මොළය රවටන කෝපි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Nov 22, 2026

මොළය රවටන කෝපි

පැරැන්නෝ කෝපි බීවේ, අජීර්ණයකදී සහනයක් ලබා ගන්නටය. ඒත් අද කෝපි කීවාම විවිධාකාරයේ රස පාන රැසකි. එස්ප්‍රෙසෝ (Espresso), කැපුචිනෝ (Cappuccino), ලාටේ (Latte), අමෙරිකානෝ (Americano) සහ මෝකා (Mocha) ආදී වශයෙන් නොයෙක් නොයෙක් රසවත් කෝපි පාන එමටය. 

තේවලට වඩා බොහෝ දෙනාගේ ප්‍රියතම පානය කෝපිය. ඊට හේතුව කෝපි පානය සිරුරේ අසලගතිය එනම් නිදිමත මඟ හැර, සිරුර ප්‍රබෝධමත් කරන බැවිනි. ඒත් කෝපිවලට ඇත්තටම සිරුර ප්‍රබෝධමත් කළ හැකිද? 

විද්‍යාඥයන්ට අනුව නම්, එය එසේ නොවෙයි. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, කෝපි පානය කරද්දී, අපට ක්ෂණිකව ලැබෙන ඒ ප්‍රබෝධය, අපේ සිරුරට ලැබෙන සැබෑ ශක්තියක් නොව, මොළය රැවටීමකින් සිදුවන මිරිඟුවක් පමණක් බවය. 

දිවා කාලයේ වෙහෙසට පත්වන විට ස්වභාවිකවම මොළයේ ඇඩනසින් (Adenosine) නමැති රසායනික සංයෝගය එකතු වන අතර, එය ක්‍රමයෙන් ස්නායු පද්ධතිය මන්දගාමී කරමින් අප අලස කරයි. නැතිනම් නිදිමත ඇති කරයි. 

අප කෝපි පානය කරද්දී, කෝපිවල අඩංගු කැෆේන් අණු, මොළයේ ඇති ඇඩනසින් ග්‍රාහක (Receptors) වෙත ළඟා වී ඒවා අවහිර කරයි. එහිදී ඇඩනසින් රසායන සංයෝගයට, මොළයට වෙහෙසකර සංඥා යැවීමට නොහැකි වෙයි. ඒ අනුව, අපට වෙහෙස දැනීම තාවකාලිකව වැළකී ගොස් සිරුරට කෘත්‍රිම පිබිදීමක් සහ සප්‍රාණිකත්වයක් දැනෙන්නට පටන් ගනී. මෙම තාවකාලික ප්‍රබෝධමත් සතුට වැඩි වේලාවක් රඳා පවතින්නේ නැත. 

පැය කිහිපයකට පසු සිරුර කලින්ටත් වඩා අලස වෙයි. ඒ, කැෆේන් මගින් මොළය මුළා කර තබා ගන්නා අතරතුර, සිරුර අඛණ්ඩව ඇඩනසින් නිෂ්පාදනය කරමින් එම ග්‍රාහක වටා තවදුරටත් ඒවා රැස් කරන බැවිනි.

කෝපිවල බලපෑම හීන වී කැෆේන් අණු ක්ෂය වී යද්දී, එකවර මුදා හරිනු ලබන එම දැවැන්ත ඇඩනසින් ප්‍රමාණය මොළයේ ග්‍රාහක සමග එකවර බද්ධ වෙයි. සිරුර සාමාන්‍ය තත්ත්වයට වඩා දැඩි අලස තත්වයකට පත් වෙයි. එබැවින් බොහෝ දෙනා කරන්නේ යළි යළිත් කෝපි කෝප්පයක් කරා දිවීමය. 

මේ නිසා‍ කෝපි පානය වඩාත් ප්‍රඥාවන්තව හා සමබරව කළමනාකරණය කර ගැනීම මැනවිය. දවස පුරා කෘත්‍රිම උත්තේජක මත පමණක් යැපීමෙන් තොරව, සිරුරේ ස්වාභාවික ශක්ති චක්‍රයට මුල්තැන දෙමින් කැෆේන් භාවිතය පාලනය කර ගැනීම සෞඛ්‍යයට අතිශයින්ම හිතකරය. 

උදෑසන නින්දෙන් පිබිදුණු විගසම කෝපි පානය කරනවා වෙනුවට, අවදි වී පැයකට පමණ පසු පළමු කෝපි කෝප්පය ලබා ගැනීම මගින් සිරුරේ ස්වභාවික හෝමෝන ක්‍රියාකාරීත්වය සමග එය මනාව සමපාත වන බව විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීමය.  

ලුසිත ජයමාන්න 
The Brain maze ඇසුරිනි

Classified_Ad