ඉතාලි අගමැති ධුරය කාන්තාවකට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 1, 2022

ඉතාලි අගමැති ධුරය කාන්තාවකට

ඉතාලියේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස ජෝර්ජියා මෙලෝනී සහ ඇගේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නේය. මෙලෝනී නායකත්වය දෙන්නේ ඉතාලියේ ‘ජාතික සහෝදරත්වය’ පක්ෂයටය. ‘ජාතික සහෝදරත්වය’ දක්ෂිණාංශික පක්ෂයක් වන අතර, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු දක්ෂිණාංශික කැබිනට් මණ්ඩලයකට රටේ බලය හිමිවුණු පළමු අවස්ථාව මෙයයි. 

ඉතාලි මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය මාසයේය. එම මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ජෝර්ජියා මෙලෝනී සහ ඇගේ ‘ජාතික සහෝදරත්වය’ සමත් විය. ‘ජාතික සහෝදරත්වය’ මැතිවරණයට ඉදිරිපත් වූයේ ‘ෆෝර්සා ඉටැලියා’ සහ ‘ලීග්’ යන දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වෙමිනි. 

‘ෆෝර්සා ඉටැලියා’ පක්ෂයට නායකත්වය දෙන්නේ ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනීය. ‘ලීග්’ දේශපාලන පක්ෂයට නායකත්වය දෙන්නේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මැටියෝ සල්වීනි ය. ‘තමන් අවංක ජනතා සේවයක් වෙනුවෙන් කැපවී කටයුතු කරනවා’ යැයි දිවුරුම් දෙමින් 45 හැවිරිදි ජෝර්ජියා මෙලෝනී පැවැසුවාය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු රජයක් පිහිටුවන්නැයි මෙලෝනී ට ඇරැයුම් කළේ ඉතාලි ජනාපධිති සර්ගියෝ මැටරෙල්ලාය. ඒ අනුව, රජයක් පිහිටුවීමේ වගකීම මෙලෝනී බාර ගත්තාය. ඇගේ දිවුරුම්දීම සිදුවූයේ ජනාධිපතිවරයා ඉදිරියේය. 

මීට පෙර, ඉතාලි අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ මාරියෝ ඩ්‍රාගී ය. යුරෝපා මහ බැංකුවේ හිටපු ප්‍රධානියා ද වූ මාරියෝ ඩ්‍රාගී සහ ඔහුගේ එක්සත් පෙරමුණ රජය අභියෝග රැසකට මුහුණ දුන්නේය. එම අභියෝග හේතුවෙන් රජය ජනතා අප්‍රසාදයට ද පත් විය. ‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පෑ අතර, රුසියන් යුක්රේන යුද්ධය තව තවත් ඉතාලි වැසියන් පීඩාවට පත් කරන්න විය. 

මේ වනවිට ඉතාලිය දරුණු ආර්ථික අර්බුදයකට ද මුහුණ දෙයි. මෙම සියලු අර්බුදවලට මුහුණ දීමට නව අග්‍රාමාත්‍යවරිය මෙලෝනී සහ ඇගේ නව රජයට ද සිදුවෙයි. තම රජය යටතේ ඉතාලියේ සහාය යුක්රේනයට නොඅඩුව ලැබෙනු ඇතැයි මෙලෝනී පවසා තිබේ. 

 කෙසේ නමුත් මෙලෝනීට සහාය දක්වමින් ඇය හා සන්ධානගතවී සිටින හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනී විවෘතව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සහාය පළ කරන අයෙකි. රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සිල්වියෝ බර්ලුස්කෝනී ප්‍රසිද්ධියේ යුක්රේන රජයට දොස් වගා ඇත. 

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ගේ සමීපතම මිතුරකු බවත්, අවස්ථා ගණනාවකදී ඔහු තමන්ට ත්‍යාග වශයෙන් වොඩ්කා බෝතල් එවූ බවත් ලිපි හුවමාරු කරගත් බවත් සිල්වියෝ බර්ලුස්කෝනී ප්‍රසිද්ධියේ පවසා තිබේ.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom