පිටසක්වළයන්ට එරෙහි සටන: The Tomorrow War - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 4, 2021

පිටසක්වළයන්ට එරෙහි සටන: The Tomorrow War

එකිනෙකා සමඟ ඇණකොටා ගන්නා මනුෂ්‍ය වර්ගයා, වසර 2051 දී එකමුතුව තම ජීවිතය වෙනුවෙන් පොදු සතුරකුට එරෙහිව සටන් වදී. මේ පොදු සතුරා බිහිසුණු සිත්පිත් නැති පිටසක්වළ ජීවීන් විශේෂයකි. එම ජීවීන් හැඳින්වෙන්නේ 'වයිට්ස්පයික්' ලෙසය. 

පිටසක්වළයන්ට එරෙහි යුද්ධය අවසන් අදියරට පැමිණෙන්නේ මනුෂ්‍යයන්ගේ අවසානය සනිටුහන් කරමිනි. ලෝක ජනගහනය ඉතා වේගයන් අඩු වී, පරාජය ඔන්න මෙන්න කියා තිබියදී අවසන් විකල්පය ලෙස අනාගතයේ පිටසක්වළයන්ට එරෙහිව සටන් වදින හමුදා කණ්ඩායමක් කාලතරණය කරමින් 2022 වසරට පැමිණෙයි. ඒ, අනාගත පරපුර බේරා ගන්නැයි වත්මන් පරපුරට ආයාචනා කරමිනි. 

'ඇමසන් ප්‍රයිම්' Amazon Prime හරහා නැරඹිය හැකි 'ද ටුමෝරෝ වෝ' The Tomorrow War විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයට පාදක වන්නේ මෙයයි.

පළමු පූර්ව ප්‍රචාරක පටය මීට මාස කීපයකට පෙර ප්‍රසිද්ධියට පත්වුණු අවස්ථාවේ පටන් 'The Tomorrow War' චිත්‍රපටය ගැන ලොකු උන්නදුවක් ඇති විය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු ක්‍රිස් පැට් ය. 

පැය 2 යි මිනිත්තු 18 ක් පුරා දිවෙන 'The Tomorrow War' හොලිවුඩ් අධ්‍යක්ෂ ක්‍රිස් මැකේ ගේ අධ්‍යක්ෂණකි. ක්‍රිස් පැට්, චිත්‍රපටයට එක් වන්නේ ඉරාක යුද්ධයෙන් පසු විශ්‍රාම ගිය ඇමෙරිකන් සොල්දදුවකු ලෙසය. හමුදා ජීවිතයට සමු දී පාසලක විද්‍යා ගුරුවරයකු ලෙස රැකියාව කරන ඔහු ඩෑන් ෆොස්ටර්ය. අනාගතයේ යුද්ධයට ඩෑන් ද තෝරා ගැනෙන අතර වසර 30 ක් අනාගතයට යෑමට ඩෑන්ට සිදුවෙයි. ඩෑන් බිරිඳ සහ විද්‍යාවට ලොකු උනන්දුවක් දක්වන පුංචි දියණිය හැර දින කීපයකට අනාගතයට යයි. 
අනාගතයේ පිටසක්වළයන්ට එරෙහිව සටන් මෙහෙයවන කර්නල්වරිය ඩෑන්ගේ වැඩිහිටි දියණිය මූරි ය. පියා සහ දියණිය එක් වී පිටසක්වළයන්ට එරෙහිව ගෙන යන සටනත්, පිටසක්වළයන් මරා දැමීමට ක්‍රමයක් සොයා ගන්නා ආකාරයත් චිත්‍රපටයේ මැද කොටසට අයත් වෙයි. චිත්‍රපටයේ අවසන් කොටසින් නිරූපණය වන්නේ අනාගතය වෙනස් කිරීමට  ඩෑන්, ඔහුගේ සගයන් සහ පියා ජේම්ස් සමඟ පිටසක්වළයන්ට එරෙහිව ගෙන යන සටනය. 

චිත්‍රපටයේ කර්නල් මූරි ෆොරස්ටර් ලෙස චරිත නිරූපණය කරන්නේ වයෝනේ ජැකලීන්ය. වයෝනේ ජැකලීන් වඩාත් ප්‍රකට 'ඩෙක්ස්ටර්', 'ස්ටේට්ලස්' සහ 'ද හෑන්ඩ්මේඩ්ස් ටේල්' ආදී රූපවාහිනී ටෙලි කතා හරහාය. වයෝනේ ජැකලීන් ජනප්‍රිය කාටූන් කතා රැසකට හඩ නිළියක ලෙස එක් වී ඇත. 

ජනප්‍රිය නළු ජේ.කේ. සිමොන්ස්, ජේම්ස් ෆොරස්ටර්ගේ චරිතයට පණ පොවයි. එය කෙටි රංගනයකි. එසේ වුවත් ප්‍රේක්ෂකයන් ආකර්ශණය කර ගැනීමට ජේ.කේ. සිමොන්ස් සමත් වී අවසන්ය. ඊට අමතරව, බෙටී ගිල්පින්, සෑම් රිචඩ්සන්, ජෙස්මින් මැතිව්ස්, එඩ්වින් හොඩ්ජ් ආදීහු චිත්‍රපටයට එක් වී සිටිති.
'පැරමවුන්ට් පික්චර්ස්' සමාගම ක්‍රිස් මැකේ සමඟ එක් වී 'The Tomorrow War' නිෂ්පාදනය කළේ සිනමාහල්වල තිරගත කිරීමටය. කෙසේ නමුත් 'කොවිඩ් 19' වසංගතය ඊට හරස් වුණු බැවින්, 'පැරමවුන්ට් පික්චර්ස්' සමාගම 'ඇමසන් ප්‍රයිම් විඩියෝ' වෙත චිත්‍රපටය විකිණීම කළේ ඇමෙරිකන් ඩොලර් මිලියන 200 ක මුදලකටය. 

 හාස්‍යය ද කැටි වුණු 'The Tomorrow War' චිත්‍රපටයේ චරිත අතර ඇති බැඳීම, සංවේදී බව හරි අපූරුවට නිරූපණය වෙයි. පරිගණක තාක්ෂණය ද උපරිමයෙන් භාවිතයට ගෙන ඇත්තේ, පිටසක්වළයන් සියයට සියයක් සැබෑ සතුන් බව නරඹන්නන්ට ඒත්තු ගන්වන ආකාරයටය. 

අවසන් වශයෙන්, 'The Tomorrow War' සම්මානනීය චිත්‍රපටයක් නොවෙයි. එය මහා සිනමා නිර්මාණයක් ද නොවෙයි. පිටසක්වළයන් සහ මනුෂ්‍යයන් යුද වදින චිත්‍රපට අලුත් දෙයක් නොවුණත් 'The Tomorrow War' චිත්‍රපටයේ වෙනස් ඇත. 'The Tomorrow War' යනු 'කොවිඩ් 19' වසංගතය හමුවේ සිනමාහල් වෙත යෑමට නොහැකි වී සිටින බොහෝ දෙනකුට පුංචි තිරයෙන් 'බොක්ස් ඔෆිස්' හොලිවුඩ් සිනමාපටයක් නැරඹීමට අනගි අවස්ථාවකි.

Classified_Ad

Classified_Ad_News_Bottom