චීනයේ රජා යැංචුවානෝසෝරස් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 28, 2026

චීනයේ රජා යැංචුවානෝසෝරස්

අදින් වසර මිලියන ගණනාවකට පෙර, ජුරාසික් යුගයේදී, පෘථිවියේ රජ කළේ යෝධ ඩයිනසෝරයන්ය. ඇලෝසෝරස් (Allosaurus) නමැති කවුරුත් දන්නා හඳුනන ඩයිනසෝරයා උතුරු ඇමෙරිකාවේ ජීවත් වෙද්දී, ආසියා මහද්වීපයේ, (වර්තමාන චීනයේ) රජ කළ තවත් දැවැන්ත බිහිසුණු මාංශ භක්ෂක ඩයිනසෝරයකු විය. මේ ඩයිනසෝරයා යැංචුවානෝසෝරස් (Yangchuanosaurus) ය. 

 උතුරු ඇමෙරිකාවේ ඇලෝසෝරස් ට පෙනුමින් බොහෝ සේ සමාන යැංචුවානෝසෝරස් ඩයිනසෝරයා ප්‍රමාණයෙන් ඇලෝසෝරස් ට වඩා තරමක් විශාල යැයි පැවැසෙයි. ඒ වගේමයි, යැංචුවානෝසෝරස් ට වඩා බිහිසුණු විලෝපිකයකු වන්නට ඇතැයි අනුමාන කෙරේ. යැංචුවානෝසෝරස්ගේ පොසිල අස්ථි කොටස් ප්‍රථම වරට සොයාගනු ලැබුවේ 1977 වසරේ ජූනි මාසයේදීය. ඒ චීනයේ සිචුවාන් පළාතේ, ෂැංයූ ජලාශයේ වේල්ලක් ඉදි කිරීම සඳහා කැණීම් කරද්දීය. පොසිල අස්ථි කොටස් සොයාගත් ප්‍රදේශයේ නම ඇසුරින් යැංචුවානෝසෝරස් යන නමින් ඩයිනසෝරයා නම් කෙරුණි. 

1978 දී චීන පොසිල විද්‍යාඥ ඩොං සහ ඔහුගේ කණ්ඩායමට අයත් සාමාජිකයෝ, හමුවුණු පොසිල අස්ථි කොටස් පුළුල් ලෙස අධ්‍යයනය කරමින් සහ මෙතෙක් හමුවී ඇති සෙසු ඩයිනසෝර පොසිල අස්ථි සහ සසඳා බැලීමෙන් අනතුරුව, යැංචුවානෝසෝරස් ෂැංයූඑන්සිස් (Yangchuanosaurus shangyouensis) යන නමින් නව ඩයිනසෝර විශේෂය ලොවට හඳුන්වා දුන්හ. ඉන්පසු 1983 වසරේ දී විද්‍යාඥ ඩොං සහ ඔහුගේ කණ්ඩායමට, තවත් විශාල හිස් කබලක පොසිල අස්ථි හමුවිය. 

ඒ අනුව, යැංචුවානෝසෝරස් මැග්නස් යන නමින් වෙනම යැංචුවානෝසෝරස් ඩයිනසෝර විශේෂයක් ද නම් කෙරුණි. කෙසේ නමුත්, විද්‍යාඥයන් පසුව සිදු කළ පර්යේෂණවලින් අනතුරුව‍ අනාවරණය කර ගත්තේ යැංචුවානෝසෝරස් ෂැංයූඑන්සිස් සහ යැංචුවානෝසෝරස් මැග්නස් යනු එකම ඩයිනසෝර විශේෂයක් බවය.

විද්‍යාඥයන් පර්යේෂණ මගින් පෙන්වා දුන්නේ, මේ එකම විශේෂයක ඩයිනසෝරයා විශේෂ දෙකක ඩයිනසෝරයන් යැයි පෙනී ගියේ ඩයිනසෝරයා වයස්ගත වීම සහ උගේ ශරීර ප්‍රමාණයේ වෙනස්කම් නිසා ඇති වූ වෙනස්කම් නිසා බවයි. යැංචුවානෝසෝරස් දෙපයින් ගමන් කළ, වේගවත් මාංශ භක්ෂක ඩයිනසෝරයෙකි. සාමාන්‍ය යැංචුවානෝසෝරසයකුගේ හිස්කබල සෙන්ටිමීටර 82 ක් පමණ වූ අතර, මුළු සිරුරේ දිග මීටර් 8 ක් පමණ විය. 

හොඳින් වැඩුණු යැංචුවානෝසෝරසයකුගේ හිස්කබල මීටර් 1.11 ක් වන්නට ඇති බවත්, සිරුර මීටර් 10.8 සිට 11 දක්වා දිගින් යුක්ත වන්නට ඇති බවත් අනුමාන කෙරේ. යැංචුවානෝසෝරස්ගේ බර මෙට්‍රික් ටොන් 3 ක් හෝ 3.4 ක් වන්නට ඇත. (මෙට්‍රික් ටොන් 1ක් යනු කිලෝග්‍රෑම් 1,000 කි.) යැංචුවානෝසෝරස්ගේ නාසය මත අස්ථිමය වර්ධනයක් සහ කුඩා අං වැනි උඩුනෙරුම් කිහිපයක් තිබුණි. මස් ඉරාගෙන කෑමට සුදුසු තියුණු සවිමත් උල් දත් පිරුණු විශාල හකු යුගලක් මොවුන්ට පිහිටා තිබුණි. 
ටී රෙක්ස්, ඇලොසෝරස් ආදී ඩයිනසෝරයන්ගේ මෙන්ම, යැංචුවානෝසෝරස්ගේ ද ඉදිරිපස අත් ඉතා කෙටි වූ අතර, පශ්චාත් ගාත්‍රා එනම් පසුපස පාද මස්පිඬුවලින් පිරුණු අතිශය ශක්තිමත් ඒවා විය. බර දරා සිටීමට සහ දිවීමට උපකාරී වූයේ පසුපස පාදවල වූ ඇඟිලි තුනය. ඒවා කෙළවර තියුණු විශාල නිය පිහිටා තිබුණු අතර සිරුරේ සමබරතාවය තබා ගැනීමට මොවුන්ට සිරුරේ දිගෙන් අඩක් පමණ වූ දිගු, බරැති වලිගයක් විය. 

මධ්‍යම ජුරාසික් යුගයේදී ජීවත් වූ යැංචුවානෝසෝරස්, එදා පරිසර පද්ධතියේ සිටි විශාලතම සහ භයානකම විලෝපිකයා විය. මොවුන් තමන් ජීවත් වූ භූමියේ සිටි ශාක භක්ෂක යෝධයන්ව තමන්ගේ ගොදුරු බවට පත් කරගත්තේය. මොවුන් ගොදුරු කරගත් සෙසු ඩයිනසෝරයන් අතර, මාමෙන්චිසෝරස් (Mamenchisaurus) සහ ඔමෙයිසෝරස් (Omeisaurus) වැනි දිගු ගෙලවල් සහිත දැවැන්ත සෝරෝපෝඩාවන් මෙන්ම, පිටේ කටු සහ තල සහිත චියාලිංගෝසෝරස් (Chialingosaurus), ටුඕජියැංගෝසෝරස් (Tuojiangosaurus) සහ චුන්කින්ගෝසෝරස් (Chungkingosaurus) වැනි ස්ටෙගෝසෝරයෝ වූහ. මෙම ශාක භක්ෂකයන් ප්‍රමාණයෙන් කොතෙක් විශාල වුව ද, යැංචුවානෝසෝරස්ගේ ප්‍රබල හකු සහ සටන්කාමී සිරුර හමුවේ උන්ගේ ජීවිත බේරා ගැනීම පහසු නොවුණු බව පැවැසෙයි. 

යැංචුවානෝසෝරස්ගේ පොසිල අධ්‍යයනයේදී, විද්‍යාඥයන් අතර විවිධ මත ගැටුම් නිර්මාණය වූ බව පැවැසෙයි. 1988 වසරේ දී ග්‍රෙගරි එස්. පෝල් නමැති පර්යේෂකයා යැංචුවානෝසෝරස් යනු මෙට්‍රියාකැන්තෝසෝරස් (Metriacanthosaurus) වර්ගයටම අයත් ඩයිනසෝරයකු ලෙස සැලකුව ද, පසුව වෙනත් පොසිල විද්‍යාඥයන් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුණි. 

පසුකාලීනව සොයාගත් යැංචුවානෝසෝරස් හෙපින්ගෙන්සිස් (Yangchuanosaurus hepingensis) නමැති විශේෂය, සමහර විද්‍යාඥයන් විසින් සින්රැප්ටර් (Sinraptor) කුලයට ඇතුළත් කිරීමට උත්සාහ කළ අතර, 2019 සහ 2024 නවතම පර්යේෂණ මගින් සනාථ කෙරුණේ එය යැංචුවානෝසෝරස් කුලයටම අයත් වන බවය. 

තවත් හමුවුණු පොසිල අස්ථි කිහිපයක්, සෙචුවානෝසෝරස් (Szechuanosaurus) ලෙස නාමකරණය කිරීමට උත්සාහ කළ ද, පසුව සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු වූයේ එම අස්ථි ද යැංචුවානෝසෝරස් ෂැංයූඑන්සිස් (Yangchuanosaurus shangyouensis) ටම අයත් බවය. 

නවීන විද්‍යාත්මක වර්ගීකරණයන්ට අනුව, යැංචුවානෝසෝරස් යනු මෙට්‍රියාකැන්තෝසෝරිඩේ (Metriacanthosauridae) පවුලට අයත්, එහි සිටින වඩාත්ම මුලින්ම පරිණාමය වූ සාමාජිකයා ලෙස සැලකෙයි. ජුරාසික් යුගය (Jurassic Period) යනු අදින් වසර මිලියන 201.3 කට පෙර ආරම්භ වී වසර මිලියන 145 දක්වා, එනම් වසර මිලියන 56 ක් පුරා පැවැති පෘථිවි ඉතිහාසයේ අතිශය විස්මයජනක කාලපරිච්ඡේදයයි. 

ත්‍රියාසික යුගයට පසුව සහ ක්‍රිටේසියස් යුගයට පෙර යෙදී ඇති මෙම යුගය, මුළු මහත් පෘථිවියම ඩයිනසෝරයන්ගේ අසහාය පාලනයට නතු වූ කාලය ලෙස හැඳින් වෙයි. මෙම යුගයේදී පැන්ජියා (Pangaea) නමැති අතිදැවැන්ත තනි මහාද්වීපය, ලොරේසියාව සහ ගොන්ඩ්වානාලන්තය ලෙස කොටස් දෙකකට වෙන් වීම ආරම්භ විය. 

මේ හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ ගොස්, කලින් පැවැති වියළි දේශගුණය වෙනුවට තෙතමනය සහිත, උණුසුම් සහ ඉතා සශ්‍රීක පරිසරයක් නිර්මාණය විය. මල් හටගන්නා ශාක තවමත් බිහි වී නොතිබූ අතර, සයිකස්, පයින් සහ මීවන වැනි ශාකවලින් පිරි ඝන කේතුධර වනාන්තර ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. 

කලින් සඳහන් කළ පරිදි, එදා ගොඩබිම රජ කරනු ලැබුවේ, අතිදැවැන්ත ශාක භක්ෂක සහ මාංශ භක්ෂක ඩයිනසෝරයන් විසිනි. මාමෙන්චිසෝරස්, බ්‍රැකියෝසෝරස් සහ ඩිප්ලොඩොකස් වැනි දිගු ගෙල සහිත යෝධ සෝරෝපෝඩාවන් මෙන්ම, පිටේ කටු තල සහිත ස්ටෙගෝසෝරයන් ශාක භක්ෂකයන් ලෙස වැජඹුණි. උන් ගොදුරු කරගනිමින් යැංචුවානෝසෝරස් සහ ඇලෝසෝරස් වැනි දරුණු, දෙපයින් ගමන් කළ විශාල මාංශ භක්ෂකයෝ පරිසර පද්ධතියේ ඉහළින්ම රජකම් කළහ. 

ගොඩබිමට අමතරව ආකාශයේ සහ සාගරයේ ද විශාල ජෛව විවිධත්වයක් දක්නට ලැබුණි. ටෙරොසෝරයන් අහසේ ආධිපත්‍යය පැතිරූ අතර, පක්ෂීන්ගේ පරිණාමයේ සන්ධිස්ථානයක් වූ ආකියෝප්ටෙරික්ස් වැනි පක්ෂි-ඩයිනසෝරයන් බිහි වූයේ ද මේ යුගයේදීය. 

එසේම, ප්ලෙසියෝසෝරයන් සහ ඉක්තියෝසෝරයන් වැනි යෝධ සාගර උරගයන් මෙන්ම ඇමොනයිටයන් සාගරයේ ප්‍රධාන ජීවීන් බවට පත් විය. සරලව පැහැදිලි කළොත්, ජුරාසික් යුගය යනු පරිසරයේ සහ ජීවීන්ගේ අතිදැවැන්ත වර්ධනයක් සිදු වී, පෘථිවිය මත ඩයිනසෝර රාජ්‍යය උපරිමයෙන්ම පිහිටුවන ලද ස්වර්ණමය කාලපරිච්ඡේදයයි. 

෴ ලුසිත ජයමාන්න

Classified_Ad