මාලි මවක් දරුවන් 9 ක් ප්‍රසූත කරලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 5, 2021

මාලි මවක් දරුවන් 9 ක් ප්‍රසූත කරලා

බටහිර අප්‍රිකාවට අයත් මාලි රටේ කාන්තාවක, දරුවන් නව දෙනකු ප්‍රසූත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මෙය ඉතාම විරල සිදුවීමක් බවය. 

හලීමා සිසේ නමැති 25 හැවිරිදි මෙම කාන්තාව පිරිමි දරුවන් සිවු දෙනකු සහ ගැහැනු දරුවන් පස් දෙනකු බිහි කළේ මොරොක්කෝවේ රෝහලකදීය. 

මාලී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත, හලීමා සිසේ දරු ප්‍රසූතිය සඳහා මොරොක්කෝ රාජ්‍යය බලා රැගෙන යෑම සිදුවිය. ඒ ඇය විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ දරු ප්‍රසූතිය කළ යුතු බැවිනි. 

ඒ සියල්ල සිදුවූයේ මාලි රජයේත්, එරට සෞඛ්‍ය අමත්‍යාංශයේත් අනුග්‍රහය මැදය. 

හලීමා සිසේ මොරොක්කෝවට රැගෙන යෑම සිදුවූයේ ඇගේ කුසේ දරුවන් 7 දෙනකු ඇති බව ස්කෑන් පරීක්ෂණවලින් පෙනී ගිය නිසාය. 

කෙසේ නමුත් සිසේරියන් සැත්කමේදී දරුවන් 9 දෙනකු සිටිනු දැකීමෙන් මොරොක්කෝ වෛද්‍ය කණ්ඩායම පුදුමයට පත් වී ඇත. 

තමන් නිවුන් දරුවන් 9 දෙනකු බිහි කළ බව විශේෂඥ වෛද්‍යවරුන් හලීමා සිසේ ට පැවැසූ අවස්ථාවේ දී ඇය පුදුමයට පත් වුණු බව ද මාධ්‍ය වාර්තා පවසයි.

සිසේරියන් සැත්කමකින් දරු ප්‍රසූතිය සිදුවුණු අතර මවත් දරුවන් නව දෙනාත් යහතින් පසුවන බවත් මාලි සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 

මීට පෙර තම රටේ මේ අයුරින් නව දරු උපතක් සිදුවුණු බවට කිසිදු වාර්තාවක් පළ වී නැතැයි මාලි සෞඛ්‍ය අමාත්‍ය ප්‍රකාශක රිචඩ් කුණ්ඩාරී පවසා තිබේ.

'මව සහ දරුවන් යහතින් සිටිනවා. වැඩි පරිස්සමට සති කීපයක් අප ඔවුන් රෝහලේ රඳවා ගන්නවා. ඉන්පසු ඇයට ආපසු මාලි රාජ්‍යයට යෑමට ඉඩ ලැබේවි' යැයි දරු ප්‍රසූතියට සම්බන්ධ මොරොක්කෝ වෛද්‍යවරුන් පවසා තිබේ.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom