

බීමතින් වාහන පැදවීම හුදෙක් නීතිමය වරදක් විතරක්ම නොවෙයි; මාරාන්තික අවදානමක්. ඉතිං කෙනෙක් මත්පැන් පානය කර සිටිනවා නම්, යතුරු පැදියේ නැගී ගමනක් යන්න සූදානම් වෙනවා නම්, ඒ කෙනාට මේ අපූරු යතුරු පැදිය අවනත වෙන්නේ නැහැ. බීමතින් සිටිද්දී යතුරුපැදිය පණ ගැන්වීමට සැරසෙද්දී, එය කිසිදු සද්දයක් නැතිව නිහඬව සිටිනවා. ඒක වෙන්නේ අර කලින් කියපු ස්මාට් හෙල්මට්ටුව නිසයි.
මේ යතුරු පැදිය නිර්මාණය කරලා තිබෙන්නේ ආරක්ෂාවට මුල් තැන දෙමින්. යතුරු පැදියේ යන්න නම්, එහි අසුන් ගෙන හෙල්මට්ටුව අනිවාර්යයෙන් පැලදීම කළ යුතුයි. එසේ කළොත් තමයි යතුරු පැදිය පණ ගැන්වෙන්නේ. බීමතින් සිටිද්දී හෙල්මට්ටුව පැලඳගෙන ගමනක් යන්න හැදුවොත්, මේ යතුරු පැදිය පණ ගැන්වෙන්නේ නැහැ. ඉතිං මේක විද්‍යා ප්‍රබන්ධයක් නොවෙයි. පිටරටක ඉන්ජිනේරු හපන්කමක් ද නොවෙයි.
මේ නිර්මාණය පිටුපස ඉන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ, 13 වසරේ (T2) පංතියේ සිසුන්. මෙම ඉන්ජිනේරු විස්කම, සාමූහික ශ්‍රමය සහ කැපවීමේ එකතුවක්. කණ්ඩායමට නායකයා දිදුල කිත්මිණය.
සෙනිරු තරුෂ, චමෝද් රත්නසිරි, ජනිඳු දිසානායක, විමුක්ති උමයංග, රන්දිල් ගොඩපිටිය, සෙනුර මින්සර, නුසිත් නෙසිදුමිණ, නෙත්සර ජයලත්, දනිඳු දෙව්මිණ, දනිඳු කිත්නද, තවිරු නෙතිල්, නවිත් නිදුවර, සඳරු දිල්ෂාන්, චලිඳු ඕෂධ, හසිත් ජයකොඩි, නදිල් අංජන, ආදේශ් කවීන්, කවීෂ වෙන්දික බණ්ඩාර, කජින භානුක, සදෙස් සමරසිංහ, තරිඳු ගුණවර්ණසූරිය, නිලන නිම්ෂක, කශ්මික බණ්ඩාර, කනිෂ්ක දුනුකේදෙණිය, මෙත්සර පූර්ණජිත්, හිරුජ දම්යුරු සහ ජවිනු දිසානායක මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටිනවා. ශ්‍රමය පමණක් නොවෙයි, මූල්‍ය ප්‍රතිපාදන ද සිසුන්ගේ එකමුතුවෙන් තමයි.

මේ කටයුත්තේ දී සිසුන්ට මඟ පෙන්වමින් ශක්තියක් වූ විදුහල්පති ලාල් දිසානායක, අංශ ප්‍රධානී කේ.ටී.වී.පී.කේ. කරුණාරත්න, පන්තිභාර ගුරුතුමිය සයුරි කෞෂල්‍යා සහ ඉන්ජිනේරු තාක්ෂණ ගුරුතුමිය ගයනි රණතුංග යන මහත්ම මහත්මීන්ගේ කාර්යභාරය ද මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.
සිසුන් කණ්ඩායම, යතුරු පැදිය නිර්මාණය කළේ අබලන් වුණු අතහැර දැමුණු යතුරු පැදි සැකිල්ලක් යොදා ගනිමින්. අබලන් යතුරුපැදියක් යළි පණ ගැන්වීම තාක්ෂණික ලෝකයේ එතරම් නුහුරු දෙයක් නොවෙන්න පුළුවනි. ඒත් මෙම සිසුන් කණ්ඩායම කළේ හුදු අලුත්වැඩියාවකට එහා ගිය නිර්මාණශීලී පරිවර්තනයකි. එම පැරණි යතුරුපැදියට ඔවුන් නවීන ස්මාර්ට් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය එක් කළේ අනාගත මාර්ග ආරක්ෂාව පිළිබඳ පැහැදිලි දැක්මක් ඇතිවයි.
මෙම නිර්මාණයේ කැපී පෙනෙනම සහ සුවිශේෂීම අංගය වන්නේ යතුරුපැදියට සම්බන්ධ ස්මාට් හෙල්මටයයි. යතුරුපැදිකරු මත්පැන් පානය කර සිටී නම්, හෙල්මටයේ සවි කළ සංවේදක මගින් එය ක්ෂණිකව හඳුනා ගැනීම සිදුවෙනවා. එම තොරතුර, සැණින් යතුරුපැදිය වෙත යොමු කෙරෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස යතුරුපැදිය පණ ගැන්වීම අක්‍රිය වෙනවා.
හෙල්මට්ටුව පැළඳ සිටින විට පමණක් යතුරුපැදිය පණ ගැන්වීමට හැකි වීමත්, ධාවනය නොවන අවස්ථාවලදී ස්වයංක්‍රීයව යතුරු පැදිය අගුළු වැටීමත් මෙහි ඇති තවත් ආරක්ෂිත පියවරක්.


අගුල ඇරීම සිදු කළ හැකි වන්නේ ස්මාට් ෆෝන් ජංගම දුරකතනය හරහා ඇප් (App) එකකිනි. මෙය ඇප් එක Bike Gurd යනුවෙන් නම් කර ඇත. මේවා සියල්ල සිසුන්ගේම නිර්මාණ. අගුළු දමා ඇති මොහොතක යතුරුපැදිය සොරා ගැනීමේ තැත් කළොත්, අනතුරු ඇඟවීමේ සංඥා නාද වීමක් ද සිද්ධ වෙනවා. ඊට අමතරව, GPS තාක්ෂණය ඔස්සේ යතුරුපැදිය ඇති ස්ථානය නිවැරදිව හඳුනා ගැනීම සහ වේග සීමා පාලනයක් ද සිදු කරන්න පුළුවනි.

‘අපි මේ ව්‍යාපෘතිය සඳහා යොදාගත්තේ අතහැර දමා තිබුණු පැරණි යතුරුපැදියක්. නවීන ස්මාර්ට් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිතයෙන් එය නවීකරණය කළා. 125 සීසී එන්ජිම අලුත්වැඩියා කර හොඳින් ක්‍රියාත්මක වන තත්ත්වයට පත් කළා. පසුපස සස්පෙන්ෂන් සහ තිරිංග පද්ධතියක් සහිතව අපටම ආවේණික නව චැසියක් නිර්මාණය කළා. මුල සිටම නව විදුලි පද්ධතියක් සැලසුම් කර වයරින් කිරීමත්, දුම් බට පද්ධතිය සකස් කිරීමත් අපගේ ප්‍රධාන අරමුණක් වුණා. ජංගම දුරකථනයකින් යතුරුපැදිය පාලනය කළ හැකි ESP32 ස්මාර්ට් පාලන ඒකකයක් නිර්මාණය කළා. ස්මාට් ෆෝන් හරහා ඇප් එකකින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව තමයි යතුරුපැදිකරු මත්පැන් පානය කර සිටිනවාද නැද්ද යන්න සොයා බැලීමට සංවේදකයක් සහිත මේ ස්මාර්ට් හෙල්මටය නිර්මාණය කළේ. අපි මේ යතුරු පැදිය හඳුන්වන්නේ අයන් හෝර්ස් (Iron Horse) (යකඩ අශ්වයා) කියලයි.’ යැයි මෙම නිර්මාණයට දායක වුණු සිසුන් පවසන්නේ මහත් ආඩම්බරයෙනි.
ලුසිත ජයමාන්න