ඩයිනසෝරයන්ට කලින් මිහිමත රජ කළ සත්තු - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 14, 2022

ඩයිනසෝරයන්ට කලින් මිහිමත රජ කළ සත්තු

එකෝමත් එක කාලයක, හරියටම කීවොත් අවුරුදු මිලියන 245 ත් 66 ත් අතර කාලයේ පෘථිවියේ රජ කළේ ඩයිනසෝරයන්ය. ඩයිනසෝරයෝ පෘථිවියේ ආධිපත්‍යය පතුරුවා ගත් දැවැන්තයෝ වූහ. ඒත්, එක් දෛවෝපගත දිනයක, පෘථිවියේ හැපුණු යෝධ ඇස්ටරොයිඩයක් එසේත් නැතිනම් ග්‍රහකයක්, ඩයිනසෝරයන්ගේ ඉරණම තීරණය කළේය. 

ඩයිනසෝරයන් මිහිමතින් තුරන් කර දැමීමට අභ්‍යවකාශය හරහා ආ ඒ ඇස්ටරොයිඩ් යෝධයා සමත් විය. ක්ෂීරපායීන් පරිණාමය සිදුවී, තවත් වසර මිලියන ගණනකට පසු මනුෂ්‍ය වර්ගයා ලොව රජ කිරීම ආරම්භ වූයේත් ඉන් අනතුරුවය. අද පෘථිවියේ ආදිපත්‍ය පතුරුවන්නේ අප මනුෂ්‍යයන්ය. අවුරුදු මිලියන 66 කට පෙර එසේ කළේ ඩයිනසෝරයන්ය. 

ඒත් ඩයිනසෝරයන්ට පෙර පෘථිවියේ රජ කළේ කවුරුන්ද? මොන විදියේ ජීවීන්ද? ඩයිනසෝරයන්ට පෙර මිහිමත බහුලව දැකිය හැකි වූයේ සන්ධිපාදකයන්ය. අද අපට දකින්න ලැබෙන්නේ අතීතයේ පටන් දිවිරැක ගනිමින් ඉතිරි වූ සන්ධිපාදකයන්ය. මකුළුවන්, පොකිරිස්සන්, පත්තෑයන්, ඉස්සන්, ගෝනුස්සන් සහ කෘමීන් ඊට හොඳ උදාහරණයකි. ඒත් ඩයිනසෝරයන්ට පෙර ජීවත් වුණු සන්ධිපාදයන් අපට දැන් දකින්න ලැබෙන සන්ධිපාදකයන් මෙන් නොව; ඔවුන් මහ දැවැන්තයන්ය. 

බ්‍රොන්ටෝ-ස්කෝපියෝ
බ්‍රොන්ටෝ-ස්කෝපියෝ යනු එවැනි දැවැන්තයෙකි. දැවැන්ත ගෝනුස්සෙකි. වර්මානයේ අපට දකින්න ලැබෙන ගෝනුස්සන් මෙන් නොව, බ්‍රොන්ටෝ-ස්කෝපියෝ ඊට වඩා දස ගුණයකින් විශාලය. දිග මීටරයකට වැඩිය. බ්‍රොන්ටෝ-ස්කෝපියෝ දක්ෂ දඩයක්කාරයෙකි. බ්‍රොන්ටෝ-ස්කෝපියෝගෙන් පහසුවෙන් ගැලවී යා නොහැක. බ්‍රොන්ටෝ-ස්කෝපියෝ ගොඩබිම පමණක් නොව, සාගරයේ ද ජීවත් වූ සත්වයෙකි. පෙනහළු පමණක් නොව, කරමල් පවා මෙම යෝධ ගෝනුස්සාට තිබුණි. සාගරයේ බ්‍රොන්ටෝ-ස්කෝපියෝ ට සතුරෙක් සිටියේය. ඒ, ටෙරෙගාටස් ය. ටෙරෙගාටස් සාගර ගෝනුස්සෙකි. බ්‍රොන්ටෝ-ස්කෝපියෝට වඩා බිහිසුණු විලෝපිකයෙකි. ආයාසයකින් තොරව, බ්‍රොන්ටෝ-ස්කෝපියෝ අල්ලා ආහාරයට ගැනීම සිදුවිය. ටෙරෙගාටස්ගේ දිග මීටර් 3 කි. අද අප දකින කිඹුලකු තරම්ය. ටෙරෙගාටස් ට තිබුණේ බර සිරුරකි. එහෙයින්, ජලයට සීමා වුණු මේ ගෝනුස්සා ක්‍රියාශීලීව ගොදුරු අල්ලා ගත් සතකු නොවීය. ටෙරෙගාටස් සැඟවී සිට අවසන් මොහොතේ දැවැන්ත අඩු විදහා, ගොදුරු දැඩිව අල්ලා ගත් බව පැවැසෙයි. කිසිවකුට ඒ ග්‍රහණයෙන් ගැලවිය නොහැකිය. බ්‍රොන්ටෝ-ස්කෝපියෝ වැඩි කාලයක් ගොඩබිම ජීවත් වූයේ ටෙරෙගාටස්ගෙන් බේරීමටය. 
ඇසිඩ් කුහුඹුවෝ
අද මෙන්ම අතීතයේ ද හැමතැනම කුහුඹුවෝ ජීවත් වූහ. අතීතයේ ගොඩබිම ද ජීවත් වූ විලෝපිකයන් අතර, යෝධ කුහුඹුවන් කැපී පෙනෙයි. අතීතයේ තිබූ සුපිරි මහද්වීප පුරා කුහුඹුවන් ඔවුන්ගේ ආධිපත්‍ය පතුරුවාගෙන තිබුණි. ඒත් මේ කුහුඹුවන්, අද අපට දකින්න ලැබෙන කුහුඹුවන් මෙන් නොවෙයි. දැවැන්තයන්ය. මේ යෝධ කුහුඹුවන් රංචු ගැසී ජීවත් වුණු අතර, එම කුහුඹු රංචුවකින් බේරීම පහසු නොවිණි. කුහුඹු ජනපදයක කුහුඹු රැජිනට පියාපත් තිබුණු අතර, කුහුඹු රුජින ප්‍රමාණයෙන් කුඩා කුරුල්ලකු තරම්ය. පොසිල විද්‍යාඥයන් පවසන්නේ මේ යෝධ කුහුඹුවන්ට විෂ පිරුණු ඇසිඩ් විඳීමට හැකියාව තිබෙන්න ඇති බවය. මේ යෝධ කුහුඹුවන් මස් අනුභව කරන්න ඇත. කුහුඹුවන් රංචු පිටින් දඩයමේ ගොස්, උන්ට වඩා ප්‍රමාණයෙන් විශාල සතුන් ගොදුරු කර ගන්න ඇත. 
මෙගානුරප්සිස්
අතීතයේ යෝධ කෘමි සත්තු ගුවනේ රජ කළහ. මෙගානුරප්සිස් ඊට හොඳම උදාහරණයයි. මෙගානුරප්සිස් යනු යෝධ බත්කූරෙකි. මිලියන 300 කට පෙර අතීතයේ මිහිමත ජීවත් වූ දැවැන්තයෙකි. ප්‍රමාණය වර්තමානයේ අපට දකින්න ලැබෙන උකුස්සකු තරම්ය. තියුණු නියවලින් සමන්විත පාද මේ යෝධ බත්කූරාට තිබුණි. ගොදුරු අල්ලා ගැනීමටත් සතුරන්ගෙන් ආරක්ෂා වීමටත් ඒවා භාවිත කරන්න ඇති බව පොසිල සාක්ෂි අනුව පෙනී ගොස් ඇත. සැණින් අහසින් පාත් වී, කුඩා සතුන් අල්ලා ගෙන උන් ඔසවාගෙන රැගෙන යෑමට මෙගානුරප්සිස් සමත් විය. අතීතයේ ජීවත් වූ දක්ෂ දඩයක්කරයකු ලෙස මෙගානුරප්සස් පොලිස විද්‍යාඥයන්ලේ අවධානයට ලක් වී අවසන්ය. මෙගානුරප්සස්ගේ මොළය, හිස සහ ඇස්වල ක්‍රියාකාරීත්වය තියුණුව පැවැතිණි. පෘථිවියේ මෙතෙක් හමුවුණු විශාලතම කෘමි සත්වයා ලෙස සැලකෙන්නේ ද මෙගානුරප්සිස් ය. විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට, මෙගානුරප්සිස් මෙතරම් ප්‍රමාණයෙන් විශාල වන්නට ඇත්තේ මිලියන ගණනක් ඈත අතීතයේ වාතයේ අදට වඩා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් තිබුණි නිනිසාය. 

ලැබ්‍රතෝජන්තා
සන්ධිපාදකයන් සහ කෘමීන් ඩයිනසෝරයන්ට පෙර පෘථිවියේ රජ කළත්, උරගයන්ගේත් උභය ජීවීන්ගේත් ආදීතමයෝ ඒ කාලයේ ජීවත් වූහ. ලැබ්‍රතෝජන්තා යනු උගරයන්ගේ ආදීතමයාය. අස්ථි සහිත ඇතැම් මසුන් පරිණාමය වෙද්දී, ඔවුන්ගේ වරල් අවල් පාද බවට පත්විය. පසුව ඒ අවල් පාද බවට පරිවර්තනය විය. වතුරෙන් එළියට ඇවිත්, ගොඩබිම ජීවිතයකට මේ සතුන් යොමු වූයේ ඒ අනුවය. මුලින්ම බිහිවුණු මේ උභය ජීවීන් කණ්ඩායම හැඳින්වෙන්නේ ලැබ්‍රතෝජන්තා යන නමිනි. තියුණු දත් පේළි සහ ඝන හිස් කබලක් මොවුන්ට තිබුණි. පෙනුමින් සහ ප්‍රමාණයෙන් මේ ජීවීන් කිඹුලන්ට සමාන විය. නොගැඹුරු දියේ ගොදුරු අල්ලා ගත් මොවුහු බිහිසුණු විලෝපිකයන් වූහ. ඉවුරුවල සැඟවී ජලය බීමට පැමිණි සතුන් ගොදුරු කර ගත්හ. ප්‍රමාණයෙන් මුවන් ගෝනුන් වැනි තරම් ලොකු සත්තු ලැබ්‍රතෝජන්තාගේ ගොදුරු බවට පත් වුණැයි පොසිල විද්‍යාඥයෝ පැහැදිලි කරති. 
ක්ෂීරපායී ආදීතමයා
බල්ලන්, හිවලුන් සහ වෘකයන් පැවත එන්නේ උන් සැමට පොදු ආදීතමයකුගේ පරිණාම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසය. එමෙන්ම, මනුෂ්‍යයා පැවැත එන්නේ ද වානරයන් සහ වඳුරන් පරිණාමය වීමෙනි. පෘථිවියේ ඉතිහාස කතාවට අනුව, ක්ෂීරපායීන්ගේ නැගී සිටීම සිදුවුණු බව පැවැසෙන්නේ ඩයිනසෝරයන්ගේ අභාවයෙන් වසර මිලියන 250 කට පමණ පසුවය. ඒත්, එම ක්ෂීරපායීන්ගේ ආදීතමයකු ඩයිනසෝරයන් ජීවත් වූ අවදියේත්, ඊට පෙරත් සිටියා වෙන්න බැරිද? මේ පැනයට පිළිතුරු සොයද්දී පොසිල සාක්ෂි රැසකින් අපූරු හෝඩුවාවක් හමුවී තිබේ. 
සොරොප්සිඩ්ස් සහ සිනැප්සිඩ්ස්
පළමු උරගයන් ලොව පහළ වෙද්දී, උන් 'සොරොප්සිඩ්ස්' සහ 'සිනැප්සිඩ්ස්' ආදී වශයෙන් පැහැදිලිව වෙන් කළ හැකි කොටස් දෙකකට බෙදුණි. ඩයිනසෝරයන්, වර්තමානයේ අප දකින කුරුල්ලන් සහ උරගයන් මෙන්ම උභය ජීවීන් ද බිහිවූයේ 'සොරොප්සිඩ්ස්' කාණ්ඩයෙනි. අප මනුෂ්‍යයන්, වඳුරන්, වානරයන් ද ඇතුළු සියලු ක්ෂීරපායීන් බිහිවූයේ 'සිනැප්සිඩ්ස්' කාණ්ඩයෙනි. ඈත අතීතයේ 'සිනැප්සිඩ්ස්' කාණ්ඩයට එසේත් නැතිනම් 'සිනැප්සිඩ්ස්' පවුලට අයත් ජීවීන් කවුරුන්ද? ඔවුන් මොන වගේද? 

ඩයිමෙට්‍රෝඩෝන්
'සිනැප්සිඩ්ස්' පවුලට අයත්, ඩයිනසෝරයන්ට පෙර ලොව රජ කළ සත්වයකු ලෙස සැලකෙන්නේ 'ඩයිමෙට්‍රෝඩෝන්' ය. මේ සත්වයා මීටර් 3 ක් පමණ දිගය. පෙනුම ඩයිනසෝරයකුගේ මෙනි. සම උරගයකුගේ වැනිය. පිට මැද යෝධ අස්ථිමය කොටසකි. එය හරියට ස්පයිනසෝරස් ඩයිනසෝරයකුගේ පිටේ ඇති රැවලක් හා සමාන අස්ථිමය කොටස වැනිය. එසේ වුවත් 'ඩයිමෙට්‍රෝඩෝන්' ඩයිනසෝරයකු නොවෙයි. 'ඩයිමෙට්‍රෝඩෝන්' යනු අප ක්ෂීරපායීන්ගේ ආදීතම මුතුන්මිත්තාය. 'ඩයිමෙට්‍රෝඩෝන්' චලතාපී සත්වයෙකි. ඒත් 'ඩයිමෙට්‍රෝඩෝන්' ක්ෂීරපායීන්ගේ ආදීතම මුතුන්මිත්තාය. 'ඩයිමෙට්‍රෝඩෝන්' උගේ සිරුරට අවශ්‍ය උණුසුම පරිසරයෙන් ලබා ගත්තේය. පිටේ ඇති රැවලක් වැනි අස්ථිමය කොටස සූර්යාලෝකය උරා ගැනීමට සමත් විය. 
ගොර්ගෝනෝප්සිඩ් 
ක්ෂීරපායීන්ගේ ආදීතම මුතුන්මිත්තා ලෙස සැලකෙන අනෙක් සත්වයා 'ගොර්ගෝනෝප්සිඩ්' ය. 'ගොර්ගෝනෝප්සිඩ්'  යිනසෝරයන්ට පෙර පෘථිවියේ ආධිපත්‍ය පැතිරූ බිහිසුණු පෙනුමක් ඇති බිහිසුණු සත්වයෙක් විය. 'ගොර්ගෝනෝප්සිඩ්' පෙනුමින් මිශ්‍රණයකි. උරගයකු සහ සේබර් ටූත් ව්‍යාඝ්‍රගයකුගේ මිශ්‍රණයකි. යෝධ හිස් කබලේ තියුණු උල් කෘදනක දත් දකින්න ලැබුණි. 'ගොර්ගෝනෝප්සිඩ්' ප්‍රමාණයෙන් අද අපට දකින්න ලැබෙන ව්‍යාඝ්‍රයකු තරම්ය. 'ගොර්ගෝනෝප්සිඩ්' ගෙදුරු කර ගත්තේ 'සිනැප්සිඩ්ස්' පවුලට අයක් වෙනත් සාමාජිකයන් සහ උරගයන්ය. 

෴ උපුටා ගැනීම - 
Who Ruled Earth Before the Dinosaurs
වීඩියෝව ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom