
විටමින් සහ ඛනිජ ලවණ අතිරේකවලින් (Supplements) ශරීරයට උපරිම ඵලදායිතාවයක් ලබාගැනීමට නම් ඒවා නිවැරදි වේලාවට භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. සිරුරට අවශ්‍ය පෝෂක කොටස් නිසි වෙලාවට ශරීරගත නොවීමෙන් ඒවායේ සැබෑ ගුණය අපතේ යයි.
දවස ආරම්භයේදී ශරීරයට අවශ්‍ය ශක්තිය සහ හොඳ අවශෝෂණයක් ලබාගැනීමට උදෑසන ආහාරය සමඟ විටමින් වර්ග ලබාගැනීම වඩාත් සුදුසුය. විශේෂයෙන්ම මේදයේ දියවන විටමින් D සහ E මෙන්ම, ජලයේ දියවන විටමින් C, B-Complex සහ Biotin යන පෝෂක කොටස් උදෑසන ආහාරයත් සමඟ ශරීරගත කරගැනීමෙන් දවස පුරා සක්‍රීයව තබන ශක්තියක් මෙන්ම ඉහළ අවශෝෂණයක් ද හිමිවේ.
යකඩ (Iron) අතිරේක හිස්බඩ හොඳින් අවශෝෂණය වන බැවින්, ඒවා දහවල් ආහාරයට පෙර ලබාගැනීම වඩාත් යෝග්‍ය වේ. මෙහිදී විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් වන්නේ යකඩ අතිරේක, විටමින් C සමඟ එක්ව ලබාගන්නා විට එහි අවශෝෂණතාව වැඩිවෙයි.
ආමාශයික අපහසුතා සහ අජීර්ණ තත්ත්වයන් මගහැරීමටත්, සිරුරට හොඳින් අවශෝෂණය වීමටත් සින්ක් (Zinc) සහ ඔමේගා-3 (Omega-3) වැනි පෝෂක අතිරේක රාත්‍රී ආහාරය සමඟ ලබාගැනීම කළ යුතුය.
ආහාර වේලක් සමඟ ලබාගැනීමෙන් ඒවායින් ඇතිවිය හැකි බඩේ දැවිල්ල වැනි අතුරු ආබාධ අවම කරගත හැකිය.
රාත්‍රී නින්දට පැය 1-2 කට පෙර මැග්නීසියම් (Magnesium) ලබාගැනීම සුවබර නින්දකට මඟ පාදයි. මැග්නීසියම් මගින් ශරීරයේ පේශි ලිහිල් කර, මානසික සහ කායික ආතතිය දුරුකරන බැවින්, සන්සුන් සහ ගැඹුරු නින්දක් ලබාගැනීමට එය මහඟු රුකුලක් වේ.
ලුසිත ජයමාන්න
The Brain Maze ඇසුරිනි