පෘථිවි පෘෂ්ඨය හැඳින්වෙන්නේ 'ලිතෝස්පියරය' යනුවෙනි. මෙය භූ තැටිවලින් සමන්විතය. අප්‍රිකා, ඇන්ටාක්ටිකා, යුරේසියා, ඕස්ට්‍රේලියා, උතුරු ඇමෙරිකා, පැසිෆික් සහ දකුණු ඇමෙරිකා යනු එම භූ තැටි ය. මෙවැනි භූ තැටි දෙකක් එකිනෙක ගැටීම, භූමි කම්පාවක් එසේත් නැතිනම් භූ චලනයක් ලෙස හැඳින්වෙයි.
2004 වසරේ අප ශ්‍රී ලංකාව ද ඇතුළු ඉන්දීය සාගරයේ රටවල් බිහිසුණු සුනාමියකින් බැට කෑවේ, ඉන්දුනීසියාව අසල මුහුදු පතුළේ හටගත් රික්ටර් පරිමාණයේ ප්‍රබලත්වය ඒකක 9.3 ක් සටහන් කළ අති ප්‍රබල භූමි කම්පාවක් නිසාය.
ඉරානය, ඇෆ්ගනිස්තානය, පාකිස්තාන යන රටවල් පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින්, එම රටවලට භූමි කම්පා ඇතිවීම ස්වභාවිකය.
අද 22 වැනිදා ද එවැනි භූමි කම්පාවක් හටගත්තේ ඇෆ්නිස්තානය කැලැඹිණි. රික්ටර් පරිමාණයේ එම භූමි කම්පාව සටහන් වූයේ 6.1 ක් ලෙසය. රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් සටහන් වූ එය එසේ මෙසේ භූමි කම්පාවක් නොවුණේ දහසකට ඇෆ්ගන් වැසියන් පිරිසක් මියයෑම නිසාය. තුවාල ලැබූ ගණන 600 කට වැඩිය. එයින් 130 කට වැඩි පිරිසක් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ අය වෙති.
හානි වුණු නිවාස සහ ගොඩනැගිලි ගණන ද සියයකට වැඩිය. ඇෆ්ගන් කඳුකර පළාත්වල මැටිවලින් ඉදි කළ ගැමි නිවාස මුළුමනින්ම විනාශ විය. සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීම නොකඩවා සිදුවිය. ඇෆ්ගන් තලේබාන් රජය නිවේදනය කළේ මරණ සංඛ්‍යාව තව තවත් ඉහළ යා හැකි බවය. පක්තිකා නමැති පළාතේ ගම්මාන රැසකට භූමි කම්පාවෙන් හානි සිදුවී තිබේ. සුන්බුන් අතරේ සිරවූවන් මුදා ගැනීමටත් ඇෆ්ගන් තලේබාන් රජය මෙහෙයුම් ආරම්භ කළ අතර, හෙලිකොප්ටර් යානා ඒ සඳහා යොදා ගැනුණි.
භූමි කම්පාව හටගත්තේ ගිණිකොණදිග ඇෆ්ගනිස්තානයේ කෝස්ට් නගරයේ සිට කිලෝ මීටර් 44 ක් දුරින් සහ කිලෝ මීටර් 51 ක් ගැඹුරින් පොළොව පතුළේය. කෝස්ට් නගරය පිහිටා ඇත්තේ පාකිස්තාන දේශසීමාවට යාබදවය. භූමි කම්පාවේ ප්‍රබලත්වය පාකිස්තානයට, ඉන්දියාවට මෙන්ම ඉරානයට ද දැණුනි. රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් පසු අතුරු භූ කම්පන එසේත් නැතිනම් පසු කම්පන රැසක් ද හටගත්තේය.
භූමි කම්පාවෙන් බැටකමින් ඇෆ්ගනිස්තානය මෙම ස්වභාවික ව්‍යසනයට මුහුණ දුන්නේ, රට ආර්ථික අර්බුදයකට ලක් වී ඇති අවස්ථාවකය. පසුගිය 2021 වසරේ අගෝස්තු 30 වැනිදා වනවිට ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගොස් තිබුණි. ඒ සමඟම, ඇමෙරිකාව ඇතුළු යුරෝපා බටඑහිර රටවල සහාය ඇතිව පිහිටවූ ඇෆ්ගන් රජය බිඳ වැටුණි. තලේබාන් සංවිධානය යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගනිමින් ෂරියා නීතිය ද ක්‍රියාත්මක කරමින් රජයක් පිහිටුවීය.
ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ ෂරියා නීතිය ඔවුන්ටම ආවේණික අයුරින් සකස් කරන ලද්දකි. මෙය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල විරෝධයට හේතුවක් වී තිබේ. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් ඇෆ්ගන් තලේබාන් පාලනයට එරෙහිව සම්බාධක පැනැවීමක් සිදුවී ඇත්තේ ද මේ නිසාය.
ඇෆ්ගන් භූමි කම්පාවෙන් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණු බව සැලවීමත් සමඟ මහත් සේ කම්පනයට පත්වූ තැනැත්තකු වන්නේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ය. විපතට පත්වුණු ඇෆ්ගන් වැසියන්ට පිහිට වීමට ලෝකය එකමුතු විය යුතු බව පාප්තුමා පැවැසීය. විපතට පත්වූවන් වෙනුවෙන් යාඥා කිරීමට ද පාප්තුමා අමතක නොකළේය.
භූමි කම්පාව හේතුවෙන් විපතට පත්ව සිටින ඇෆ්ගන් වැසියන්ට මානුෂීය ආධාර අවශ්‍ය යැයි ඇෆ්ගන් තලේබාන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ යුරෝපා සංගමයෙන් ඉල්ලීම් කළේ ඒ අතරතුරේය. ඒ අනුව, ඇෆ්ගනිස්තානයට පනවා ඇති සම්බාධක එසේ තිබියදී, අවශ්‍ය මානුෂීය සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය එකඟ විය.
භූමි කම්පාවෙන් විපතට පත්වුණු ඇෆ්ගන් වැසියන්ට සහාය දැක්වීමට තමන් ද ඉදිරිපත් වන බව චීනය පැවැසුවේය. 'ඇෆ්ගනිස්තානය චීනයේ මිතුරෙක්. ඇෆ්ගනිස්තානයට සහාය දීමට චීනය සූදානමින් සිටිනවා. ඇෆ්ගන් තලේබාන් රජය සමඟ සාකච්ඡා පවත්වමින් අවශ්‍ය පරිදි මානුෂීය ආධාර ලබා දීම අප කටයුතු කරනවා'' යැයි චීන විදේශ අමාත්‍ය ප්‍රකාශක වැංග් වෙන්බින් මාධ්‍ය හමුවේ පැවැසීය.
ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු, ඇෆ්ගනිස්තානයේ සංවර්ධන කටයුතු සඳහා චීනය මැදිහත් වීමට උත්සාහ ගනිමින් සිටී. ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය ස්ථාවරත්වයක් පෙන්නුම් කරන්නේ නම්, ඇෆ්ගනිස්තානයේ සංවර්ධන ව්‍යාපෘති රැසකට මූල්‍ය ආධාර ලබා දීමට චීනය සූදානමින් සිටී.
෴ උපුටා ගැනීම - Al Jazeera