මිල අධික නගරය - ටෙල් අවීව් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 2, 2021

මිල අධික නගරය - ටෙල් අවීව්

ලොව වඩාත් මිල අධික නගර ලැයිස්තුව එළිදැක්වීමට 'ද ඉකොනොමිස්ට්' ආර්ථික සගරාව කටයුතු කර ඇති අතර, මෙම 2021 වසරේ, එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වී ඇත්තේ ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයයි. 

ලොව වඩාත් මිල අධික නගරය ලැයිස්තුගත කරන්නේ වසරක් තුළ එම නගරයේ ජීවත් වීමට එක් පුද්ගලයකුට දළ වශයෙන් වැයවන මුදල් ප්‍රමාණය අනුවය. ලොව වියදම් වැඩිම නගර සහ ලොව ප්‍රධාන නගරවල තත්ත්වය සහ සංවර්ධනය සම්බන්ධයෙන් වාර්ෂිකව අධ්‍යයන සිදු කරන්නේ 'ඉකොනොමික්ස් ඉන්ටෙලිජන්ට් යුනිට්' ආයතනයයි.

ලොව වියදම් වැඩිම නගර සම්බන්ධයෙන් තක්සේරු ඉදිරිපත් කරන්නේ ද මෙම ආයතනයයි. ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව, ඊශ්‍රායලයේ විනියම එසේත් නැතිනම් ඊශ්‍රායල ෂෙකලයේ මිල ඉහළ යෑම අනුව, ටෙල් අවීව් නගරය මෙම 2021 වසරේ ලොව මිල අධිකම නගරය ලෙස නම් කරන බව 'ඉකොනොමික්ස් ඉන්ටෙලිජන්ට් යුනිට්' ආයතනය පැහැදිලි කර තිබේ. 

පසුගිය මාසයේ ඊශ්‍රායලයේ ෂෙකලයේ අගය ඇමෙරිකන් ඩොලරයට වඩා සියයට 4 කින් වැඩි වී ඇත. ලොව රටවල් 133 කින් ලබා ගන්නා දත්ත සහ සමීක්ෂණ වාර්තා පාදක කර ගනිමින්, ලොව මිල අධිකම නගර ලැයිස්තුව සකස් කෙරෙන්නේ, එදිනෙදා භාවිතයට ගන්නා භාණ්ඩ සහ සේවා 200 කට වැඩි ගණනක මිල මට්ටම් සැසඳීමෙනි. ජීවන බර සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ. 

පසුගිය 2020 වසරේ ටෙල් අවීව් නගරය මෙම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ පසුවිය. වසරක කාලයක් ඇතුළත ඊට පළමු ස්ථානය හිමිවීම විශේෂත්වයක් බව පැවැසෙයි. පසුගිය 2020 වසරේ පළමු ස්ථානයේ සිටියේ ප්‍රංශයේ පැරිස් නගරයයි. මෙම 2021 වසරේ පැරිසිය දෙවැනි ස්ථානයට පත් වී ඇත. 

මෙම වසරේ තෙවැනි ස්ථානයේ පසුවන්නේ සිංගප්පූරුවය. ඉන්පසු පිළිවෙළින් පළමු රටවල් 10 ට ස්විට්සර්ලන්තයේ සූරිච්, හොංකොං, නිව්යෝක්, ජිනීවා, කොපන්හේගන්, ලොස් ඇන්ජලීස් සහ ජපානයේ ඔසාකා ඇතුළත් වෙයි. 

ලෝකයේ වඩාත් සීඝ්‍රයෙන් වර්ධනය වන නගරය ලෙස, ඇමෙරිකා සම්බාධකවලින් මිරිකී, 'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැටකන ඉරානයේ තෙහෙරාන් ද මෙම ලැයිස්තුවට ඇතුළත් වී තිබීම විශේෂත්වයකි. 79 වැනි ස්ථානයේ පසුවුණු තෙහෙරාන් නගරය මෙම 2021 වසර වෙද්දී 29 වැනි ස්ථානය තෙක් පැමිණ තිබේ.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom