සියලු දෙනාට, විශේෂයෙන් සෑම ආගමකම අත්‍යවශ්‍ය සහ වැඩිම අවදානමක් ඇති සියලු දෙනාට එන්නත ලබාදෙන්නැයි නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අති උතුම් ශුද්ධෝත්තම පාප්තුමෝ පසුගිය නත්තලා දා කළහ.
වත්මන් ගෝලීය අර්බුදය උත්සන්න වෙමින් තිබෙන මේ මොහොතේ, ලොව සියලු දෙනාට එන්නත දෙන්නැයි ද පාප්තුමෝ කීහ.
සිරියාව, යේමනය සහ ඉරාකය ඇතුළු යුද ගැටුම්වලට මුහුණ පා සිටින රටවල දරුවන් සම්බන්ධයෙන් ද පාප්තුමෝ සිය නත්තල් දින පණිවුඩයේ දී සිහිපත් කළහ.
අඳුරු හා මෙම අවිනිශ්චිත කාලයේදී එකම බලාපොරොත්තුව වී ඇත්තේ එන්නත් යැයි ද පාප්තුමෝ කීහ.
‘‘මම සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. රාජ්‍ය නායකයන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන්, ජාත්‍යන්තර සංවිධානවලින් මම මේ ඉල්ලීම කරනවා. තරගකාරීත්වය නෙමෙයි සහයෝගීතාව ප්‍රවර්ධනය කරන්න. සියලු දෙනාට විසඳුමක් සොයන්න. සියලු දෙනාට එන්නත දෙන්න. මේ මහ පොළවේ සිටින, සියලු ආගමකට සියලු දෙනාටම එන්නත දෙන්න. විශේෂයෙන්ම අවදානම වැඩි සහ එන්නත වැඩියෙන්ම අවශ්‍ය සියලු දෙනාට එන්නත දෙන්න’’ පාප්තුමෝ පැවැසූහ.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ගෝලීය වසංගතය හේතුවෙන් දරුණු පාරිසරික අර්බුදයක් මෙන්ම ආර්ථික අර්බුදයක් ඇති වී ඇති බව කී පාප්තුමෝ සමාජය තුළ අසමානතා සහ අසමබරතා ඇති වී ඇතැයි ද කීහ. ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වන මෙම සමයේ වඩාත් වැදගත්ම දේ එකිනෙකා සහෝදර සහෝදරියන් ලෙස පිළිගැනීම යැයි ද පාප්තුමෝ පැවැසූහ.
ඒ.එෆ්.පී.