කොංග්‍රසයට යොමු කළ යෝජනාවට විරෝධය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 6, 2021

කොංග්‍රසයට යොමු කළ යෝජනාවට විරෝධය

ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රීවරුන් පස් දෙනෙකු විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එරට කොංග්‍රස් සභාවට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රි ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 32 ක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපද කොන්ග්‍රසය තුළ සිටින එල්ටීටීඊ හිතවාදී කල්ලියකගේ බලපෑම මත ගෙන ආ යෝජනාවක් ලෙස පෙනී යන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී. 

සනාථ නොකරන ලද, පදනම් විරහිත සහ අමූලික අසත්‍ය කරුණු සහ එම යෝජනාවේ අභිප්‍රාය පිළිබඳව බරපතල සැක මතු කරන චෝදනා අඩංගු වන බැවින් ඊට ශ්‍රී ලංකා රජය මෙම විරෝධය පළ කරන බවද විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

මෙම යෝජනාවේ සාවද්‍ය, පක්ෂග්‍රාහී සහ ඒක පාර්ශ්වීය ස්වභාවය පිළිබඳව සලකා බැලීමේ දී, මෙය හුදු මානව හිමිකම් යෝජනාවක් නොවන බැවින්, ශ්‍රී ලංකා රජයේ මෙම විරෝධය වොෂිංටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා, කොන්ග්‍රස් සභාවේ විදේශ කටයුතු කමිටුවේ සහ එම සභාවේ ආසියාව පිළිබඳ අනු කමිටුවේ නියෝජිතයින් වෙත සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරන බවද එම අමාත්‍යාංශය කියා සිටී. 

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී ඩෙබෝරා කේ. රොස් මහත්මිය විසින්, තවත් නියෝජිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වන බිල් ජොන්සන්, ඩැනී කේ. ඩේවිස්, බ්‍රැඩ් ෂර්මන් සහ කැතී මැනින් මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉකුත් මස 18 වැනි දින එම කොන්ග්‍රස් සභාවට ලංකාව සම්බන්ධයෙන් වන මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ සිටිති. 

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රීවරුන් පස්දෙනා ඉදිරිපත් කළ එම යෝජනාව මේවනවිට කොංග්‍රස් සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව වෙත යොමු කර ඇති බව වාර්තා වන බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

Classified_Ad

Classified_Ad_News_Bottom