වලා තීරයෙන් එහා දුටු ස්වභා සුරපුර 'මඩොල්සිම' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 20, 2021

වලා තීරයෙන් එහා දුටු ස්වභා සුරපුර 'මඩොල්සිම'

ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, මුහුදු මට්ටමේ සිට මීටර් 700-1000 අතර පිහිටා ඇති මඩොල්සීම කන්දෙහි උස මීටර් 383 ක් පමණ වේ. 

කන්දෙහි ඉහල කොටස රෝබෙරි වතු යායට අයත් වන අතර පිටමාරුව පුංචි ලෝකාන්තය (Mini Worlds End) මෙහි පිහිටා ඇත. මෙහි ළඟාවීමට පස්සර නගරය පසුකර පස්සර-මඩොල්සිම-මැටිගහතැන්න පාර ඔස්සේ මඩොල්සීම නගරය හරහා පුංචි ලෝකාන්තය දක්වා ගමන් කළ හැක. 

පස්සර සිට මඩොල්සීම කරා දිවෙන මාර්ගය මනාව පිලිසකර කර නොමැති වුවත් කඳු, පල්ලම් සහ වංගු අතරින් සුන්දර ගමනාන්තයකට මග කියයි. 
මෙහි වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපායන් තේ වතු ආශ්‍රය කරගෙන පවතී. මෙම මාර්ගයේ ගමන් කරන්නෙකුව සීත මීදුම් වළා වලින් වෙලා ගැනීමට ගතවන්නේ ඉතා සුළු මොහොතකි. 

තේ වතු මැදින් හමා එන සීතල සුලං දහරාත් අප්‍රිකානු ටියුලිප් මල් වල රත් පැහැයත් මෙම පරිසරයේ අයස්කාන්ත දසුන් මවයි. 

මෙවන් දුෂ්කර වුවත් සුන්දර ගමන් මාර්ගයක ගමන් කිරීමට ලැබීම ස්වභාව සුන්දරත්වය විඳීමට කැමති සංචාරකයෙකුගේ සිහිනයකි. පිටමාරුව පුංචි ලෝකාන්තය කරා වැටී ඇති මාර්ගය ද ගල් වැටි මැදින් දිය සීරා අතරින් ඇදී යයි. 

පුංචි ලෝකාන්තයට ළඟා වන ඔබ එහි අවට ස්වභා ශ්‍රීයෙන් මන්මත් වනු නොවනුමානය. මෙහි සිට ලංකාවේ පලාත් කිහිපයක්ම දැක ගත හැකි වීම විශේෂත්වයකි. 

ඉතාමත් කෙටි කාලයක් තුල ඝන මීදුම් වළාවන්ගෙන් වැසී යන මෙම ස්ථානය සුන්දර සේම ඉතා පරිස්සමෙන් හැසිරිය යුතු ස්ථානයකි. 
සංචාරකයන් විසින් ස්වාභාවික පරිසර පද්ධතියට දැඩි ලෙස හානි කිරීම හා පොදු දේපල වලට හානි කිරීම නිසා පුංචි ලෝකාන්තය නැරඹුම් ස්ථානයේ (View Point) හා අනෙක් තැන් වල කූඩාරම් ගැසීම (Camping) අදාළ බලධාරීන් විසින් තාවකාලිකව තහනම් කොට ඇත.

එම තීරණයේ ඇති වැදගත්කම එම ස්ථානය නරඹා පැමිණි අයෙකුට මනාව අවබෝධ කර ගත හැක්කේ එම සුන්දර පරිසරයට කර ඇති හානිය සියැසින් දැක ගත හැකි වන නිසාවෙනි. 

  සටහන සහ සේයා රූ 
෴ තනූජා කරුණාරත්න

Classified_Ad

Classified_Ad_News_Bottom