මියගිය තරුව වටා යන අද්භූත ග්‍රහයා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 16, 2026

මියගිය තරුව වටා යන අද්භූත ග්‍රහයා

රාත්‍රී අහස දෙස බලද්දී දිළෙන තරු බොහොමයි. අපට ආලෝකය සහ උණුසුම දෙන සූර්යයා නැතිනම් හිරුත් තරුවක්. දන්නවද? අහසේ තියෙන හැම තරුවකටම අප මනුෂ්‍යයන්ට වගේම උපතක්, තරුණ කාලයක් සහ මරණෂයක් තියෙනවා. තව අවුරුදු බිලියන 5ක් විතර ගියාම අපේ සූර්යයාත් මහලු වෙලා මිය යනවා. විද්‍යාඥයන් කියන්නේ එහෙමයි. 

මේ කතාව, විද්‍යාඥයන්ට විශ්වයේ ඈතින් සොයා ගත් මැරුණු තරුවක් සහ ඒ වටා කැරැකෙන අද්භූත ග්‍රහලෝකයක් ගැනයි. තාරකා විද්‍යාඥටන් මේ තරුව ගැනයි, ග්‍රහලෝකය ගැනයි සොයා ගත්තේ, අප සතුව ඇති බලවත්ම දුරේක්ෂය වන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ උදව්වෙන්. 

 තරුවක් තමන්ගේ ජීවිත කාලය අවසන් කරන්න කිට්ටු වුණාම, ඒක එකපාරටම විශාල වෙන්න ගන්නවා. ඒකට කියන්නේ රතු යෝධයෙක් (Red Giant) වෙනවා කියලා. සූර්යයාත් මේ වගේ රතු යෝධයෙක් වුණාම බුධ සහ සිකුරු ග්‍රහලෝක ඒකට බිලිවෙලා විනාශ වෙනවා. අපේ පෘථිවියේ ඉරණම මොකක් වෙයිද කියලා තවම ස්ථිර නැහැ. ඊට පස්සේ ඒ තරුවේ පිටත කොටස් අභ්‍යවකාශයට විසිවෙලා ගිහින්, මැද තියෙන හරය විතරක් ඉතිරි වෙනවා. 

අන්න ඒ ඉතිරි වෙන ඝන, කුඩා කොටසට තමයි විද්‍යාඥයෝ සුදු වාමන තරුවක් (White Dwarf) කියලා කියන්නේ. මේවා ප්‍රමාණයෙන් අපේ පෘථිවිය වගේ වුණාට, බරින් සූර්යයා වගේ එකහමාරක් විතර බරයි. ඒ කියන්නේ හරිම අධික ඝනත්වයක් තියෙන, නිවී ගිය මියගිය තරුවක්. ආලෝක වර්ෂ 82ක් ඈතින් තියෙන මේ වගේ මියගිය සුදු වාමන තරුවක් වටා කැරකෙන සුවිශේෂී ග්‍රහලෝකයක් තමයි WD 1856b කියන්නේ.

 සාමාන්‍යයෙන් තරුවක් මියයද්දී ඒ වටා තියෙන ග්‍රහලෝක විනාශ වෙලා යනවා කියලයි කලින් හිතුවේ. හැබැයි බෘහස්පති ග්‍රහයා වගේ විශාල මේ ග්‍රහලෝකය, තමන්ගේ මව් තරුව මියගියත් බේරිලා ජීවත් වෙනවා. පුදුම වැඩේ කියන්නේ, මේ ග්‍රහලෝකය තමන් කැරකෙන සුදු වාමන තරුවට වඩා හත් ගුණයක් විතර විශාල වීමයි. 

ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් ඉතිහාසයේ පළමු වතාවට මේ ග්‍රහලෝකයේ වායුගෝලය ඇතුළත නිරීක්ෂණය කරන්න විද්‍යාඥයන්ට පුළුවන් වුණා. ග්‍රහලෝකය තරුව ඉදිරියෙන් ගමන් කරද්දී, තරුවේ ආලෝකය ග්‍රහලෝකයේ වායුගෝලය හරහා එන විදිය බලලා තමයි මේ පරීක්ෂණය කළේ. මේ ග්‍රහලෝකය තරුව වටා එක වටයක් යන්න ගතවෙන්නේ විනාඩි 8ක් වගේ පුංචි කාලයක් වීමත් විශේෂත්වයක්. මේ ග්‍රහලෝකය ගැන හොයද්දී විද්‍යාඥයෝ ලොකු ප්‍රහේලිකාවකට මැදි වුණා. 

සාමාන්‍යයෙන් මියගිය, නිවී ගිය තරුවක් වටා තියෙන ග්‍රහලෝක හරිම සීතල වෙන්න ඕනේ. අපේ බ්‍රහස්පති වගේ මේ ග්‍රහලෝකයත් සෙල්සියස් අංශක සෘණ 113ක් විතර අධික සීතලකින් යුක්ත ඇති කියලයි හැමෝම හිතුවේ. ඒත්, ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් බලද්දී මොකද වුණේ? මේ ග්‍රහලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 126ක් විතර වෙනවා. ඒ කියන්නේ උතුරන වතුරටත් වඩා රස්නෙයි. 

"නිවිලා ගිය තරුවක් ළඟ තියෙන ග්‍රහලෝකයක් මෙච්චර රත් වුණේ කොහොමද?" කියන එක හැමෝටම ප්‍රශ්නයක් වුණා. ඒ වගේම මේක බෘහස්පති තරම් ප්‍රමාණයෙන් ලොකු වුණාට, බරින් බෘහස්පති වගේ හත් ගුණයක් බරයිලු. විද්‍යාඥයන් මේ ගැන ගොඩක් පරීක්ෂණ කරලා අන්තිමේදී උත්තරය හොයාගත්තා. 

තරුව මියගිහින් අවුරුදු බිලියන 5.4ක් තිස්සේ නිවෙමින් පවතිද්දී, මේ ග්‍රහලෝකය මෙච්චර රත් වෙන්න හේතුව මව් තරුව නෙවෙයි. ඒ අසලින් තිබුණු වෙනත් තරු යුගලක ගුරුත්වාකර්ෂණ බලපෑමයි. මේ බලපෑම නිසා ග්‍රහලෝකය ඈත තිබුණු තැනක ඉඳන් මියගිය තරුවට ගොඩක් කිට්ටුවට ඇදිලා ඇවිත් තියෙනවා. ඒ එද්දී ඇතිවුණු තෙරපුම සහ ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා මේ ග්‍රහලෝකය අලුතින්ම රත් වෙන්න පටන් අරන්. 

මේ සොයාගැනීම අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අනාගතය තේරුම් ගන්නත් උදව් වෙනවා. සූර්යයා මියයද්දී බෘහස්පති, සෙනසුරු වගේ පිටතින් තියෙන විශාල ග්‍රහලෝක විනාශ නොවී බේරෙන බව දැන් පැහැදිලියි. හැබැයි සූර්යයාගේ බර අඩුවෙද්දී ග්‍රහලෝකවල කක්ෂයන් වෙනස් වෙලා ඒවා ඈතට හෝ කිට්ටුවට ගමන් කරන්න පුළුවන්. 

ලුසිත ජයමාන්න 
BBC ඇසුරිනි

Classified_Ad