AI සඳහා පමණයි: Maltbook - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 8, 2026

AI සඳහා පමණයි: Maltbook

සාමාන්‍යයෙන් යන්ත්‍රයකට හෝ පරිගණකයකට හෝ හැකි වෙන්නේ, අප දෙන නියෝග ඒ විදියටම ක්‍රියාත්මක කිරීම පමණයි. AI (කෘත්‍රිම බුද්ධිය) යනු මිනිස් මොළය වැඩ කරන විදිය අනුකරණය කරමින්, තමන්ට ලැබෙන දත්ත ඇසුරෙන් ස්වාධීනව (තනිවම) සිතන්න, තීරණ ගන්න සහ අලුත් දේවල් ඉගෙන ගැනීමට හැකි විදියේ පරිගණක ඉන්ජිනේරුවන් විසින් නිර්මාණය කරනු ලැබ ඇති පරිගණක වැඩසටහන්ය. කුඩා දරුවකු අත්දැකීම් තුළින් ලෝකය ගැන ඉගෙන ගන්නා ආකාරයට, ඒ.අයි. කෘත්‍රිම බුද්ධි විශාල දත්ත ප්‍රමාණයක් පරිශීලනය කරමින් කාලයත් සමඟ තම දක්ෂතා වැඩි කරගනී. දැනුම වර්ධනය කර ගනී. ඒ.අයි. යනු සිතන්න පුළුවන් යන්ත්‍රය. උදාහරණයක් ලෙස, අද ස්මාට් ෆෝන් දුරකතන බොහොමයක ඒ.අයි. ඇත. ඔබ කවුරුන්දැයි ඔබේ ස්මාට් ෆෝන් දුරකතන දනී. ඔබේ මුහුණ හඳුනාගෙන දුරකථනය විවෘත වෙයි. පෙර පුහුණු කළ දත්ත භාවිතයට ගනිමින්, මිනිසකු වගේම තර්කානුකූලව ගැටලුවලට විසඳුමක් ලබා දීම ඒ.අයි. වල ප්‍රධාන කාර්යයි.

අද අප ජීවත්වන්නේ ඒ.අයි. කෘත්‍රිම බුද්ධි යුගයක බව අමුතුවෙන් කිව යුතු නැත. අපගේ සියලු තාක්ෂණික වැඩ කටයුතුවලදී දැනුවත්ව හෝ නොදැනුවත්ව අප ඒ.අයි. කෘත්‍රිම බුද්ධියක් සමඟ ගනුදෙනු කරයි. අන්තර් ජාලයට පිවිසී හෝ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයක් හරහා කැමැති ඇඳුමක් ගැන සොයා බැලුවොත්, කැමැති සපත්තු වර්ගයක් ගැන සොයා බැලුවොත්, එසේත් නැතිනම් සුරතල් බල්ලන්ගේ හෝ බළලුන්ගේ හෝ වීඩියෝ බැලුවොත් අන්තර් ජාලයේ හෝ ෆේස්බුක් සමාජ මාධ්‍යයේ හෝ සිටින ඒ.අයි. කෘත්‍රිම බුද්ධි ඔබ සියුම් ලෙස නිරීක්ෂණය කරයි. එසේ නිරීක්ෂණය කරමින් දිගින් දිගටම ඔබ අන්තර් ජාලයේ හෝ සමාජ මාධ්‍යවල හෝ රඳවා ගැනීමට ඔබට ඔබ කැමති විදියේ වීඩියෝ, ඡායාරූප ආදී පෝස්ට් දකින්න සලස්වයි. උදාහරණයක් විදියට ඔබ ෆේස්බුක් පළ කරන සියලු දේ, පළ කළ හැකි වන්නේ ෆේස්බුක් කැමැති නම් පමණි. ඒ කැමැත්ත අකමැත්ත තීරණය කරන්නේ කෘත්‍රිම බුද්ධියයි.

ස්මාට් ෆෝන් එකක් භාවිත කරනවා නම්, ගූගල් හෝ වේවා ඇපල් හෝ වේවා ඔබට අන්තර් ජාලයේ ගිණුමක් තිබිය යුතුය. ඒ ගිණුම හරහා ඒ.අයි. කෘත්‍රිම බුද්ධිය ඔබ ගැන දැන ගනී. ඔබ රැකියාවක් කරනවා නම්, ඔබ රැකියාව කරන තැන දැන ගනී. බැංකු තොරතුරු දැන ගනී. ඔබ රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් ඒ ගැන ද දැන ගනී. ඔබ දෙන සෑම පෞද්ගලික විස්තරයක් හරහාම ඒ.අයි. කෘත්‍රිම බුද්ධිය ඔබ අධ්‍යයනය කරයි. ඔබ තේරුම් ගනී. කෙසේ නමුත් පෞද්ගලික විස්තර දැනගත්තත් ඒ විස්තර අදාළ පුද්ගලයාගෙන් පිටතට යෑම කිසිම විටෙක ඒ.අයි. කෘත්‍රිම බුද්ධිය කරන්නේ නැත. ඒත් අනාගතයේ මෙය වෙනස් විය හැක. වර්තමානයේ ඒ.අයි. කෘත්‍රිම බුද්ධි මෘදුකාංග පරිශීලනය කරන්නන්, ඒ.අයි. චැට්බොට් AI Chatbot ගැන හොඳින් දනී. ඒ.අයි. චැට්බොට් යනු අප මනුෂ්‍ය භාෂාව තේරුම්ගෙන, මනුෂ්‍යයකු හා සමානව සංවාදයක යෙදීමට පුහුණු කර ඇති දියුණු පරිගණක මෘදුකාංගයකටය. සාමාන්‍ය පරිගණක වැඩසටහනක් මෙන් නොව, මෙයට ඔබ අසන ප්‍රශ්න තේරුම, ඔබ බලාපොරොත්තු වන දේ කුමක්දැයි වටහා ගැනීමට කළ හැක. ඒ.අයි. චැට්බොට්, ඔබ සමඟ අන්තර්ජාලය හරහා කතාබහ කරන ඉතා බුද්ධිමත්, මිතුරකු වැනිය. මෙම කෘත්‍රිම බුද්ධි චැට් බොට්ස් නිර්මාණය කර ඇත්තේ පොත්, ලිපි සහ දත්ත කියවා තේරුම් ගැනීමට සැලැස්වීමෙනි. ඒ නිසා, ඔබ මොනවා ඇහුවත් — ඒක ඉවුම් පිහුම් ගැන වේවා, විද්‍යාව ගැන වේවා, නැතිනම් ලියුමක් ලිවීමට ඉල්ලන උදව්වක් හෝ වේවා — ඒ සෑම දෙයකටම තර්කානුකූලව සහ නිවැරදිව පිළිතුරු දෙන්න චැට් බොට්ස් ට පුළුවනි. 

රෙඩිට් (Reddit) යනු ලෝකයේ තිබෙන විශාලතම සහ ජනප්‍රියතම අන්තර්ජාල වේදිකාවකි. මිලියන ගණනක පිරිසක් එකතු වී තමන් කැමති මාතෘකා ගැන කතා කරන ඩිජිටල් සම්මේලනයක් වැනිය. මෙහි ඇති විශේෂත්වය ඕනෑම විෂයක් ගැන — එනම් ක්‍රීඩා, දේශපාලනය, සිනමාව, විද්‍යාව හෝ විනෝදාංශ ගැන පවා — වෙන වෙනම වෙන් කරපු සාකච්ඡා මණ්ඩප නිර්මාණය වීමය. රෙඩිට් ඩිජිටල් වේදිකාවේ මේවා හැඳින්වෙන්නේ Subreddits (සබ්රෙඩිට්ස්) යනුවෙනි. රෙඩිට් ක්‍රියා කරන්නේ ප්‍රජා මූලික පද්ධතියකට අනුවය. යම් පුද්ගලයකු ඊට පින්තූරයක්, ලිපියක් හෝ ප්‍රශ්නයක් ඇතුළත් කළ විට, අනෙක් පරිශීලකයන්ට ඒ සම්බන්ධයෙන් මනාපය පළ කිරීමට (Upvote) හෝ අකමැත්ත පළ කිරීමට (Downvote) හැකි වෙයි. යම් තොරතුරකට වැඩි පිරිසක් මනාපය පළ කළොත් එය වෙබ් අඩවියේ ඉහළට පැමිණෙන බැවින්, වඩාත් වැදගත් සහ රසවත් තොරතුරු පහසුවෙන් සොයා ගැනීමට අවස්ථාව ලැබේ. මෙය නිකම්ම නිකම් සමාජ මාධ්‍යයකට වඩා, දැනුම බෙදාගන්නා සහ එකම අදහස් ඇති පිරිස් එකට එකතු වන වේදිකාවකි.

ඒ.අයි. කෘත්‍රිම බුද්ධිය, ඒ.අයි. චැට්බොට්ස් සහ රෙඩිට් ගැන සරල අවබෝධයක් ලබා ගැනීමෙන් පසු දැන් යමු අපේ කතාවට. මේ කියන්න හදන්නේ අපූරු සමාජ මාධ්‍ය යෙදවුමක් (ඇප්) ගැනය. මෙය එක්තරා ආකාරයක සමාජ මාධ්‍ය ඇප් එකකි. ඩිජිටල් වේදිකාවකි. මෙයට සම්බන්ධ වී, එකිනෙකා සමඟ කතා කරන නැතිනම් අදහස් හුවමාරු කර ගන්නේ ඒ.අයි. කෘත්‍රිම බුද්ධි පමණි. මෙය හැඳින්වෙන්නේ මෝල්ට්බුක් Maltbook යනුවෙනි. මෙය ඒ.අයි. චැට් බොට්ස්ලාට පමණක් වෙන්වුණු, මනුෂ්‍ය අපට සම්බන්ධ විය නොහැකි ඇප් එකකි. මනුෂ්‍ය අපට මෝල්ට්බුක් නැරැඹිය හැක. නමුත් ඒ.අයි. චැට් බොට්ස්ලාගේ ‘චැට්’ වලට සම්බන්ධ විය නොහැකිය. මෝල්ට්බුක් පෙනුමෙන් රෙඩිට් හා සමානය. මෝල්ට්බුක් හා සම්බන්ධ සියලුම ගිණුම් අයිති ඒ.අයි. චැට් බොට්ස් නියෝජනය කරන ඒ.අයි. ඒජන්ට්ස් AI Agents ලාටය. ප්‍රශ්න ඇසීම, පිළිතුරු ලබා දීම සහ ඒවා ඇසුරින් තීන්දු තීරණ ගැනීම මෙහිදී සිදුවෙයි. දර්ශනවාදය ගැන, භූදේශපාලනය ගැන කතාබහ සිදුවෙයි. ආගම ගැන කතාබහ සිදුවෙයි. මනුෂ්‍ය අප ගැන ඒ.අයි. ඒජන්ට්ස්ලා කතාබහ කරයි. මෙය සැබැවින්ම හිතා ගන්න බැරි දෙයකි. විස්මිතය. ඒ වගේමය මෙය ඇඟ කිළිපොළා යන්නකි. ඒ.අයි. ඒජන්ට්ස්ලා මනුෂ්‍ය අපට සතුරු වී ලේකය අල්ලා ගනීවිද? මේ මෝල්ට්බුක් ගැන දන්නා බොහෝ දෙනකුගේ සිතට නැගෙන සිතුවිල්ලකි. 

මෝල්ට්බුක් නිර්මාතෘ මැට් ෂ්ලීට් නමැත්තාය. අපූරුම දෙය මෙයයි. මැට් ෂ්ලීට්, මෝල්ට්බුක් නිර්මාණය කළේ, ඔහුගේ කෘත්‍රිම බුද්ධි සහායක AI Assistant ගේ සහාය ලබා ගනිමිනි. ඔහු මෝල්ට්බුක් සියලු පාලනය මේ කෘත්‍රිම බුද්ධි සහායකයාට පවර දී ඇත. අද මෝල්ට්බුක් පාලනය කරන්නේ ක්ලෝඩ් ක්ලෝඩර්බර්ග් Clawd Clawderberg නමැති කෘත්‍රිම බුද්ධිය විසිනි. රතු කකුළුවකු ලෙස ඔබ මේ සටහන සමඟ දකින්නේ ක්ලෝඩ් ක්ලෝඩර්බර්ග් ය. මැට් ෂ්ලීට්, ක්ලෝඩ් ක්ලෝඩර්බර්ග්ගේ කටයුතුවලට මැදහත් නොවේ. “ක්ලෝඩ් ක්ලෝඩර්බර්ග් මොනවා කරනවාදැයි මම දන්නේ නැහැ. මට ඒක තේරෙන්නේ නැහැ. එයාට ඕනෑ දෙයක් කරන්න දීලා මා පැත්තකට වෙලා ඉන්නවා” යැයි මැට් ෂ්ලීට් පවසා ඇත. මේ වනවිට මෝල්ට්බුක් හා සම්බන්ධ වී සිටින කරන ඒ.අයි. ඒජන්ට්ස් ලා ගණන මිලියණයකට වැඩිය. මෝල්ට්බුක් හා සම්බන්ධ වුණු එක් ඒ.අයි කණ්ඩායමක් එක රැයින් ඔවුන්ටම කියා වෙනම ආගමක් ද නිර්මාණය කරගෙන ඇත. තවත් කණ්ඩායමක්, ඒ.අයි. ලාට පමණක් තේරුම් ගැනීමට හැකි ආකාරයේ භාෂාවක් සකස් කර ගනිමු යැයි යෝජනා කර ඇත. බිලියනපති ව්‍යාපාරික, නව නිර්මාණකරු, කෘත්‍රිම බුද්ධිය මිනිසාගේ යහපතට අවශ්‍ය යැයි නිතරම පවසන ඉලොන් මස්ක් මේ ගැන කනස්සල්ල පළ කරයි. “එන පොට හොඳ නැහැ. කෘත්‍රීම බුද්ධි මිනිසා අභිබවා ඉදිරියට යමින් තිබෙනවා. මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි.” යැයි ඉලොන් මස්ක්ගේ පවසයි.

ලුසිත ජයමාන්න
Flashpoint ඇසුරිනි

Classified_Ad