

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති සාකච්ඡා සාර්ථක වූ බව පැවැසෙයි.
ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ලෙස රුසියන් ජනාධිපති පුටින් හමුවුණු පළමු අවස්ථව මෙයයි. සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ජිනීවා විල අසල පිහිටි ඓතිහාසික 'විලා දෙ ලා ග්‍රන්දේ' මන්දිරයේය.
සාකච්ඡා පැය 4 ක් හෝ 5 ක් තිස්සේ පැවැත්වේවි යැයි අනුමාන කළත් එය පැය දෙකකින් පමණ අවසන් විය.
පළමු වටයේ සාකච්ඡා සඳහා ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, රුසියන් ජනාධිපති පුටින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් (විදේශ ඇමැති) ඇන්තනි බ්ලින්කන් සහ රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහභාගී වූහ.
දෙවැනි වටයේ සාකච්ඡා සඳහා මෙම පිරිසට අමතරව, දෙරටේ තවත් නියෝජිතයන් එක් වූහ.
පසුගිය කාලයේ මත ගැටුම් හේතුවෙන් ඇමෙරිකාව සහ රුසියාව අතර ඇයිහොඳයිකම් පළුදු වී තිබූ බැවින්, ඇමෙරිකාව එරට රුසියන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද රුසියාව එරට ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද නෙරපා දමා තිබුණි. සාකච්ඡාවලින් පසු තානාපතිවරුන් ඇතුළු සෙසු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සඳහා යළි අවසර හිමිවිය.
රුසියාවේ අනුග්‍රහය යටතේ සිදුවන 'සයිබර්' ප්‍රහාර, යුක්රේන සහ සිරියානු අර්බුදයට රුසියාව මැදිහත් වීම සහ රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිට එල්ල වන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් බයිඩන් සහ පුටින් හමුවේ දී සාකච්ඡා පැවැත්විණි.
සාකච්ඡා අවසන් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති බයිඩන් වෙනම මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළ අතර, රුසියන් ජනාධිපති පුටින් ජිනීවා අගනුවර දී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී විය.
බයිඩන් සහභාගී වූ මාධ්‍ය හමුවට රුසියන් මාධ්‍යවේදීන්ට සහභාගී වීමට අවස්ථාවක් ලැබුණේ නැත. කෙසේ නමුත් පුටින්ගේ මාධ්‍ය හමුවට ඇමෙරිකන් මාධ්‍යවේදීහු සහභාගී වූහ.
එම මාධ්‍යවේදීන් රුසියන් අත්අඩංගුවේ පසුවන ඇලෙක්සි නෙවලිනි ගැන ජනපති පුටින්ගෙන් විමසීමක් කළේය.
නෙවල්නි අත්අඩංගුවට ගන්නා බව තමන් දැන සිටි බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඔහු වැරදි කළ නිසා බවත් රුසියන් ජනාධිපති පුටින් පිළිතුරු දෙමින් කියා සිටියේය.
Daily Mail
No comments:
Post a Comment