ඊශ්‍රායල විපක්ෂය රජයක් හදන්න සූදානම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 3, 2021

ඊශ්‍රායල විපක්ෂය රජයක් හදන්න සූදානම්

ඊශ්‍රායල විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී සාකච්ඡා පවත්වා, නව රජයක් පිහිටුවීමට එකඟත්වය පළ කර තිබේ. ඒ අනුව, වසර 12 ක් තිස්සේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන බෙන්ජමින් නෙදන්යාහුගේ පාලනය නිමාවට පත්වෙයි. 

නව රජයක් පිහිටුවීම සිදුවන්නේ, ඊශ්‍රායල පාර්ලිමේන්තු විපක්ෂ නායක, මධ්‍ය වාමාංශික 'යෙෂ් අටිද්' පක්ෂය මෙහෙයවන යාර් ලපිද් සහ අන්ත දක්ෂිණාංශික 'යමීනා' පක්ෂයේ නායක නෆ්තාලී බෙනට් සුසංයෝගයෙනි. නව රජයක් පිහිටුවීමට හැකි බව, ඊශ්‍රායල ජනාධිපති රියුවින් රෙව්ලින් දැනුම් දීමට විපක්ෂ නායක ලපිද් ට ඊයේ (2) මැදියම් රැය තෙක් කල් ලැබී තිබුණි. 

සන්ධාන රජයක් පිහිටවීමට තමන් සහාය දෙනවා යැයි ලපිද් ට පැවැසුවේ බෙනට් ය. ඒ අනුව, දෙදෙනා අතරේත් පක්ෂ දෙකේ නායකයන් අතරේත් සාකච්ඡා පැවැත්විණි. එසේ පැවැති සාකච්ඡා සාර්ථක වී ඇතිකරගත් එකඟතාවයට අනුව, පිහිටුවන නව සන්ධාන රජයේ අගමැතිවරුන් ලෙස නෆ්තාලී බෙනට් සහ යාර් ලපිද් කටයුතු කරනු ඇත. 

පළමුවෙන් අගමැති ධුරයට පත්වන්නේ නෆ්තාලී බෙනට් ය. බෙදා ගත් පරිදි තමන්ගේ නියමිත කාලය අවසන් වෙද්දී, බෙනට්, අග්‍රාමාත්‍ය ධුරය යාර් ලපිද් ට පැවැරීමට එකඟ වී තිබේ. 

විපක්ෂ නායක ලපිද් සමඟ රජයක් පිහිටුවීමට හවුල් වෙද්දී, බෙනට් ට අරාබි ඊශ්‍රායල 'රාම්' පක්ෂය ද හවුල් කර ගැනීමට හැකිවිය. 'රාම්' පක්ෂය මෙසේ හවුල් කර ගැනීමට හැකිවීම බෙනට්ට ලැබූ සුවිශේෂී 'හපන්කමක්' යැයි ඊශ්‍රායල දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 'රාම්' පක්ෂයට යුදෙව් ජාතිකවාදී පක්ෂවල සහාය හිමිවෙයි. විපක්ෂ නායක යාර් ලපිද් සහ බෙනට්ගේ නව රජයට පාර්ලිමේන්තුවේ බහුතරය හිමවීම ඒ අනුව සිදුවනු ඇතැයි පැවැසෙයි. 

බෙන්ජමින් නෙදන්යාහු 1996 සිට 1999 තෙක් කාලයේ ද ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. ඉන්පසු ඔහු 2009 දී යළි බලයට පත් විය. අග්‍රාමාත්‍ය නෙදන්යාහු දූෂණ චෝදනාවලට ලක් වී එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයකට ද මුහුණ දෙන අයෙකි.

පසුගිය වසර දෙක තුළ ඊශ්‍රායලයේ මහ මැතිවරණ හතරක් පැවැත්විණි. අවසන් වරට මැතිවරණය පැවැත්වූයේ 2021 මාර්තු 23 වැනිදාය. එයින් ද බහුතර බලයක් හිමිකර ගැනීමට නෙදන්යාහුගේ 'ලිකුද්' පක්ෂයට හෝ වෙනත් කිසිදු පක්ෂයකට හෝ හැකියාවක් ලැබුණේ නැත. නෙදන්යාහු සෙසු පක්ෂ සමඟ සන්ධානගතවී රජයක් පිහිටුවීමට උත්සාහ කළත් එය ආසාර්ථක විය. 

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාව, ආසන 120 කින් සමන්විත වන අතර බහුතරය සඳහා ආසන 61 කට වඩා දිනා ගත යුතුය. නෙදන්යාහුගේ 'ලිකුද්' පක්ෂයට ඇත්තේ නෙසට් සභාවේ ආසන 30 ක් පමණක් වන අතර ඊශ්‍රායල සෙසු දේශපාලන පක්ෂ අතරේ ඉතිරි ආසන බෙදී පවතී. අග්‍රාමාත්‍ය නෙදන්යාහු නායකත්වය දෙන 'ලිකුද්' පක්ෂය මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන බලවේගයකි. 

විපක්ෂ නායක 57 හැවිරිදි ලපිද්, මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ අයෙකි. 2013 සිට 2014 කාලයේ ඊශ්‍රායල මුදල් ඇමැති ලෙස ඔහු එම ධුරය හෙබවීය. ලපිද්, දේශපාලනයට පිවිසුණේ 2012 දීය. ඊට පෙර ඔහු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ද කටයුතු කළේය.

ඊශ්‍රායලයේ නව අග්‍රාමාත්‍යවරයා වීමට නියමිත බෙනට්, අන්ත දක්ෂිණාංශික 'යමීනා' පක්ෂයට නායකත්වය දෙන්නේ 2018 වසරේ සිටය. 2019 සිට 2020 කාලයේ ආරක්ෂක ඇමැති ධුරය හෙබවූයේ බෙනට් ය. 49 හැවිරිදි බෙනට් ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක ඇමැතිවරයෙකි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom