අපේ පෑන අපි හිතනවාට වඩා බලවත් - ඩයනා උදයංගනී විතාන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 25, 2022

අපේ පෑන අපි හිතනවාට වඩා බලවත් - ඩයනා උදයංගනී විතාන

කුඩා කළ පටන් ලිවීමට ඇළුම් කළ, මාධ්‍යවේදිනියක වීමේ සිහිනය සැබෑ කරගත්, ඩයනා උදයංගනී විතාන දක්ෂ මාධ්‍යවේදිනියක පමණක් නොව, දක්ෂ නවකතාකාරියකි. ‘තරු සිනාසුණා දුරකින්’ ඇගේ පළමු නවකතාවය. මේ වනවිට, ඇගේ අතින් ලියැවුණු නවකතා ගණන 5 කි. එකිනෙකට වෙනස් ආකාරයේ ආදර කතා පහක් ඇගේ නවකතාවලට වස්තු බීජය වී ඇත. ඇය සැමවිටම උත්සාහ ගන්නේ සිය නිර්මාණ හරහා සමාජයට යහපත් පණිවුඩයක් දීමටය. 

පාසල් වියේදීත් ඔබ පුවත්පත්වලට කෙටි කතා ලියුවා නේද? ඒ ගැන මතක් කළොත්? 
ඔව්. මම ලේඛන කටයුතු ආරම්භ කළේ පාසල් කාලයේදීමයි. ගම්පහ ගෝතමී කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් මගේ ලේඛන කටයුතුවලට හොඳ මගපෙන්වීමක් ලැබුණා. පාසලේ සඟරාවලට වගේම විජය පුවත්පතටත් මම නිර්මාණ ඉදිරිපත් කළා. මගේ පළමු නව කතාව 'ගඟට කැපූ ඉනි', 'විජය' පුවත්පතේ කොටස් ව‍ශයෙන් පළවුණා. ඒ මම 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබද්දීයි. ඒ වගේම ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ මාසික සඟරාවටත් මම නිර්මාණ ලබාදුන්නා. ඒ වගේම ලක්බිම පුවත්පත් ආයතනය මගින් ගම්පහ නගරයේ පාසල් සිසුන් අතර පැවැත්වූ මාධ්‍ය වැඩමුළුවකදී මා ලියූ ප්‍රවෘත්ති කිහිපයක් එම පුවත්පතේ පළවුණා. එම පුවත්පත වෙනුවෙන් ප්‍රාදේශීය පුවත් සපයන ලෙස එහි ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා‍ගෙන් ලිපියකුත් ලැබුණා. ඒත් මම අධ්‍යාපනය ලබන නිසා දෙමාපියන් එයට ඉඩදුන්නේ නැහැ. 

මාධ්‍යවේදිනියක වීම ඔබේ සිහිනයක් සැබෑ වීමක්. එහෙම නේද? 
මාධ්‍යවේදිනියක් හා ලේඛිකාවක්වීම මම පුංචි කාලයේ සිට දුටු සිහිනයක්. මම කුඩා කාලයේ සිට හැදී වැඩුණු පසුබිමත් එයට හේතුවෙන්න ඇති. මම පුංචි කාලයේ වැඩිපුරම හිටියේ මගේ බාප්පා ශාන්ත කුමාර විතාන, පුංචි චන්දි කොඩිකාර එක්ක. ඒ අය ලියන විදිය, පොත් පත්තර තමයි පුංචි කාලයේ සිටම මම දැක්කේ. ඒ නිසාම මටත් ලේඛන කටයුතුවල යෙදෙන්න ආසාවක් තිබුණා. ඒ හැකියාවත් මට කුඩා කාලයේ සිටම තිබුණු බව සිතනවා. අවසානයේ මම මගේ සිහිනය සැබෑ කරගත්තා. 

ඔබ නවකතා නිර්මාණයට යොමු වුණු හැටි ගැන කතා කළොත්?
මම මුලින්ම වෘත්තීය මාධ්‍යවේදිනියක් ලෙස එක්වුණේ 'රස' පුවත්පත් ආයතනයට. එමගින් පළ කළ 'බිරිඳ' පුවත්පත වෙනුවෙන් 'කඳුළක කැලලක්' නමින් සතිපතා කෙටි කතාවක් ලියන්න මට අවස්ථාව ලැබුණා. ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති අංශයට එක්වූ පසු නවකතා කෙටිකතා ලියන්න අවස්ථාවක් නොලැබුණත් නව කතාවක් ලියන ලෙස සදීපා ප්‍රකාශන ආයතනයෙන් ආරාධනයක් ලැබුණා. මගේ පළමු නවකතාව 'තරු සිනාසුණා දුරකින්' ලියවුණේ ඒ ආරාධනය අනුවයි. ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා ඇතුළු ලංකාදීප කාර්ය මණ්ඩලයෙන් මගේ නිර්මාණ කටයුතුවලට හොඳ සහයෝගයක් ලැබෙනවා. එමෙන්ම 'රස' පුවත්පත් ආයතනයේ කර්තෘ මණ්ඩල ප්‍රධානියාව සිටි කරුණාරත්න ඩී පිලිප් මහතා ඇතුළු එහි කාර්ය මණ්ඩලය ලබාදුන් සහයෝගය හා මගපෙන්වීමත් මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. 
ඔබේ නවකතා සදහා පාදක වන්නේ ඔබ මුහුණ දුන් සැබෑ අත්දැකීම්ද? 
සියයට සියයක් මේ නිර්මාණවල තියෙන්නේ මගේ අත්දැකීම් කියල කියන්න බැහැ. ඒත් මගේ අත්දැකීම් වගේම, සමා‍ජයේ අත්දකින දේවල් මගේ නිර්මාණවල ඇතුළත් වී තිබෙනවා. 

‘තරු හිනැහුණා දුරකින්’ ඔබේ කුළුදුල් නවකතාව. ඒ ගැන ඔබට කියන්න බොහෝ දේ තියෙනවා නේද? 
ඔව්. ‍මේ නවකතාව ලියන්න ලැබුණු අවස්ථාව මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්. මගේ පළමු කෘතිය වුනේ 'ළමා පෝෂණය'. එයත් සදීපා ආයතනයේ ප්‍රකාශයනයක්. එයින් පසු නවකතාවක් ලියන්න ආරාධනා කිරීම ගැන මම සදීපා ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ආධුනිකයකුගේ පොතක් පළකිරී මම ප්‍රකාශන ආයතනයකට අභියෝගයක්. මම මේ වෙනුවෙන් මට හිමි කර්තෘභාගයවත් ලබාගත්තේ නැහැ. මට ඕනෙ වුණේ මුදලට වඩා මගේ නිර්මාණයක් පොතක් ලෙස පළකිරීමටයි. 

ඔබේ නවකතා පහ පස් විදියක් කීවොත් හරි නේද? ආදර කතා පමණක් නොව සමාජීය ගැටලුත් ඒවාට පාදක වී තිබෙනවා. 'නිල් මිහිලිය' සහ 'ගගනත තරුමිණ' ඒ අතරින් විශේෂයි. 
මම සමාජ ප්‍රශ්න ගැන හරිම සංවේදී කෙනෙක්. විශේෂයෙන් තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ගොදුරුවීම, ඔවුන් නොමනා ක්‍රියාවල යෙදීම, විවිධ ලෙඩ රෝගවලින්, දුප්පත්කමින් පීඩා විඳින අය දකිද්දි හිතට දැනෙන්නේ පුදුම වේදනාවක්. මේ සමාජ ගැටලු ගැන අපේ නිර්මාණයකින් හෝ කතා කර සමාජයට පණිවුඩයක් දී එක් තරුණ ජීවිතයක් නොමගයාම වළක්වාගැනීමට මම මේ නිර්මාණ දෙකෙන් උත්සාහ ගත්තා. 

ඔබ ගත් කතුවරියක වුණේ නවකතාකාරියක ලෙස නොවෙයි. ඒ ගැනත් මතක් කළොත් ...
මම මුලින් කිව්වා වගේම මගේ පළමු කෘතිය වුණේ ‘ළමා පෝෂණය’. එය වෛද්‍ය උපදෙස් ඇතුළත් කෘතියක්. දිනක් උදෑසන මට කාර්යාලයට ඇමතුමක් ලැබෙනවා. ඒ 'සදීපා' ආයතනයෙන්. 'නිරෝගී දිවියට' තේමාව යටතේ පළ කරන කෘති මාලාවක් වෙනුවෙන් එක් කෘතියක් රචනා කරන ලෙස ඔවුන් මට ආරාධනා කළා. මම ලංකාදීප සුවසෙවන අතිරේකයට රචනා කළ වෛද්‍ය උපදෙස් සහිත ලිපි දැකලයි ඔවුන් මේ ආරාධනය කළේ. ඒ අනුව මම මේ කෘතිය රචනා කළා. එය මගේ සංස්කරණයක් ලෙස පළවුණේ. මෙහි සම්පත් දායකයා වුණේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතායි. 'සදීපා' ආයතනය මේ පොත් පෙළ එළිදැක්වීමේ උත්සවයක් පවා සංවිධානය කළා. 

කොරෝනා සමයේ කවුරු කවුරුත් නිවෙස්වලට කොටු වෙද්දී, ඔබ අලුත් දේකට අත ගැහුවා නේද? 
කවුරු නිවෙස්වලට කොටු වුණත්, මට නම් කොරෝනා සමයේ නිවසට වෙලා ඉන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මම දිනපතා රාජකාරියට ආවා. නමුත් නිවෙස්වලට වී ඉන්න අය වෙනුවෙන් මුහුණු පොත ඔස්සේ නිර්මාණයක් පළ කරන්න මට මගේ ඥාති සොයුරිය මෙන්ම ජනප්‍රිය ලේඛිකාවක ද වන පවනි උමයංගනාගෙන් ආරාධනයක් ලැබුණා. මා 'විහඟ සර' නවකතාව, කොටස් වශයෙන් මුහුණ පොත වෙනුවෙන් රචනා කළේ ඒ ආරාධනය අනුවයි. එය මගේ නිර්මාණයක් බොහෝ දෙනෙක් අතරට ගෙනයන්න ලැබුණ අවස්ථාවක්. 

මුහුණු පොතෙන් කොටස් වශයෙන් ‘විහඟ සර’ පළ වෙද්දී, එය කියවූ බොහෝ දෙනකු දිනපතා ඔබ සමග සම්බන්ධ වෙමින් අදහස් හුවමාරු කර ගත්තා. ඒක ඔබට අලුත්ම විදියේ අත්දැකීමක් වුණා නේද? 
ඔව්. මම නොහිතපු තරම් ප්‍රතිචාර ඒ වෙනුවෙන් ලැබුණා. කාර්යාලයේ කටයුතු එක්ක සමහර දිනවලට කතාව පළකරන්න බැරිවෙද්දී කතාව පමාවීම ගැන මුහුණු පොතෙන් බොහෝ දෙනෙක් විමසුවා. මගේ කතාව වෙනුවෙන් මගබලාගෙන සිටි අය හිටියා. ඇත්තටම ලේඛකයකුට මෙවැනි ප්‍රතිචාර හරි වටිනවා. තනුජා රාජපක්ෂ මට මුහුණු පොත ඔස්සේ හමුවූ හොඳම පාඨකයෙක්. ඇය කවියෙන් මට ලබා දුන් අදහසක එක වදන් පෙළක් මගේ මතකයේ තියෙනවා. 'විහඟ සර ඇයි මෙහෙම දින ගණන් ගොලුවෙලා.' එම වදන් පෙළයි. මගේ කතාව වෙනුවෙන් කවුරුහරි බලන් ඉන්නවා කියන හැඟීම හරිම ආදරණීයයි. 

‘විහග සර’ නවකතාවක් ලෙස එළිදක්වන්න අදහසක් නැද්ද? 
‘විහග සර’ එළිදක්වන්න මමත් මගබලාගෙන ඉන්නවා. 
‘කොරෝනා’ වසංගතය හමුවේ අප අර්බුද රැසකට මූණ දුන්නා. දැන් අප ආර්ථික අර්බුද රැසකට මුහුණ දෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වුණේ වසරකට පසුවයි. ඒ වගේමයි ආර්ථික අර්බුද මැද මුද්‍රණ කර්මාන්තය ගැටලුවලට මුහුණ දෙනවා. ලේඛක ලේඛිකාවෝ ගැටලුවලට මුහුණ දෙනවා. මේ දේවල් ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි.
මටත් තවම 'විහඟ සර' මුද්‍රණය කරගන්න බැරිවුණේ මේ අර්බුදකාරී තත්වය නිසයි. මුද්‍රණ වියදම වැඩිවුණාම ඒ වියදම පොතෙන් අයකරන්න වෙනවා. එයින් පාඨකයා පීඩාවට පත්වෙනවා. අපේ ප්‍රවීණ ලේඛක ලේඛිකාවන්ට පවා මේ තත්වය නිසා මුද්‍රණය කිරීමට සූදානමින් සිටි කෘති කල් දැමීමට සිදුවී තිබෙනවා. මේ තත්වය ඉක්මනින් වෙනස් ‍වේ යැයි බලාපොරොත්තුවෙන් තමයි අපි කවුරුත් ඉන්නේ. 

ඔබේ පළමු නවකතාව 'තරු සිනාසුනා දුරකින්' එළිදැක්වෙන්නේ 2016 දී. දෙවැන්න 'මල රන්වන්' 2017 දී. ඉන්පසු 2018 දී තෙවැනි නවකතාව 'නිල් මිහිලිය' සහ සිවුවැනි නවකතාව 'හිතක් හිනැහුණා' එළිදැක්වෙනවා. පස්වැන්න 'ගගනත තරුමිණ' එළිදැක්වෙන්නේ 2019 දී. මුහුණු පොතේ පළ වුණු 'විහග සර' හැරුණාම, ඉන්පසු වසර දෙකක් තිස්සේ ඔබේ නවකතාවක් එළිදැක්වෙන්නේ නැහැ. ඇයි ඔබ නිහඩ ? 
රාජකාරී ජීවිතයේ තරමක් කාර්යබහුල වීම නිසා තමයි අලුත් නිර්මාණයක් කිරීම පමා වුණේ. මේ වන විට තවත් නිර්මාණයක් රචනා කරමින් ඉන්නවා. ඒක ආදර කතාවක්. ඒ කතාව මුහුණු පොත ඔස්සේ ඉක්මනින් දැක ගැනීමට ලැබේවි. 

මෙවර පොත් ප්‍රදර්ශනයේ දී පැහැදිලිව දකින්න කරුණක් තමයි පාඨකයන් අතරේ මොන අර්බුද තිබුණත් පොත් කියවන්න තියෙන ආසාව අඩුවී නැති බවය. පොත් කියවන මෙන්ම පොත් ලියන්න උනන්දු අලුත් පරම්පරාවක් ඉන්නවා. ඔබ ඒ අයට දෙන උපදෙස කුමක්ද? 
ඇත්තටම අපේ රටේ විශාල පිරිසක් පොත් කියවනවා. අන්තර්ජාලය ඔස්සේ නවකතා කියවිය හැකි ක්‍රම පවා තිබුණත් පොතක් මිලදී ගෙන කියවන්න කැමති පිරිස තවමත් අඩුවෙලා නැහැ. මේ තරම් ආර්ථික අර්බුදයක් තියෙද්දීත් පොත් ප්‍රදර්ශනයට බොහෝ පිරිසක් පැමිණියා. ඒ වගේම ලියන්න කැමති විශාල තරුණ පිරිසක් ඉන්නවා. නිර්මාණයක් කරද්දී ඒ තුළ තමන්ගේම අනන්යාතාවයක් ගොඩ නගා ගත යුතුයි. සමහරු තව කෙනෙක් ලියපු දෙයක් බලලා, අනුකරණය කරලා ලියන්න ගියොත් එතන අපේ අනන්ය තාවයක් ගොඩනැගෙන්නේ නැහැ. ඒ වගේම අපේ නිර්මාණයකින් සමාජයට යම් පණිවුඩයක් දිය හැකි නම් එය ඉතා වැදගත්. මොකද අපේ පෑන අපි හිතනවාට වඩා බලවත්. 

හොඳ නවකතාවක් එසේත් නැතිනම් සාර්ථක නව කතාවක් ලෙස නවකතාවක් ඔබ දකින්නේ කොහොමද?
මේ නවකතාව හොඳයි; මෙය නරකයි කියලා අපට වර්ග කරන්න බැහැ. එක් පාඨකයෙක් කැමති නවකතාවකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. මම භේදයකින් තොරව ඕනෑම නව කතාවක් කියවන කෙනෙක්. පාඨකයාට රසවින්දනයක් ලබාදෙන ඕනෑම නවකතාවක් හොඳ නවකතාවක් කියා මා සිතනවා. 

මාධ්‍යවේදිනියක වීමේ සිහිනය ජය ගනිමින්, ජනප්‍රිය නවකතාකාරියක බවට ද පත් වී, සමාජයට පණිවුඩයක් දෙමින්, සමාජය යහපත් තැනක් කිරීමට උත්සාහ ගන්නා ඩයනා උදයංගනීගේ ඉදිරි ගමන සැබැවින්ම දීප්තිමත්ය. ඇගේ ලේඛන කටයුතු සියල්ල සාර්ථක වේවා යැයි මම ඇයට සුබ පතමි.

෴ ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom