සර්බියාව වෙනස් කළ Gen Z - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Oct 30, 2026

සර්බියාව වෙනස් කළ Gen Z

නොවි සාද් යනු සර්බියාවේ දෙවැනි විශාලතම නගරය සහ උතුරු සර්බියාවේ වොයිවොඩීනා පළාතේ පරිපාලන අගනගරයයි. ඩැනියුබ් ගංගා තීරයේ පිහිටා ඇති මෙම නගරයේ සිට, සර්බියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් දක්වා ඇත්තේ කිලෝමීටර 90 ක දුරකි. 

එදා එනම්, 2024 නොවැම්බර් 1 වැනිදා උදෑසන 11.50 වෙද්දී, සර්බියාවේ, නොවි සාද් දුම්රිය ස්ථානයේ කොන්ක්‍රීට් වහලය හදිසියේම කඩා වැටුණි. කාර්යාලීය වේලාවක් නොවුණත් එම අවස්ථාවේ, දුම්රිය පොළේ සැලකිය යුතු මගීන් පිරිසක් සිටියහ. තත්පර කීපයක් ඇතුළත, කොන්ක්‍රීට් වහලයේ සුන්බුන් අතරට සිරවුණු 15 දෙනකුට දිවි අහිමි විය. බරපතල තුවාල සහිතව දිවි ගලවා ගත් තිදෙනකු රෝහල්ගත කළ අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල විය. 

 සිදුවූයේ ඛේදවාචකයකි. මුළු සර්බියාව පමණක් නොව, සර්බියාව අයත් යුරෝපා රටවල් ද, ලෝකයේ සෙසු රටවල් ද නොවි සාද් දුම්රිය ස්ථානයේ සිදුවුණු මෙම ඛේදවාචක ගැන කම්පා වීමට පටන් ගත්තේය. එය හුදෙක් අවාසනාවන්ත හදිසි අනතුරක් ලෙස සලකා අමතක කර දැමීමට, සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුචිච් ප්‍රමුඛ ඔහුගේ සර්බියානු ප්‍රගතිශීලී පක්ෂ රජය උත්සාහ කළේය. 

සිදුවූයේ කුමක්දැයි විමර්ශනයක් සිදු කෙරුණි. ඒත් එය යට ගැසීමට ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ රජය උත්සාහ ගත් බවට චෝදනා එල්ල විය. දුම්රිය ස්ථාන පරිශ්‍රය 2021 සිට 2024 දක්වා කාලයේ, චීන සහ සර්බියානු සමාගම් එකමුතුවක් මගින් මහා පරිමාණ ප්‍රතිසංස්කරණය කර තිබුණි. 

මෙම ප්‍රතිසංස්කරණය කටයුතුවලදී මහා පරිමාණයේ දූෂණ වංචා සිදුවුණු බවටත්, විනිවිදභාවයකින් තොර ගිවිසුම් ඇති කරගෙන තිබුණු බවටත්, බාල අමුද්‍රව්‍ය මෙන්ම ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් ශිල්පක්‍රම ද භාවිතයට ගෙන තිබුණු බවටත් අනාවරණය වුණු අතර, ජීවිත හානිවලට ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ රජය වගකිව යුතු යැයි චෝදනා නැගෙන්න විය. 

රජය මෙම චෝදනා යට ගැසීමට හැකි සෑම දෙයක්ම කළත්, සර්බියානු තරුණ පරම්පරාවට නැතිනම් ජෙන් සී පරම්පරාව, නිහඬ වූයේ නැත. නොවි සාද් දුම්රිය ස්ථානයේ ඛේදවාචකය විරෝධතා මාලාවක ගිනි පුපුර විය. 

ජෙන් සී තරුණ තරුණියන්, නොවි සාද් දුම්රිය ස්ථානයේ ඛේදවාචකය දුටුවේ, දශක ගණනාවක් පුරා රට වෙළාගෙන තිබූ දූෂණය, නිලධාරීවාදය සහ නොසැලකිලිමත්කම තමන්ගේම රටවැසියන් බිලිගත් මොහොතක් ලෙසය. එතැනින් ඇරඹුණු කෝපයේ ගින්න, සර්බියාවේ මුළු දේශපාලන සිතියමම උඩුයටිකුරු කරන මහා විප්ලවයක ආරම්භය විය. දුම්රිය ස්ථානයේ අනතුරෙන් පසු සර්බියාවේ වීදි පුරා රජ කරන්න වූයේ කෝපය සහ කඳුළුය. 

සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට වඩා වෙනස්ව, සමාජ මාධ්‍ය හරහා සංවිධානය වූ ජෙන් සී තරුණ තරුණියෝ, රජයට එරෙහිව යමින්, සර්බියානු අගනුවර වන බෙල්ග්‍රේඩ් හි වීදි අත්පත් කර ගන්න පටන් ගත්හ. 'ඔබේ දෑත්වල අහිංසකයන්ගේ ලේ තැවරිලා' යන තේමාව යටතේ ආරම්භ වූ විරෝධතා, කෙටි කලකින් සමස්ත රටම ආවරණය වන මහා ජන රැල්ලක් බවට පත් විය. 

 සරසවි සිසුන්, තරුණ වෘත්තිකයන් සහ පාසල් සිසුන් මුල් කරගත් මෙම ව්‍යාපාරය, හුදෙක් වීදි බැස කැගැසීමට පමණක් සීමා නොවීය. ඔවුන් තමන්ගේම දේශපාලන ව්‍යාපාරයක් සහ පක්ෂයක් ලෙස සංවිධානය වෙමින්, ඡන්දයකට සූදානම් වුයේ ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ දූෂිත රජය පෙරළා දැමීමේ ඒකායන අරමුණින්ය. 

ඇලෙක්සැන්ඩර් වුචිච්, කැරලි මර්දන පොලිසිය යොදවමින්, තරුණ විරෝධතාකරුවන් මර්දනය කිරීමට උත්සාහ කළ ද එය ගින්නට පිදුරු දැමීමක් විය. දුම්රිය ස්ථානයේ ඛේදවාචකය මුල් කොට ගනිමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පැවැති වංචා සහ දූෂණවලට එරෙහිව ආරම්භ වුණු විරෝධතා, දැවැන්ත රාජ්‍ය විරෝධී රැල්ලක් බවට පත්විය. 

කෙටි කලක් ඇතුළත ශිෂ්‍ය ශිෂයාවන් පමණක් නොව, රංගන ශිල්පීන්, විනිසුරුවරුන් සහ ගොවීන් ඇතුළු සර්බියානු සමාජයේ සියලු දෙනා නියෝජනය කරන දැවැන්ත ජාතික ව්‍යාපාරයක් බවට පරිවර්තනය විය. පසුගිය 25 වැනිදා පැවැති සර්බියානු පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ වසර 14 ක දූෂිත පාලනය පරාජය කරමින්, විරෝධතා කළ තරුණ ව්‍යාපාරයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිවිය. 

ඒ, මුළු මහත් යුරෝපයම මවිතයට පත් කරමිනි. මැතිවරණයෙන්, අතිවිශිෂ්ට ජයක් හිමිකර ගත්තේ තරුණ හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් මෙහෙයවනු ලැබූ ‘ද ස්ටුඩන්ට් ලිස්ට්’ නමැති ස්වාධීන දේශපාලන ව්‍යාපාරයයි. සාම්ප්‍රදායික දේශපාලනඥයන්ගෙන් තොර වූ මෙම කණ්ඩායමට විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඉංජිනේරුවෝ, ක්‍රීඩකයෝ සහ ගොවීහු ඇතුළත් ව සිටිති. 

සර්බියානු නව රජය පිහිටුවීම සිදුවන්නේ මේ සියලු දෙනාගේ එකමුතුවෙනි. සර්බියාව යනු ගැටුම්වලින් පමණක් නොව, අර්බුදවලින් ද පිරුණු පොහොසත් ඉතිහාසයක් හිමි බෝල්කන් කලාපයට අයත් රාජ්‍යයකි. පැරණි යුගොස්ලාවියාවේ ප්‍රධානතම කොටස වූ සර්බියාව, 1990 දශකයේ පැවැති අභ්‍යන්තර යුද්ධ, ජන සංහාර සහ නේටෝ බෝම්බ ප්‍රහාර හමුවේ දැඩි ලෙස බැටකෑවේය. 

කොමියුනිස්ට් පාලනයෙන් පසු, ප්‍රජාතන්ත්‍රවාදය දෙසට පියනගන්නට උත්සාහ කළ ද, සර්බියානු දේශපාලනය නිරන්තරයෙන්ම ඒකාධිපති ලක්ෂණ සහ අන්ත ජාතිකවාදය අතර දෝලනය වූවා කීවොත් එය නිවැරදිය. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කරන අතරතුරම, රුසියාව සහ චීනය සමග ද සමීප සබඳතා පවත්වා ගැනීමට සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ රජය කටයුතු කළේය. ඒත්, මෙවැනි සංකීර්ණ භූ-දේශපාලනික වටපිටාවක, සර්බියානු ජනතාවට අත්විඳීමට සිදු වූයේ දේශපාලනික සහ අර්ථික අනාරක්ෂිතභාවයක් බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. 

 පසුගිය 25 වැනිදා පරාජයට පත්වුණු, රුසියන් හිතවාදී ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුචිච් සහ ඔහුගේ සර්බියානු ප්‍රගතිශීලී පක්ෂය, රට පාලනය කළේ මර්දනකාරී පිළිවෙත් අනුගමනය කරමිනි. විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ මාධ්‍ය නිහඬ කිරීමට ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ රජය යුහුසුළු විය. අධිකරණය සහ ආරක්ෂක අංශ රජයේ මෙවලම් වී තිබුණි. විපක්ෂ ක්‍රියාකාරීන්ගේ සහ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන්ගේ හඬ නිරන්තරයෙන් යටපත් කෙරුණු අතර, විදේශීය ආයෝජන ගෙන ඒම පිටුපස ප්‍රසිද්ධියේම මහා පරිමාණ දූෂණ සහ වංචා සිදුවිය. 

 සර්බියාවේ සිදුවූ දේශපාලන පෙරළිය, මෑත කාලයේ ආසියානු කලාපයේ සිදුවූ තරුණ අරගල මාලාව සිහිපත් කරවයි. 2022 දී දැඩි ආර්ථික අර්බුදය හමුවේ, අප අප ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව ඉදිරියට පැමිණෙමින් අරගල කළේය. 'අරගලය' යන වදන සුද්දන් අතරට ගියේ එම විරෝධතා හේතුවෙනි. 2022 අරගලය ආභාෂයට ගනිමින්, පසුකාලීනව නේපාලයේ සහ බංග්ලාදේශයේ ද අරගල සිදුවිය. අද වනවිට ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල ද ජෙන් සී අරගල පැවැත්වෙයි. එම විරෝධතා ඉතාමත් ප්‍රචණ්ඩකාරීය. 

BBC ඇසුරිනි

Classified_Ad