සැකකරුවකුටත් සාහිත්‍ය සම්මානයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 2, 2022

සැකකරුවකුටත් සාහිත්‍ය සම්මානයක්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022 උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 28 වැනිදා පැවැත්වුණු අතර, එහිදී හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය බන්ධනාගාරගතව සිටින සැකකරුවකු විසින් හිමිකරගැනීම විශේෂත්වයක් විය. 

මෙම සම්මානය සිවලිංගම් ආරූලන් මහතා රචනා කළ ‘ආදුරු සාලෙයි’ කෘතියට හිමි වූ අතර, ඔහු කොළඹ පිත්තල හන්දියේ දී 2006 වසරේ එවක ආරක්‍ෂක ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරුවකු ලෙස මැගසීන් බන්ධනාගාරයේ රඳවා සිටී. 

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාද් උපාධිය හදාරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු මැගසීන් බන්ධනාගාරයේ සිටිමින් දෙමළ භාෂා කෘතීන් 7ක් සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් රචනා කර ඇති අතර, එම කෘතීන් අටම සියල්ල රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වී ඇත.
2016 දී ද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගෙන ඇත්තේ ඔහු විසිනි. සම්මාන උළෙල සඳහා මැගසීන් බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ ඔහු රැගෙන එනු ලැබ තිබූ අතර, ඔහු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතින් සම්මානය ලබාගත්තේය. 

ඔහුගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔහුගේ පියාද ගුවන් යානා ඉංජිනේරුවරයෙකි. 

෴ ඩයනා උදයංගනී 
උපුටා ගැනීම - ලංකාදීප
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

Classified_Ad

Classified_Ad_News_Bottom