නවසීලන්තයේදී කිරුළු පැලඳි නිෂී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 2, 2022

නවසීලන්තයේදී කිරුළු පැලඳි නිෂී

නවසීලන්තයේදී කිරුළු පැලඳි නිෂී නවසීලන්ත විවාහක රූ රැජින (Mrs Woman of the Universe) ලෙස කිරුළු පැලඳීමට එරට පදිංචි ලාංකික කාන්තාවක වන නිමක්ෂි (නිෂී) රණතුංග සමත් වූවාය. නවසීලන්ත රූ රැජින තරගාවලියකට ඉදිරිපත් වී, කිරුළු පැලඳි පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන්නේ නිෂී ය. ඒ අනුව, ලබන 2023 වසරේ බල්ගේරියාවේ පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගාවලියට, නවසීලන්තය නියෝජනය කරමින් සහභාගී වනු ඇත්තේ ඇයයි. 

අනෙක් සියලු දේට මෙන්ම, නවසීලන්ත විවාහක රූ රැජින (Mrs Woman of the Universe) තරගාවලියට ද ‘කොවිඩ් 19’ වසංගතය හරස් විය. ඒ අනුව, පසුගිය දා නවසීලන්ත විවාහක රූ රැජින තරගාවලිය පැවැත්වූයේ 2021 සහ 2022 වසර ආවරණය වන ආකාරයටය. 

එහෙයින් වසර දෙක සඳහා ජයග්‍රාහිකාවන් දෙදෙනකු තෝරා ගැනීම සිදුවිය. එම ජයග්‍රාහී සුරූපිනියන් දෙදෙනාගෙන් කෙනකු වන්නේ නිෂී ය. අනෙක් ජයග්‍රාහිකාව, තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගාවලියට සහභාගී වීමට නියමිත බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කර ඇත. 

නිෂී, අධ්‍යාපනය පිළිබඳ උපාධියක් සහ ප්‍රාසාංගික කලාව පිළිබඳ ඩිප්ලෝමාවක් හිමි වෘත්තීය ගුරුවරියකි. ඇය ක්‍රියාකාරී සමාජ සේවිකාවකි. ඕක්ලන්ඩ් කාන්තාවන් වෙනුවෙන් පිහිටුවා ඇති කාන්තා රැකවරණ සංවිධානයේ කැපී පෙනෙන සාමාජිකාවකි. පියයුරු පිළිකා පදනමේ සාමාජිකාවකි. ගෘහස්ථ හිංසනය වැලැක්වීමේ ව්‍යාපෘති රැසකට ඇය සම්බන්ධ වී කටයුතු කරන්නීය. 

බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නිෂී, නවසීලන්තය පදිංචිය සඳහා තෝරා ගත්තේ 2015 වසරේදීය. ඇය මේ වනවිට ඕක්ලන්ඩ් නුවර පදිංචිකාරියකි. නිෂී, NZSL Dance Studio නර්තන පුහුණු ඇකඩමියක් පවත්වාගෙන යයි. NZSL Dance Studio නර්තන පුහුණු ඇකඩමියේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන්නේ ඇයයි. ඇය යටතේ නර්තන ගුරුවරුන් කණ්ඩායමක් නර්තන පුහුණුව ලබා දෙයි. 

නිෂී සමත් සතු නර්තනයේ විස්මිත දක්ෂතා බෙදා හදා ගනිමින් බසු සංස්කෘතික උත්සවවලට ඉතා ක්‍රියාශීලීව සම්බන්ධ වෙයි. ශ්‍රී ලංකාවේ සිටියදී ද නිෂී ගුරුවරියක ලෙස රැකියාව කළාය. ඇය විදුර විද්‍යාලයේත්, මියුසියස් විද්‍යාලයේත් සහ කොටිකාවත්ත ඒෂියන් ග්‍රැමර් විද්‍යාලයේත් ගුරුවරියක වූවාය. 
පාසල් වියේ දී නිෂී පාසල් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වූවාය. නර්තනයට මෙන්ම රංගනයට ද ඇය උපන් හපනියකි. පාසල් වියේ දී ඇය බැඩ්මින්ටන් සහ පැසි පන්දු ක්‍රීඩාවෙන් ද දස්කම් පෙන්නුවාය. “ලංකාවේ සිටිද්දී මා නර්තන ශිල්පිනියක් විදියටත් කටයුතු කළා. මා කුඩා කළ සිටම චන්න විජේවර්ධන මහතාගේ ගෝලයෙක්. මියුසික් වීඩියෝ කීපයකටත් මා රංගනයෙන් දායක වුණා. ලංකාව නියෝජනය කරමින් විදේශවල නර්තන තරගවලටත් මා ඉදිරිපත් වී තිබෙනවා” යැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිෂී පවසා තිබේ. 

නිෂී, ශ්‍රී ලංකාවේ හිටපු රූ රැජිනක වන චිත්‍රා කාන්ති රණතුංග මහත්මියගේ සහ ව්‍යාපාරික ආර්.ඒ. ප්‍රේමරත්න මහතාගේ කනිටු දියණියයි. රංගනයට ඇති ආශාව සහ රංගනයට ඇති දක්ෂතාව නිසා නිෂී නවසීලන්ත කෙටි චිත්‍රපට කීපයකට රංගනයෙන් දායක වී ඇති අතර, එම කෙටි චිත්‍රපටවලින් කීපයක් ජාත්‍යන්තර සම්මානයට ද පාත්‍ර වී ඇත. 

කුඩා දරු දැරියන්ගේ ආදරණීය නැටුම් ගුරුතුමියක වන නිෂී මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කරන්නීය. නිෂී, සිවු හැවිරිදි සිඟිත්තියකගේ ආදරණීය මවකි. ආදරණීය පවුලක් යනු එකමුතුකමේ සංකේතය යැයි ඇයගේ විශ්වාසයයි. 

 නවසීලන්ත විවාහක රූ රැජින (Mrs Woman of the Universe) ලෙස කිරුළු පැලඳීමෙන් පසු නිෂී පළමුවෙන් ස්තුති කළේ තම සැමියා සහ දියණිය ඇතුළු පවුලේ අයටය. යහළු යෙහෙළියන්, අනුග්‍රාහකබවතුන් සහ ඕක්ලන්ඩ් නුවර ඇයට සහාය දැක්වූ සියලු දෙනාට ඇය හද පතුළෙන්ම ස්තුති කිරීමට අමතක නොකළාය. 

෴ උපුටා ගැනීම - New Zealand Media

Classified_Ad

Classified_Ad_News_Bottom