ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්නයන් ඉකුත් දා දැයෙන් සමුගත්තේය. ඔහු මෙරට සාහිත්‍ය කලාවට සුවිසල් මෙහෙවරක් ඉටුකළ, ශ්‍රී ලාංකේය ගත්කතුවර වංශකතාවේ නොමැකෙන නාමයක් තැබූ ලේඛකයකු බව අමුතුවෙන් කිවයුතු නැත. සෙනෙවිරත්නයන් වියෝ වූ ශෝකජනක පුවත වාර්තාවූයේ ද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙමින් තිබූ කාලයේදීය.
වැඩිහිටි, තරුණ භේදයකින් තොරව මෙවර පොත් ප්‍රදර්ශනයේදීත් පාඨකයෝ ඔහුගේ කෘතීන් සොයමින් පොත් කුටි අතර සැරිසැරූහ.
කලුතර නගරයේ සුන්දර ගම්මානයක් වන රෙමුණගොඩ ගම්මානයේ ව්‍යාපාරිකයකු වූ ජයකොඩි දොන් පීරිස් මහතාගේ සහ ගමගේ දෝන පොඩිනෝනා මහත්මියගේ පස්වන දරුවා ලෙස 1936 වසරෙ මාර්තු මාසෙ 20 වැනිදා උපත ලැබූ ජයකොඩි සෙනෙවිරත්නයන් ඉකුත් 21 වැනිදා මියයන විට 86 වැනි වියෙහි පසුවිය.
අතිශය ජනාදරය දිනූ නවකතා 68 සහ තවත් කෘතීන් ගණනාවක් ඔහු මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කළේය.
කලුතර රජයේ පාසැලේ මූලික අධ්‍යාපනය ලැබූ සෙනෙවිරත්නයන් ඉන්පසු බොම්බුවල බෞද්ධ මිශ්‍ර පාසලෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව කලුතර තිස්ස මධ්‍යමහා විද්‍යාලයට ඇතුලත් විය.
සෙනෙවිරත්න වයස අවුරුදු 16 පමණ සිටම කෙටි කතා ලියා පුවත්පත්වලට යොමු කළ අතර ඒවා දිනමිණ ආදී පුවත්පත්වල පළ වී ඇත.
ඔහුගේ පළමු කෘතිය වූ "ආදර ගඟ ගලන දෑස" නවකතාව 1986 වසරේදී පළ වූ අතර ඔහු සිය ලේඛන දිවියේ 70 වසරක කාලය තුළ නවකතා මෙන්ම කෙටි කතා සංග්‍රහයන් ද ළමා කෘතීන් හා යොවුන් කෘතීන් ද ගණනාවක් ලියා පළ කළේය.
'සිත්තරෙකුට පෙම් බැඳ', 'දෙමස්සිනෝ', 'මිහිඳුම් සළු', 'රන තිසරු', 'නොමැරෙන මිනිස්සු', 'සොල්දර ගෙදර', 'අග මෙහෙසිය', 'කුමාරිහාමි', 'වක්කලම', 'පටලැවිල්ල', 'වජිරපාණි', 'රූමතිය', 'බකිනි මල', 'රන් තරුව', 'පංචකල්‍යාණි', 'සුන්දර සහ දේවින්ද', 'පිනි පලස', 'ස්වරණ වර්ණ', 'උරචක්‍රමාලය', යන කෘතීන් ඔහු විසින් රචනා කළ කෘතීන් අතර වේ.
මේ අතරින් "මිහිඳුම් සළු" නවකතාව සුනිල් ආරියරත්නයන් විසින් සිනමා පටයකට තෝරා ගත් අතර එහි තිර පිටපත ලිවුවේද සෙනෙවිරත්නයන් ය .
ඔහුගේ "කුමාරි හාමි"නව කතාව සඳහා 1984 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමිවිය.
කුමාරි හාමි ටෙලි නාට්‍යයට පාදක වූයේද මෙම නවකතාවයි.
එතුමා ලියූ 'නොමැරෙන මිනිස්සු', 'නිකිණි වැස්ස' , 'දහස්ගව්දුර' (සහෝදරයෙක්) ආදී නවකතා කිහිපයක් පසුකලෙක ටෙලි නාට්‍යයට නැගිනි.
ජයකොඩි සෙනෙවිරත්නයන් දියනියන් දෙදෙනකුගේ පියෙකි.
මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු ලෙස සිය රාජ්‍ය සේවයට එක්ව සිටි සෙනෙවිරත්නයන් 1990 වසරේ දී විශ්‍රාම ලබා පසුව පූර්ණ කාලීනව ලේඛන කටයුතුවල නිරත විය.
ඔහුගේ දේහය එතුමන් බොහෝ කලක් පදිංචිව සිටි ගම්පහ කිරිදිවැල නිවසේ තැන්පත් කර තිබූ අතර, අවසන් කටයුතු ඉකුත් සෙනසුරාදා (24) පස්වරුවේ සිදුකෙරිණි.
සෙනෙවිරත්නයන් දැයෙන් සමුගෙන ගිය ද ඔහුගේ නාමය මෙරට ගත්කතුවර වංශ කතාවෙහි නොමැකී සදා පවතිනු ඇත.
෴ ඩයනා උදයංගනී
උපුටා ගැනීම - ලංකාදීප