත් මාත්‍රාව එසේත් නැතිනම් බූස්ටර් එන්නත ලෙස 'ෆයිසර්' එන්නත ලබා දීම සිදු කරන්නේ ද පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රාවලින් 'ඔමික්‍රෝන්' අඩපණ කළ නොහැකි නිසා යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය. 

එසේ වුවත්, තවමත් පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා නොලැබුණු පිරිස් ලොව සිටින බවත්, තෙවැනි මාත්‍රාවට කලින් එම පුද්ගලයන්ට පළමු සහ දෙවැනි එන්නත් ලබා දීම කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිහිපත් කළේය.

'ඔමික්‍රෝන් විකෘතියේ සැබෑ ස්වරූපය පිළිබඳ සවිස්තරාත්මකව දැන් අපට දත්ත ලැබෙමින් පවතිනවා. මුලින් අප අනුමාන කළ අන්දමට ඔමික්‍රෝන් බරපතල නැහැ. ඒත් එය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙනවා. පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රාවලින් ලැබෙන ප්‍රතිශක්තිය ඔමික්‍රෝන් අඩපණ කිරීමට ප්‍රමාණවත් නැහැ. ඒත් පළමු සහ දෙවැනි එන්නත් ලබා ගැනීමෙන් කිසියම් හෝ ප්‍රතිශක්තියක් ඔමික්‍රෝන් විකෘතියට එරෙහිව ලැබෙනවා. ඒක සහතිකයි. ඒ නිසා එන්නත් ගැන විශ්වාසය තැබීම ඉතාම වැදගත්' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩි දුරටත් පෙන්වා දුන්නේය. 

'ඔමික්‍රෝන්' විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීම සිදු කළේ දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ය. මේ වනවිට 'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අධ්‍යයන වාර්තා ලැබෙන්නේ ද දකුණු අප්‍රිකාවේ විශේෂඥයන්ගෙනි. පසුගිය දෙසැම්බර් 9 වැනිදා වනවිට රටවල් 63 කින් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා විය.

'ඔමික්‍රෝන්' විකෘතිය දරුණු සංකූලතා ඇති නොකරන බැවින්, දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු රටවලට පනවා තිබුණු තහංචි ඉවත් කිරීමට රටවල් බොහොමයක් කටයුතු කර තිබේ. පළමුවෙන් එසේ කළේ ඇමෙරිකාවය. 'ඔමික්‍රොන්' ව්‍යාප්තියත් සමඟ බ්‍රිතාන්‍යය රජය එරට වැසියන්ට දැඩි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. 

මේ වනවිටත් ඔමික්‍රොන් ව්‍යාප්තිය වේගවත් වී ඇතැයි බ්‍රිතාන්‍යය සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. 'ඔමික්‍රෝන්' ආසාදිතයන් බොහෝ දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පවසා ඇත. මේ අතර, ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්, චන්දිගාර් සහ කර්ණාටක ප්‍රාන්තවලින් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන තිබේ. 

ඊයේ (12) වනවිට ඉන්දියාවෙන් වාර්තා වූ 'ඔමික්‍රෝන්' ආසාදිතයන් ගණන 36 තෙක් ඉහළ ගියේය. දිල්ලි, රජස්ථාන්, මහාරාෂ්ඨ සහ ගුජරාට් ප්‍රාන්තවලින්ද ඔමික්‍රොන් ආසාදිතයන් වාර්තාවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom