විනාශයේ පෙර නිමිත්ත: මොරොස් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 8, 2026

විනාශයේ පෙර නිමිත්ත: මොරොස්

වසර මිලියන ගණනකට පෙර පෘථිවියේ රජ කළ ටයිරැනසෝරස් රෙක්ස් ඩයිනසෝර යෝධයා ගැන අප කවුරුත් අසා ඇත. ඒත් මේ දැවැන්ත දඩයම්කරුවන්ගේ පරම්පරාව උතුරු ඇමරිකානු මහාද්වීපය තුළ මුල් බැසගත් ආකාරය පිළිබඳව පැහැදිලි සාක්ෂි විද්‍යාඥයන් සතුව තිබුණේ අල්ප වශයෙනි. 

2013 දී ඇමෙරිකාවේ යූටා ජනපදයෙන් සොයාගත් මොරොස් ඉන්ට්‍රෙපිඩස් (Moros intrepidus) නම් කුඩා ඩයිනසෝරයා මෙම රහස ලොවට හෙළි කිරීමට සමත් වී සිටී. 2019 දී නිල වශයෙන් නම් කරන ලද මෙම සත්වයා, උතුරු ඇමරිකාවෙන් හමුවූ පැරණිතම ටිරන්නෝසෝර පරම්පරාවට අයත් සාක්ෂියක් ලෙස සැලකෙයි. 

ග්‍රීක බසින් ‘මොරොස්’ යනු ඉදිරියේදී පැමිණීමට නියමිත විනාශය පිළිබඳ පෙරනිමිත්තකි. ටයිරැනසෝරසයන් පසුව මුළු මහාද්වීපයම ආක්‍රමණය කරමින් ඇති කළ මහා විනාශකාරී බලයට ඉඟියක් ලෙස මෙම නම භාවිත කර ඇත. මොරොස්ගේ අස්ථි කොටස් අධ්‍යයනය කිරීමේදී විද්‍යාඥයන්ට පෙනී ගියේ මොවුන් මීට වසර මිලියන 96 කට පෙර ක්‍රිටේසියස් යුගයේ ජීවත් වූ බවය. 

පුදුමයට කරුණ නම්, අප දන්නා මීටර් 12 ක් පමණ දිග ටයිරැනසෝරසයන්ට වඩා මොවුන් ප්‍රමාණයෙන් ඉතා කුඩා වීමයි. සොයාගත් අස්ථිවලට අනුව මේ සත්වයාගේ උස මීටර් 1.2 ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 78 ක් පමණ වූ බව ගණන් බලා ඇත. මොරොස් සතුව තිබූ සුවිශේෂීම ලක්ෂණය වන්නේ උගේ පාදවල පිහිටීමය. ඉතා සිහින් සහ දිගු පාද ඇති මොවුන්, ‘ඔර්නිතොමිමිඩ්’ නම් වේගයෙන් දුවන ඩයිනසෝරයන්ට සමාන හැකියාවන්ගෙන් යුක්ත වන්නට ඇතැයි විශ්වාස කෙරේ. 

සැබවින්ම මොවුන් තම පරම්පරාවේ පසුකාලීන දැවැන්තයන් මෙන් බලයෙන් නොව, වේගයෙන් තම ගොදුරු දඩයම් කළ සත්ව කොට්ඨාසයකි. ආසියාවේ සිටි මුල්කාලීන ටයිරැනසෝරසයන්ට සමීප නෑකමක් දක්වන මොරොස්, ආසියානු මහාද්වීපයේ සිට ඇමරිකාවට ඩයිනසෝරයන් සංක්‍රමණය වූ ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරයි. 

මෙම සොයා ගැනීම හරහා පෙනී යන්නේ ටයිරැනසෝරස් උතුරු ඇමෙරිකාවේ රජුන් බවට පත්වීමට පෙර වසර මිලියන 15 ක් වැනි කෙටි කාලයක් තුළ ඉතා වේගයෙන් තම ශරීර ප්‍රමාණය සහ බලය වර්ධනය කරගෙන ඇති බවය. කුඩා මොරොස්ගේ සිට යෝධ ටයිරැනසෝරස් දක්වා වූ මෙම පරිණාමීය ගමන පෘථිවි ඉතිහාසයේ වඩාත්ම විස්මිත පරිච්ඡේදයක් ලෙස සැලකෙයි. 

ලුසිත ජයමාන්න 
NDTV Science ඇසුරිනි

Classified_Ad