දරුවන් පාසලේ නැතිනම් මාපියෝ හිරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 11, 2021

දරුවන් පාසලේ නැතිනම් මාපියෝ හිරේ

කොවිඩ් 19 වසංගතය හමුවේ, සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සියලු පාසල් ආරම්භ කර ඇති බවත්, දරුවන් පාසල් යැවීමට අදිමදි කරන දෙමාපියන්ට වසර දෙකක සිර දඬුවමක් සහ දඩයක් නියම කිරීමට පියවර ගන්නා බවත් ග්‍රීක රජය පවසා තිබේ. 

ග්‍රීක රජය මෙසේ පැවැසුවේ, පාසල් ආරම්භ කළත් පාසල්වලට පැමිණෙන දරුදැරියන් ගණන ඉතා අඩු බැවිනි. පාසල් බොහොමයක දකින්න ලැබෙන්නේ ගුරුවරුන් පමණක් යැයි ද ග්‍රීක මාධ්‍ය වාර්තා කර තිබේ. 

යුරෝපයට අයත් ග්‍රීසියේ ද කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අදිමදි කරන බොහෝ දෙනකු සිටින අතර, ඔවුන් මුහුණු ආවරණ පැලැදීම හෝ සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කිරීම හෝ සිදු නොකරන බවට රජය චෝදනා නගයි. 

අවුරුදු 16 දක්වා සියලු දරුවන්, අසනීප තත්ත්වයක් පෙන්නුම් නොකරන්නේ නම්, පාසල් එවිය යුතු බවත්, එය මාපියන්ගේ වගකීමක් බවත් එසේ නොකරන්නේ නම්, දෙවසරක සිර දඩුවමක් සහ යූරෝ 59 ක (ඇමෙරිකන් ඩොලර් 67) දඩ මුදලක් අය කර ගැනීමට පියවර ගන්නා බවත් ග්‍රීක රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘වසංගතය හමුවේ අප එන්නත් ලබා දීම සිදු කරනවා. වසංගතයෙන් ආරක්ෂා වෙන්න සෞඛ්‍ය උපදෙස් අනුව නීතිරීති සකස් කර තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් තැකීමක් නොකරන, නීතිරීති තැකීමක් නොකරන බොහෝ දෙනකු සමාජයේ ඉන්නවා. දරුවන් පාසල් යැවීම මාපියන්ගේ වගකීමයි. ප්‍රාථමික සහ ද්විතීක අංශ සදහා අප අධ්‍යාපනික කටයුතු ආරම්භ කර තිබෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව. ඒ නිසා දරුවන් පාසල් යැවීමට මාපියන් වගබලා ගැනීම කළ යුතුයි' යැයි ග්‍රීක අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය පිළිබඳ ප්‍රධාන ලේකම් ඇලෙක්සැන්ඩ්‍රොස් කොප්ටිස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom