ක්‍රියාදාමයක්: 'මොන්ස්ටර් හන්ටර්' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 23, 2021

ක්‍රියාදාමයක්: 'මොන්ස්ටර් හන්ටර්'

බිහිසුණු යෝධ මෘගයන් පිරි ලෝකයක්; හමුදා නිලධාරිනියක් සහ දඩයක්කාරයෙක්: සුපිරි ක්‍රියාදාම පිරි වික්‍රමයක් 

දැවැන්ත මෘගයන්ගෙන් පිරුණු මෘගයන් රජ කරන අපේ ලෝකයට සමාන තවත් ලෝකයක්; වීඩියෝ ක්‍රීඩාවක් පාදක කර ගනිමින් නිර්මාණය වූ 'මොන්ස්ටර් හන්ටර්' විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ කතා තේමාව මෙයයි. 

චිත්‍රපටයේ ප්‍රධාන වීරවරිය ඇමෙරිකන් හමුදා නිලධාරිනියක වන ලුතිනන් අර්ටිමීස් ය. ආටිමීස් සහ ඇගේ ධීර හමුදා කණ්ඩායම අපේ ලෝකයේ සිට මෙම නව සමාන්තර ලෝකයට ගමන් කරන්නේ නොදැනුවත්වමය. 

එහිදී බිහිසුණු මෘගයන්ගෙන් සොල්දාදුවන් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වෙයි. 
දිවිරැක ගැනීම වෙනුවෙන් අර්ටිමීස්ට එකිනෙකට වෙනස් සුවිශේෂී හැකියාවන් පෙන්නුම් කරන දැවැන්ත මෘගයන් සමඟ සටන් කරමින් දිවි බේරා ගැනීමට සිදුවෙයි. 

මෘගයන්ට එරෙහි සටනේදී ආටිම්ස් ට මෘග ලෝකයේ සිටින මනුෂ්‍ය දඩයක්කරුවෙකු ද හමුවෙයි. 

'මොන්ස්ටර් හන්ටර්' චිත්‍රපටයේ කතාව වන්නේ මෙයයි. 

චිත්‍රපටයට දක්ෂ මෙන්ම ජනප්‍රිය නළු නිළි කැළක් එක් වී සිටිති. 

අර්ටිමීස්ගේ චරිතයට පණ පොවන්නේ මීලා ජෝවවිච් ය. ඇගේ සහායට පැමිණෙන දඩයක්කරුගේ චරිතයට පණ පොවන්නේ මූතායි සටන් නළු ටෝනි ජා ය. 

ටෝනි ජා ආසියානු සිනමා ලෝලීන්ට ආගන්තුකයකු නොවෙයි. ඔහු හොලිවුඩයට ගෙන යෑමට සමත් වූ චිත්‍රපටයක් ලෙස මෙම 'මොන්සටර් හන්ටර්' සැලකිය හැකිය.

මූතායි සටන් නළු ටෝනි ජා

මීලා ජෝවවිච් ක්‍රියාදාම චිත්‍රපටවලට ආගන්තුක නැත. 1975 දෙසැම්බර් 17 වැනිදා උපන් මේ වනවිට 45 හැවිරිදි වියෙහි පසුවන මීලා වඩාත් ප්‍රිය කරන්නේ ක්‍රියාදාම චිත්‍රපටවලටය. මීලා උපත ලැබුවේ සෝවියට් දේශයේය. 

ඇයට සෝවියට්, යුක්රේන සහ ඇමෙරිකා පුරවැසිභාවය හිමිවය. නිළියක පමණක් නොව, මීලා නිරූපිකාවකි. ගායිකාවකි. මීලා රංගනයට පිවිස සිටින්නේ 1980 දශකයේ සිටය. 

මීලා ජෝවවිච්ගේ තෙවරක් විවාහ වූ තැනැත්තියකි. ඇගේ පළමු සැමියා ඇමෙරිකන් නළු ෂෝන් ඇන්ඩෲ ය. දෙවැනියා ජනප්‍රිය මෙන්ම සම්මානනීය ප්‍රංශ සිනමාකරු ලූක් බෙසොන් ය. ලූක් බෙසොන් 1997 වසරේ අධ්‍යක්ෂණය කළ 'ද ෆිෆ්ව්ත් ඒලිමන්ට්' විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය විය. එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා බෲස් විලිස් ය. 
බෲස්විලිස් සමඟ 'ද ෆිෆ්ව්ත් ඒලිමන්ට්' චිත්‍රපටයේ

'මොන්ස්ටර් හන්ටර්' බ්‍රිතාන්‍ය ජාතික සිනමාකරුවකු වන පෝල් ඇන්ඩර්සන්ගේ අධ්‍යක්ෂණයකි. 

පෝල් ඇන්ඩර්සන් වීඩියෝ ක්‍රීඩා සිනමාවට නැගීමේ හපනෙකි. ඔහු 2002 දී 'රෙසිඩන්ට් ඊවිල්' වීඩියෝ ක්‍රීඩාව පාදක කර ගනිමින්, 'රෙසිඩන්ට් ඊවිල්' පළමු චිත්‍රපටය නිර්මාණය කළේය‍. 

 2002 සිට 2016 තෙක් 'රෙසිඩන්ට් ඊවිල්' චිත්‍රපට 6 ක් එළිදැක්වුණු අතර, 'රෙසිඩන්ට් ඊවිල්' පළමු සහ අවසන් චිත්‍රපටයත්, සිවුවැනි චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළේ පෝල් ඇන්ඩර්සන්ය. 

1999 ලූක් බෙසොන්ගෙන් දික්කසාද වූ මීලා 2009 දී යළි විවාහ වූවාය. ඒ, පෝල් ඇන්ඩර්සන් සමඟය. 

'රෙසිඩන්ට් ඊවිල්' චිත්‍රපටවල ප්‍රධාන වීරවරිය ඇලිස් ය. ඇලිස්ගේ චරිතයට පණ පොවන්නේ මීලා ය. 

මීලා ජෝවවිච් යළිත් අතිශය ජනප්‍රිය හොලිවුඩ් තරුවක් බවට පත් වූයේ 'රෙසිඩන්ට් ඊවිල්' චිත්‍රපට මාලාව හරහාය. 
රෙසිඩන්ට් ඊවිල් චිත්‍රපටයේ ඇලිස් ලෙස...

'මොන්ස්ටර් හන්ටර්' චිත්‍රපටයේ තිර රචනය ද පෝල් ඇන්ඩර්සන් ය. 'මොන්ස්ටර් හන්ටර්' වීඩියෝ ක්‍රීඩාව කැප්කොම් සමාගම එළිදැක්වූ ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවකි. 

 'කොවිඩ් 19' කොරෝනා වසංගතය හමුවේ, තිරගතවීම් ප්‍රමාද වූ 'මොන්ස්ටර් හන්ටර්' පසුගිය 2020 වසරේ දෙසැම්බර් 3 වැනිදා නෙදර්ලන්තයේ තිරගතවීම් ඇරැඹුණි. 

චීනයේ දෙසැම්බර් 4 වැනිදාත්, ඇමෙරිකාවේ දෙසැම්බර් 18 වැනිදාත් තිරගතවීම් ඇරැඹුණු අතර, මහා බ්‍රිතාන්‍යයේ තිරගවීම් ඇරැඹීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 29 වැනිදාය. 

කොරෝනා වසංගතය හමුවේ, සෞඛ්‍ය උපදෙස් අකුරට පිළිපඳිමින්, ශ්‍රී ලාංකික සිනමා ලෝලීන්ට ද කොලම්බු සිටි සෙන්ටර් හි 'ස්කෝප් සිනමා' හරහා 'මොන්ස්ටර් හන්ටර්' චිත්‍රපටය නැරැඹීමට අවස්ථාවක් උදා වන්නේ ඩොල්බි ඇට්මොස් ශබ්ද තාක්ෂණය හරහාය.

ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom