අද වනවිට ආර්ථික අර්බුදවලින් ද බැටකන පාකිස්තානය, ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන පවත්වාගෙන යන්නේ චීනයේ සහාය ඇතිවය. චීනය ඔවුන්ටම කියා වෙනම අභ්‍යවකාශ නැවතුම්පොළක් නිපදවා ඇත. මෙය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට වඩා ප්‍රමාණයෙන් කුඩාය. මෙය ටියැන්ගොං ලෙස හැඳින්වෙයි.
චීන ගගනගාමීහු නිරන්තරයෙන් ටියැන්ගොං අභ්‍යවකාශ නැවතුම්පොළ බලා යති. ගගනගාමීන් රැගෙන යෑම සිදු කරන්නේත් ආපසු පෘථිවියට රැගෙන එන්නේත්, චීනය සතු ෂෙන්ෂෝ ගගන කැප්සියුලය ආධාරයෙනි.
මෙම කැප්සියුලය උඩුගුවනට තල්ලු කිරීම සිදු කරන්නේ චීනය ඔවුන්ගේ තාක්ෂණයෙන් නිපදවූ චැංග් සියැංග් රොකට්ටුවේ ආධාරයෙනි.
40 හැවිරිදි මුහම්මද් සීෂාන් අලි, චීන අභ්‍යවකාශ නැවතුම්පොළ බලා ගියේ ‘24 වැනි ෂෙන්ෂෝ’ මෙහෙයුම යටතේය. සීෂාන් අලි, සමග චීන ගගනගාමීහු දෙදෙනක් ද අභ්‍යවකාශය බලා ගියහ. ෂෙන්ෂෝ ගගන කැප්සියුලයේ ඉඩ පහසුකම් ඇත්තේ ගගනගාමීන් තිදෙනකුට පමණි.
මෙම අභ්‍යවකාශ මෙහෙයුමට එක් වුණු චීන ගගනගාමීන් වන්නේ, ටෑං හොංබෝ සහ වූ යී යන දෙදෙනාය. ටෑං හොංබෝ මෙහෙයුමේ ප්‍රධාන අණදෙන නිලධාරී ලෙස කටයුතු කරයි. වූ යී මෙහෙයුමට එක් වුණු පියාසර ඉංජිනේරුවරයාය.
මුහම්මද් සීෂාන් අලි මෙහෙයුමට එක් වූයේ විද්‍යාත්මක උපකරණ විශේෂඥයකු ලෙසය.
ඉකුත් 25 වැනිදා පාන්දර වයඹදිග චීනයේ ජියුක්වාන් මධ්‍යස්ථානයෙන් ගගනගාමීන් සහිත කැප්සියුලය රැගෙන, චැංග් සියැංග් රොකට්ටුව ගුවන්ගත කෙරුණි. චීන රජය, ඔවුන් සමග සමීපව කටයුතු කරන රටවල ගගනගාමීන් අභ්‍යවකාශ ගමන් බිමන්වලට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරමින් සිටී. චීනය විදෙස් ගගනගාමියකු ඔවුන්ගේ මෙහෙයුමකට සම්බන්ධ කරගත් පළමු අවස්ථාව මෙයයි. එය ද විශේෂත්වයකි.
පාකිස්තානය ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ ‘අභ්‍යවකාශ සහ ඉහළ වායුගෝලීය පර්යේෂණ කොමිසම’ හරහාය. කෙටියෙන් මෙය 'සුපර්කෝ' නම් වෙයි. උඩු ගුවන බලා යෑමට පෙර, මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මුහම්මද් සීෂාන් අලි ප්‍රකාශ කළේ තමන් මෙම ගමන යන්නේ තමන් වෙනුවෙන් නොව මිලියන 250 ක් වන පාකිස්තාන ජනතාවගේ බලාපොරොත්තු සහ රටේ නාමය රැගෙන බවය.
‘සුපර්කෝ’ ආයතනය ආරම්භ කෙරුණේ 1961 වසරේදීය. දකුණු ආසියාවේ මුල්ම අභ්‍යවකාශ වැඩසටහන් අතරට එය අයත් වෙයි. 1962 දී 'රෙහ්බාර් 1' රොකට්ටුව යැවීම කළේ ද 'සුපර්කෝ' ආයතනයයි.
ඉන්පසු 1990 දී 'බඩාර් 1' නමැති පාකිස්තානයේ ප්‍රථම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ද හැකිවිය. පසුකාලීනව සන්නිවේදන චන්ද්‍රිකා, පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා දියත් කරමින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය සහ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යෑමට 'සුපර්කෝ' ආයතනය සමත් විය.
සීමිත අයවැය සහ දේශීය කක්ෂීය රොකට් දියත් කිරීමේ පහසුකම් නොමැතිකම හේතුවෙන් කලාපයේ අනෙකුත් ප්‍රධාන වැඩසටහන් හා සසඳන විට වේගය මන්දගාමී වුවද, චීනය සමග පවතින සමීප සහයෝගීතාව හරහා පාකිස්තාන අභ්‍යවකාශ වැඩසටහන නව කඩඉම් කරා ගමන් කරමින් සිටී.
