බයිඩන්ට දෙවැනි එන්නත ලැබේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 12, 2021

බයිඩන්ට දෙවැනි එන්නත ලැබේ

ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වී සිටින ජෝ බයිඩන් ට ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම ඊයේ (11) සිදුවිය.

බයිඩන්ට ලබා දෙන්නේ ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට නිපවදා ඇති ‘ෆයිසර්’ එන්නතය. සියයට 95 ක් සාර්ථක මෙම එන්න මාත්‍රා දෙකකි. 

පළමු එන්නත ලබා ගැනීමෙන් දින 21 කින් දෙවැනි එන්නත ලබා ගැනීම කළ යුතුය. වයිරසයට එරෙහි ප්‍රතිශක්තියක් සිරුරේ ඇති වන්නේ ඉන්පසුවය.  

බයිඩන්ට පළමු එන්නත ලැබුණේ පසුගිය දෙසැම්බර් 21 වැනිදාය.

78 හැවිරිදි බයිඩන්, සිය දෙවැනි එන්නත ලබා ගැනීම සිදු කරනු ඇත්තේ ඔහු පදිංචි ඩෙලවෙයාර් ජනපදයේ, නෙවාක් නුවර ‘ක්‍රිස්ටියැනා’ රෝහලේදීය. 

බයිඩන් පළමු එන්නත ලබා ගැනීම සිදු කළේ ද මෙම රෝහලේදීය. බයිඩන්ට අමතරව ඔහුගේ බිරිඳ ජිල් ද දෙවැනි එන්නත ලබා ගත්තාය.

බයිඩන් පළමු එන්නත ලබා ගත් අවස්ථාව මෙන්ම, මෙම දෙවැනි එන්නත ලබා ගන්නා අවස්ථාව ද සජීවීව පුවත් නාළිකා ඔස්සේ විකාශය කෙරුණි. 

බයිඩන් ප්‍රසිද්ධියේ එන්නත ලබා ගන්නේ එය ලබා ගැනීම ආරක්ෂිත බවත් එය ලබා ගත යුතු බවත් ඇමෙරිකානුවන්ට ඒත්තු ගැන්වීමටය. 

බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්නේ ලබන 20 වැනිදාය. ජනපති ධුරයට පත් වී දින 100 ඇතුළත ඇමෙරිකානුවන් මිලියන 50 කට එන්නත ලබා දීමට බයිඩන් ප්‍රතිඥා දී ඇත. 

‘එන්නත ලබා ගන්න. බය වෙන්න එපා. එන්නත ලබා ගත්තත් මුහුණු ආවරණ පලඳින්න. සමාජ දුරස්ථභාවය, දෑත් සේදීම අනිවාර්යයි.’ යැයි එන්නත ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බයිඩන් පෙන්වා දුන්නේය.

‘ෆයිසර්’ යනු ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වී නිපදවූ එන්නතය. මෙම එන්නත මේ වනවිට රටවල් රැසක හදිසි භාවිතයට යොදා ගැනෙයි. 

හදිසි භාවිතයට එන්නත සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමැතිය දී ඇත.‘ෆයිසර්’ එන්නත පමණක් නොව මෙතෙක් නිපදවා ඇති සෙසු ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ද මාත්‍රා දෙකකින් සමන්විතය. 

පළමු මාත්‍රාව ලබා ගෙන දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට පෙර වයිරසය ආසාදනය වීමේ අවධානමක් පවතී. 

එහෙයින් පළමු මාත්‍රාව ලබා ගන්නේ නම්, දෙවැනි මාත්‍රාව ලබා ගන්නා තෙක් හැකිතාක් සමාජ ආශ්‍රය අඩු කිරීම සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනවල දැක්වෙයි. 

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom