අවුරුදු 7 කට වරක් හැදෙන බෙරලිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 20, 2023

අවුරුදු 7 කට වරක් හැදෙන බෙරලිය

සිංහරාජ වනාන්තරයේ ආහාර වටිනාකමක් ඇති ප්‍රධාන ශාකයක් වන්නේ බෙරලියයි. බෙරලිය ඵල හටගන්නේ අවුරුදු හතකට වරක් බව සිංහරාජ වනාන්තරය අවට ගම්මානවල ගැමියන්ගේ මතයයි. ඉතා දිගු කාලයකට වරක් සෑදෙන බෙරලිය සඳහා ලොකු රුචිකත්වයක් දක්වන්නේ ඒ නිසාය. 

සියලු රාජකාරි පසෙකලා බෙරලිය වාරයට, බෙරලිය ඇහිදීම සඳහා බෙරලිය නඩයකට එකතු වී වනාන්තරයට නො පිවිසෙන ගැමියෙකු නැති තරම්ය. මෙසේ කණ්ඩායම් ගැසී බෙරලිය ඇහිදීමට යෑම සම්ප්‍රදායකි. 

අප්‍රේල් සිට මැයි මාසවල දී ගසින් වැටෙන බෙරලිය හොර ඉපියකුගේ ස්වභාවයෙන් යුක්ත වුවත් හොර ඉපියාට වඩා දෙගුණයක් පමණ කුඩා ය. ගැමියන්ගේ දැනුම අනුව බෙරලිය වර්ග දෙකකි. 

ඒ, පිනි බෙරලිය සහ කොටිකං බෙරලිය ආදී වශයෙනි. 

පිනි බෙරලිය හීනි ය. කොටිකං බෙරලිය ටිකක් ලොකුය. බෙරලිය ද ගස් විශාල ප්‍රමාණයන්ගෙන් යුක්තව එකට පිහිටයි. බෙරලිය මණ්ඩිය යනු මෙයයි. 'බෙරලිය ඇහිලින්න අසුද්දෙං යන්න හොඳ නෑ. කිලි අහුවෙලා ගියොත් හෙම, කට වරද්දගත්තොත් හෙම මංමුලා වෙනවා' ගැමි විශ්වාසයයි. බෙරලිය ඇහිදීමට වනාන්තරයට යෑමේදී තනිකම් දෝෂ, යක්ෂ දිෂ්ටි, ආදිය ඇතිවිය හැකි බව ද ගැමි විශ්වාසයයි. 

බෙරලිය ඇහිදීමට යෑම කරන්නේ මස් මාංශ අනුභවයෙන් තොරව, කිලිවලට හසු නොවෙමිනි. ගැමියන් වනාන්තරයට ඇතුළු වෙන්නේ බෙරලිය නඩ වශයෙනි. ඒ, ආරක්ෂාව වෙනුවෙනි. නිවසට ගෙනන බෙරලිය පිරිසුදු කර උණු දියේ දා වේලන බව ගැමියෝ කියති. 

පසුව ඒවා කොටා පිට්ටු, හැලප, වැලිතලප, කැවුං සැදීම කරයි. බෙරලිය තැම්බූ වතුර බඩේ අමාරුවට ගුණය. ගැබිනි මවුවරුන්ටත් කිරිදෙන මවුවරුන්ටත් ගුණයදායකය. දියවැඩියාවට ද ඔසුවකි. අමු බෙරලිය ව්‍යංජනය අපූරුය. 

බෙරලිය සෑදෙන්නේ අවුරුදු හතකට වරක් යැයි පවතින විශ්වාසය නිසාත් එය වටිනා ඖෂධයක් නිසාත් ගැමියෝ බෙහෙතකට ගැනීමට තම්බා වියලාගත් බෙරලිය අවශ්‍ය වූ විටක ගැනීමට සුරක්ෂිත ලෙස දුමෙහි තබා ගනිති.

Classified_Ad