පුෂ්පා සිනමා ලොව කලඹයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 16, 2022

පුෂ්පා සිනමා ලොව කලඹයි

කවුරු කවුරුත් පුලපුලා බලා සිටි තෙලිගු සිනමා සිත්තම 'පුෂ්පා' මේ වනවිට ආදායම් වාර්තා බිඳ දමමින් 'සුපර් හිටි' සිනමා නිර්මාණයක් බවට පත් වී අවසන්ය. අල්ලු අර්ජුන්ගේ තවත් සුපිරි වික්‍රමයක් ලෙස සැලකෙන 'පුෂ්පා: ද රයිස්' Pushpa: The Rise – Part 1, පුෂ්පා චිත්‍රපට මාලාවේ පළමු වැන්න වන අතර එහි දෙවැන්න 'පුෂ්පා: ද රූල්' Pushpa: The Rule – Part 2 ඉදිරියේ දී තිරගත වීමට නියමිතය. 

'පුෂ්පා' සුපිරි සිනමාකරු සුකුමාර්ගේ දැවැන්ත බ්ලොක්බස්ටරයක් යැයි කීවොත් එය නිවැරදිය. චිත්‍රපටයේ තිරරචනය ද සුකුමාර්ගෙනි. කඩවසම්, 'ස්ටයිලිෂ්' ක්‍රියාදාම සුපිරි තරුවක් ලෙස සිනමාලෝලීන්ගේ ආදරය දිනූ අල්ලු අර්ජුන්, චිත්‍රපටයට එක් වී සිටින්නේ පුෂ්ප රාජ් නමැති පිය සෙනෙහස අහිමි, වාසගමක් නැති, නමුත් ඉහළට යෑමේ අභිප්‍රායෙන් පසුවන, බිය නොහඳුනන තරුණයකුගේ රැවුල කොණ්ඩය වවාගත් නාහෙන නාහන මරුමුස් චරිතයටය. 

ඔහු සැබැවින්ම පුෂ්පාගේ චරිතයට සාධාරණයක් ඉටු කරයි. පුෂ්පාගේ පෙම්වතිය ශ්‍රීවල්ලිගේ චරිතයට පණ පොවන්නේ සුරූපි නිළි රෂ්මිකා මන්දනාය. 'පුෂ්පා: ද රයිස්' චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ රතු හඳුන් ජාවාරමක් වටාය. මේ රත් හඳුන් ගස් ඇත්තේ ඉන්දියාවේ අන්දා ප්‍රදේශ් ප්‍රාන්තයේ කඳුකරයේ එකම එක වනාන්තරයක පමණක් වන බැවින් ඊට ඉහළ වටිනාකමක් ඇත. 
රත් හඳුන් ජාවාරමට පුෂ්පා සම්බන්ධ වෙද්දී සිත්පිත් නැති මහා පරිමාණයේ අපරාධකරුවන් කල්ලි කීපයක් ඊට සම්බන්ධ වී සිටී. පුෂ්පා ඔවුන් සියලු දෙනා අභිබවා යමින් චණ්ඩියන්ගෙත් චණ්ඩියා වෙයි. ඒ සමඟ චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ඨයා කරළියට පැමිණෙයි. ඒ, චිත්‍රපටයේ අවසන් මිනිත්තු කීපයේදීය. ඔහු බන්වාර් සිං නමැති පොලිස් නිලධාරියාය. 'පුෂ්පා: ද රූල්' චිත්‍රපටයේ ගැටුම පුෂ්පා සහ බන්වාර් සිං අතරේය. 

බන්වාර් සිං ලෙස චරිත නිරූපණයට එක් වන්නේ බැලූ බැල්මට 'ජොකර්' කෙනෙක් වැනි ෆාදා ෆයිසාල් ය. කීර්තිමත් මලයාලම් අධ්‍යක්ෂවරයකු වන ෆයිසාල්ගේ පුතු වන ෆාදා ෆයිසාල් මලයාලම් සිනමාවේ නමක් දිනූ විචාරක පැසැසුමට ලක් වුණු දක්ෂ නළුවෙකි. 

2021 දෙසැම්බර් 17 වැනිදා සිට 'පුෂ්පා: ද රයිස්' චිත්‍රපටය, සිනමාහල්වල බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවද්දී පසුගිය ජනවාරි 8 වැනිදා ඇමසන් ප්‍රයිම් වීඩියෝ හරහා අන්තර් ජාලය ඔස්සේ ලොව ඕනෑමව අයකුට එය නැරැඹීමට අවස්ථාව උදා විය. ඒ අනුව, තෙලිගු, මලයාලම්, දෙමළ සහ හින්දි සිනමා ලෝලීන්ට පමණක් නොව, විදේශවල සිනමා ලෝලීන්ට ද 'පුෂ්පා: ද රයිස්' නැරැඹීමට ලැබුණි. පුෂ්පා සිනමා ලොව කැලඹීමට හේතුවක් වූයේ මෙයයි.

මිනිත්තු 178 ක ධාවන කාලයකින් යුත් 'පුෂ්පා: ද රයිස්' 2021 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ තෙලිගු චිත්‍රපට අතරට එක්වී ඇත. එය ඉන්දීය රුපියල් කෝටි 338 කට වැඩි මුදලක් උපයා ඇති බව පැවැසෙයි. 'පුෂ්පා: ද රයිස්' නිර්මාණයට වැය වුණු මුදල ඉන්දීය රුපියල් කෝටි 200 ත් 250 ත් අතරය. 'පුෂ්පා: ද රූල්' චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු එලැඹෙන පෙබරවාරියේ ආරම්භ කෙරෙනු ඇත. 

'පුෂ්පා: ද රයිස්' චිත්‍රපටය ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අල්ලු අර්ජුන්ගේ ක්‍රියාදාම පිරි මැර චරිතය පමණක් නොව, චිත්‍රපටයේ ගීත සහ එම ගීතවලට ඇතුළත් නර්තනයන්ය. චිත්‍රපටයේ ගීත මතකයේ රැ‍දෙන දිවග මුමුණන ගීත බවට මේ වනවිට පත් වී හමාරය. 
Saami Saami සහ Oo Antava Oo Oo Antava යන ගීත ඒ අතරින් කැපී පෙනෙයි. Oo Antava Oo Oo Antava ගීතය ඒ අතරින් කැපී පෙනෙයි. මෙම ගීතයට පමණක් ජනප්‍රිය මෙන්ම සම්මානනීය නිළි සමන්තා පෙනි සිටී. සමන්තා සහ අල්ලු අර්ජුන්ගේ නර්තනය හේතුවෙන් මෙම ගීතය ද අතිශය ජනප්‍රිය වී සිටී. 

චිත්‍රපටයේ මෙම ගීතයට පමණක් පෙනී සිටින සමන්තාගේ ජනප්‍රියත්වය ද ඉහළ ගොස් ඇත. සමන්තා Oo Antava Oo Oo Antava ගීතයේ සරාගී රංගනය වෙනුවෙන් පුරුදු පුහුණු වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

Classified_Ad

Classified_Ad_News_Bottom