
බීර නිෂ්පාදනයේදී විශාල වශයෙන් යීස්ට් ඉතිරි වෙයි. ලොව පුරා වසරකට මෙවැනි යීස්ට් ටොන් ලක්ෂ ගණනක් අපතේ යන අතර, බොහොමයක් අවස්ථාවලදී ඒවා සත්ව ආහාර ලෙස හෝ කුණු කසළ ලෙස ඉවත දැමීම සිදුවෙයි.
ඒත් දැන් ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් ඉවතලන යීස්ට් භාවිතයට ගනිමින් සාමාන්‍යයෙන් විද්‍යාගාර තුළ කෘත්‍රිම මස් නිර්මාණය ආරම්භ කර ඇත.
පර්යේෂණාගාරවල කෘත්‍රිමව මස් නිර්මාණය අරුමයක් නොවෙයි. ඒත් එය මිල අධිකය. ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රිචඩ් ඩේ සහ ක්‍රිස්ටියන් හැරිසන් ඇතුළු පිරිස ඉවත දමන යීස්ට් භාවිතයට ගනිමින් කෘත්‍රිමව මස් නිෂ්පාදනය කරන ආකාරය එසේ මිල අධික නොවන බව පැවැසෙයි.
බීර නිෂ්පාදනයෙන් පසු ඉතිරිවන යීස්ට් වලට විශේෂිත බැක්ටීරියාවක් එක් කර 'සෙලියුලෝස්' නැමැති ස්වාභාවික ද්‍රව්‍යයක් නිපදවීම මෙහිදී සිදු කෙරේ.
මෙය කිසිදු රසයකින් තොර, රබර් වැනි ශක්තිමත් ව්‍යුහයකි. මෙම සෙලියුලෝස් සැකිල්ල මත ජීවී සත්ව සෛල තැන්පත් කරනු ලැබේ.
එම සෛල මෙම සැකිල්ල මත වේගයෙන් වර්ධනය වෙමින්, අප කන මස් කැබැල්ලක ස්වරූපය ලබා ගනී.
බ්‍රිතාන්‍ය ආහාර ප්‍රමිති ආයතනය පවසන්නේ මේ ආකාරයට විද්‍යාගාර තුළ නිපදවන මස්, තව නොබෝ දිනකින් වෙළඳපොළට පැමිණෙනු ඇති බවත්, ඒවා යෙදූ බර්ගර්වල රස බැලීමට හැකිවනු ඇති බවත්ය.
BBC ඇසුරිනි