මහාද්වීප දෙකක, කිලෝ මීටර් දහස් ගණනක් දුරින්, පිහිටි රටවල් දෙකක මැතිවරණ කෙරෙහි, මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමු වී අවසන්ය. මේ රටවල් දෙක ඇමෙරිකා එක්සත් ජනපදය සහ ලොව එකම යුදෙව් රාජ්යය වන ඊශ්රායලයයි. ඇමෙරිකාවේ සහ ඊශ්රායලයේ මැතිවරණ ප්රතිඵල නිකුත් වන්නේ එකම දිනයකය. මැතිවරණ ප්රතිඵල නිකුත් වන දිනය එකම දිනයක් වීම අහම්ඹෙන් සිදුවූවකි. ඒත් එය දෛවෝපගතය. දෙරටේ ඡන්ද ප්රතිඵල අනුව, ලෝකයේ ගමන් මග මුළුමනින්ම වෙනස් වනු ඇත. එය ගෝලීය ආරක්ෂාව සහ ලෝක ආර්ථිකය කෙරෙහි සෘජුවම බලපානු නිසැකය.
යුදෙව් ඊශ්රායලයේ මහ මැතිවරණය පැවැත්වූයේ පෙරේදා (27) ය. ඒ, ඊශ්රායල පාර්ලිමේන්තුව හෙවත් සෙනට් සභාවට නියෝජිතයන් තෝරා ගැනීමටය. ඊශ්රායල ආග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු මැතිවරණයට ඉදිරිපත් වූයේ දිගටම බලයේ රැඳී සිටීමේ අපේකෂාවෙනි. ඇමෙරිකාවේ පැවැත්වෙන්නේ මධ්යවාර මැතිවරණයයි. ඒ, ලබන නොවැම්බර් 3 වැනිදාය. මෙහිදී සිදුවන්නේ ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්රස් මණ්ඩලයට නියෝජිත මන්ත්රීවරුන් සහ සෙනට් මන්ත්රීවරුන් තෝරා ගැනීමය.
වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ධුරය වෙනස් වීමක් සිදු නොවෙයි. ඒත්, මෙම මධ්යවාර මැතිවරණය ට්රම්ප්ට අතිශය වැදගත්ය. ට්රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. ඇමෙරිකන් කොංග්රසයේ, නියෝජිත මන්ත්රී මණ්ඩලයේ මෙන්ම සෙනෙට් මණ්ඩලයේ ද බහුතර බලය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂය සතුවය. මධ්යවාර මැතිවරණයෙන් ප්රතිවාදී ඩිමොක්රටික් පක්ෂයට බහුතරය ලැබුණොත්, අණ පනත් සම්මත කර ගැනීමේ දී මෙන්ම, අභිමතය පරිදි තීන්දු තීරණ ගැනීමේ දී, ට්රම්ප්ට බාධාවක් වනු ඇත. සරලව කීවොත්, තමන්ට රිසි පරිදි වෙනත් රටක් සමග යුද්ධයකට යෑම ට්රම්ප්ට කළ හැකි වන්නේ ද නැත.
ට්රම්ප්ගේ සමීපතම මිතුරා වන්නේ ඊශ්රායල අග්රාමාත්ය නෙදන්යාහුය. පසුගිය පෙබරවාරි 28 වැනිදා ට්රම්ප්ගේ අණ පරිදි ඇමෙරිකාව ඉරානයට පහර දුන්නේ ද ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු සමග හවුලේය. දිගටම බලයේ රැඳී සිටීමට තමන්ට බලය ලැබුණොත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමග එක් වී, ලෝකයට ත්රස්තවාදය පතුරුවන ඉරානයට එරෙහිව යුද්ධය යළි ආරම්භ කරන බවත්, ඉරාන මුළුමනින්ම විනාශ කර එය අවසන් කරන බවත් නෙදන්යාහු පවසා ඇත.
ඊශ්රායල මහ මැතිවරණයේ නිල ප්රතිඵලයත්, ඇමෙරිකන් මධ්යවාර මැතිවරණයේ නිල ප්රතිඵලයත් නිකුත් කෙරනු ඇත්තේ නොවැම්බර් 4 වැනිදාය.
පෙරේදා (27) පැවැත්වූයේ ඊශ්රායල ඉතිහාසයේ වඩාත්ම තීරණාත්මක මහ මැතිවරණය යැයි කීම නිවැරදිය. නෙවැම්බර් 4 වැනිදා නිල ප්රතිඵල නිකුත් වීමට පෙර, නෙදන්යාහුට ජය හිමිවේවිද? නැද්ද අපට දැන ගැනීමට හැකිවනු ඇත.
2023 ඔක්තෝබර් 7 වැනිදා ඊශ්රායලයට හමාස් ප්රහාරයෙන් පසු, ඊශ්රායලයේ පැවැත් වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය මෙයයි. එපමණක් නොව, කලාපීය අර්බුද රැසක් මැද පැවැත්වුණු මැතිවරණයක් වන්නේ මෙයයි. ඊශ්රායලයේ වැඩිම කාලයක් අගමැති ධුරය දැරූ බෙන්ජමින් නෙතන්යාහු, අන්ත දක්ෂිනාංශික සහ අන්තවාදී අදහස් ඇති ‘ඕතඩොක්ස් පක්ෂ’ එක්කර ගනිමින් පිහිටුවූ ආණ්ඩුව නැවත බලයට ගෙන ඒමට උත්සාහ ගනී.
යළි බලය ඉල්ල බීබී
1976 ජූලි 4 වැනිදා උගන්ඩාවේ, එන්ටෙබේ ගුවන්තොටුපළේ දී ගුවන් යානයක් පැහැර ගැනීමට ලක්විය. ප්රාණ ඇපයේ සිටි මගීන් බේරා ගැනීමේ ත්රාසජනක මෙන්ම අවදානම් මෙහෙයුමට නායකත්වය දුන් ඊශ්රායල විශේෂ හමුදා නිලධාරියා, එම මෙහෙයුම වෙනුවෙන් ජීවිතය පූජා කළේය. ඔහුගේ නම යෝනි නෙදන්යාහුය. බෙන්ජමින් නෙදන්යාහු යනු යෝනිගේ බාල සොහොයුරාය.
වසර 19 ක් තිසේ ඊශ්රායලයේ බලය හොබවන, නෙදන්යාහු හෙවත් ‘බීබී’, උපත ලැබුවේ, 1949 ඔක්තෝබර් 21 වැනිදා ටෙල් අවිව් නගරයේදීය. නෙතන්යාහු, උපත ලැබුවේ යුදෙව් ඊශ්රායලය බිහිවී වසරකට පසුවය. ඒ අනුව, ඊශ්රායල රාජ්යය බිහිවී වසරකට පසුව උපත ලැබූ ප්රථම අගමැතිවරයා වන්නේ ද බෙන්ජමින් නෙදන්යාහු ය. නෙදන්යාහුගේ පියා ප්රකට ඉතිහාසඥයෙකි. ඔහු මහාචාර්ය බෙන්සියන් නෙතන්යාහුය. පියාගේ රැකියා කටයුතු නිසා නෙතන්යාහු ඔහුගේ යොවුන් විය ගත කළේ ඇමෙරිකාවේය.
1967 වසරේ දී ඊශ්රායලයට පැමිණි නෙදන්යාහු, ඊශ්රායලය හමුදාවේ අති විශිෂ්ට කමාන්ඩෝ ඒකකය වන ‘සායෙරෙට් මට්කාල්’ බලකායට බැදුණි. 1972 වසරේ දී හමාස් සහ පලස්තීන ත්රස්ත කණ්ඩායම් විසින් පැහැරගන්නා ලද සාබේනා ගුවන් යානයේ මගීන් බේරාගැනීමේ මෙහෙයුමට නෙදන්යාහු සම්බන්ධ විය. එම මෙහෙයුමේ දී ඔහු බරපතල ලෙස තුවාල ලැබීය.
ඉන්පසු යළිත් වරක් ඇමෙරිකාවට ගිය බෙන්ජමින් නෙදන්යාහු, මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයෙන් (එම්.අයි.ටී) වාස්තු විද්යාව සහ කළමනාකරණය පිළිබඳ උපාධි ලබා ගත්තේය. පසුව ඔහු බොස්ටන් නගරයේ ප්රමුඛ උපදේශන සමාගමක සේවය කළේය. නෙදන්යාහුට ඔහුගේ වැඩිමල් සොහොයුරා අහිමි වූයේ 1976 දීය. එය නෙදන්යාහුගේ ජීවිතය වෙනස් කළේය.
1984 සිට 1988 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්රායල තානාපතිවරයා ලෙස කටයුතු කළ නෙතන්යාහු, ඇමෙරිකානු රූපවාහිනී නාළිකාවල නිතර පෙනී සිටිමින්, චතුර ලෙස ඉංග්රීසි කතා කරන්න විය. ඔහු ජාත්යන්තරය හමුවේ, ඊශ්රායලයේ ප්රධානතම රාජ්ය තාන්ත්රික හඬ විය.
1993 දී දක්ෂිණාංශික මතධාරී ලිකුඩ් පක්ෂයේ නායකත්වයට පත්විය. 1996 දී ඊශ්රායල ඉතිහාසයේ ළාබාලතම අගමැතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්වීම නෙදන්යාහුගේ දේශපාලන ගමනේ කැපී පෙනෙන සිදුවීම්ය. ඒ වනවිට බෙන්ජමින් නෙදන්යාහුගේ වයස අවුරුදු 46 කි. 1999 දී ඒහුඩ් බරක් හමුවේ පරාජය වුවද, 2003-2005 කාලයේ මුදල් ඇමති ලෙස කටයුතු කරමින් ඊශ්රායල ආර්ථිකයේ ප්රබල සුවිශේෂී ප්රතිසංස්කරණ රැසක් සිදුකිරීම.
2009 දී නැවත අගමැති ධුරයට පත්වී, අඛණ්ඩව වසර 12ක් ඊශ්රායලයට නායකත්වය දුන්නේය. නෙදන්යාහුගේ ආධාරකරුවන්, නෙදන්යාහු හඳුන්වන්නේ ‘මිස්ටර් සෙකියුරිටි’ යනුවෙනි. 2020 දී, ඇමෙරිකා ජනාධිපති ඩෙනල්ඩ් ට්රම්ප්ගේ මැදිහත් වීමෙන් අත්සන් කරන ලද ඒබ්රහම් ගිවිසුම් හරහා, එක්සත් අරාබි එමීර් රාජ්යය, බහරේනය ඇතුළු අරාබි රටවල් කිහිපයක් සමඟ රාජ්ය තාන්ත්රික සබඳතා ගොඩනගා ගැනීමට සමත් වීම නෙදන්යාහුගේ පාලන සමයේ විශාලතම රාජ්ය තාන්ත්රික ජයග්රහණයක් ලෙස සැලකිය හැක.
2019 වසරේ දී, අල්ලස් ගැනීම්, වංචා සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පවරනු ලැබූ අතර, ඔහු එම සියලු චෝදනා දැඩි ලෙස ප්රතික්ෂේප කරයි. 2021 දී බලය අහිමි වුවත්, 2022 දෙසැම්බරයේදී යළිත් වරක් අග්රාමාත්ය ධුරයට පත්විය. 2023 වසරේ දී අධිකරණයේ බලතල සීමා කිරීම සඳහා නෙදන්යාහුගේ රජය ගෙන ආ පනත් කෙටුම්පත් නිසා ඊශ්රායලය පුරා ලක්ෂ ගණනින් ජනතාව වීදි බසිමින් මාස ගණනාවක් විරෝධතා පැවැත්වූහ. එයින් කිසිදු ඵලක් නොවිණි. ජනතා විරෝධය, 2023 ඔක්තෝබර් 7 වැනි දින හමාස් ප්රහාරයෙන් පසු වෙනස් විය.
2023 ඔක්තෝබර් 7 වැනි දින හමාස් ත්රස්තවාදීන්, දකුණු ඊශ්රායලයට කඩා වැදී පහර දී, ඊශ්රායල වැසියන් පැහැර ගැනීවේ සිද්ධිය, ලෙබනනය සහ ඉරානය දක්වා ගැටුමක් තෙක් දුර දිග ගියේය. නෙදන්යාහු, ට්රම්ප් සමග එක් වී ඉරානයට පහර දුන්නේ ද එහි දිගුවක් ලෙසය. ගාසා තීරයේ පලස්තීනුවන් ඝාතනය කරමින් යුද අපරාධ සිදු කරනවා යැයි චෝදනා කරමින්, 2024 නොවැම්බර්යේදී ජාත්යන්තර අපරාධ අධිකරණය නෙතන්යාහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් පවා නිකුත් කළේය.
බීබීට අභියෝග කරන ගාඩි
ඊශ්රායල මහ මැතිවරළණයේ දී විපක්ෂ සන්ධානය නියෝජනය කරමින්, ‘බීබී’ ට අභියෝගයක් වී සිටින්නේ, ගාඩි අයිසන්කොට්ය. දේශපාලන විශ්ලේෂකයන්, බීබීගේ ප්රධාන ප්රතිවාදියා ලෙස නම් කර ඇත්තේ ගාඩිය. 1960 මැයි 19 වැනිදා උතුරු ඊශ්රායලයේ ටයිබීරියාස් නගරයේ උපන් ගාඩි අයිසන්කොට්ගේ මාපියෝ, 1950 දශකයේ, මොරොක්කෝවේ සිට ඊශ්රායලයට සංක්රමණය වූ යුදෙව් යුවලකි. දරුවන් සිවු දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ගාඩි අයිසන්කොට්ය. පියා තඹ පතල්කරුවකු ලෙස රැකියාව කළේය.
ගාඩි අයිසන්කොට් ද කුඩා කාලයේ පියාට සහාය වෙමින්, තඹ පතල්වල සේවය කර ඇත. 1978 දී, එනම් ගාඩි අයිසන්කොට්ට අවුරුදු 18 ක් වෙද්දී, ඔහු ඊශ්රායල හමුදාවට බැදුණේ, ප්රහාරක ගුවන් නියමුවකු වීමේ අරමුණින්ය. ඒත් එය අසාර්ථක විය.
ගාඩි, ඊශ්රායල හමුදාවේ පාබල අංශය (ගොලානි බළකාය) ට අනුයුක්ත වූයේ ඉන්පසුවය.
1997 වසරේ දී ගොලානි බළකායේ අණදෙන නිලධාරියා ලෙස ගාඩි උසස් විය. එදා ඊශ්රායලයේ අග්රාමාත්යවරුන් වූ එහුඩ් බරක් සහ ඒරියල් ෂැරොන් යන දෙදෙනාගේම හමුදා ලේකම්වරයා ලෙස සේවය කටයුතු කළේය. හමුදා සේවය අතරතුරදී, ටෙල් අවිව් විශ්ව විහ්ව විද්යාලයෙන් ඉතිහාසය පිළිබඳ උපාධියක් ලබා ගැනීම ගත්තේය. 2015 සිට 2019 දක්වා ඊශ්රායල ආරක්ෂක හමුදාවේ ප්රධානි ලෙස ද කටයුතු කළේය. මෙහිදී කිව යුතු කාරණාවක් ඇත. එනම්, අද ගාඩිගේ දේශපාලන ප්රතිවාදියා බවට පත්වුණු නෙදන්යාහු විසින් එදා ගාඩි අයිසන්කොට්, ඊශ්රායල හමුදාවේ ඉහළම ධුරයට පත් කිරීමය.
හමුදා සේවයෙන් විශ්රාම යෑමෙන් පසු, 2022 අගෝස්තු මාසයේ, බෙනී ගාන්ට්ස්ගේ ජාතික එකමුතුව පක්ෂය හරහා ගාඩි දේශපාලනයට පිවිසියේය.
2023 ඔක්තෝබර් 7 වැනිදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඊශ්රායලයට කඩා වැදී සිදු කළ ම්ලේච්ඡ ප්රහාරය සහ පැහැර ගැනීම් ගාඩි අයිසන්කොට්ගේ ජීවිතය සඳහටම වෙනස් කළේය. එම හමාස් ප්රහාරයෙන්, පසු ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහුගේ අණ පරිදි ඊශ්රායලය ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත දිගට හරහට පහර දෙන්න විය.
ඊශ්රායලය යුද්ධයට ගියේ, යුද කැබිනට් මණ්ඩලයක් පිහිටුවා එමගින් ලබා දුන් තීන්දු තීරණ අනුව ක්රියා කරමිනි. මෙම යුද කැබිනට් මණ්ඩලයේ ප්රධාන සාමාජිකයකු බවට පත් වූයේ ගාඩිය. 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් පහර දී, පැහැරගෙන ගිය ප්රාණ ඇපකරුවන් සොයමින්, ඊශ්රායල හමුදා පුළුල් මෙහෙයුම් ඇරැඹීය. එම මෙහෙයුම්වලට සම්බන්ධ වුණු එක් තරුණ සෙබළකු වූයේ ගාඩිගේ 25 හැවිරිදි පුත්රයා ගාල්ය. ඉන්පසු උතුරු ගාසා තීරයේ ජබාලියා ප්රදේශයේ ප්රාණ ඇපකරුවන් සෙවීමේ මෙහෙයුමකදී, පුපුරණ ද්රව්ය උගුලකට හසුව ගාල් ට දිවි අහිමි විය.
යුද කැබිනට් මණ්ඩලයේ ඉහළ සාමාජිකයකු වී, රට වෙනුවෙන් ගන්නා තීන්දු තීරණවග කොටස්කරුවකු වී සිටියදී, තම පුත්රයා යුද්ධයෙන් අහිමි වීම පියකුට දරාගත නොහැකි වේදනාවකි. ඒත්, පුතාගේ අවමංගල්යයෙන් දින කිහිපයක් ඇතුළත ඔහු නැවතත් රාජකාරී රැස්වීම් වෙත පැමිණියේය. පසුව ඔහු සමාජ මාධය ඔස්සේ මේ අයුරින් සටහනක් ද පළ කළේය. ‘ගාල් ඔහුගේ ජීවිතය දුන්නා රට වෙනුවෙන්. ඒ කැප කිරීම අපතේ යන්න මා ඉඩ දෙන්නේ නැහැ’ යනු එම සටහනය.
හමාස් සටන්කාමීන් සමග යුද්ධය දිනෙන් දින ඔඩුදුවද්දී, හමාස් සටන්කාමීන්ගේ ග්රහණයේ ඉතිරිවුණු ප්රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට සහ ගාසාවේ අනාගතය පිළිබඳව පැහැදිලි සැලැස්මක් අග්රාමාත්ය නෙදන්යාහුට නොමැති බව පවසමින්, 2024 ජූනි මාසයේදී ගාඩි, බෙනී ගාන්ට්ස් සමඟ ආණ්ඩුවෙන් ඉවත් විය. පසුගිය වසරේ සැප්තැම්බර් 16 වැනිදා ගාඩි, ‘යාෂර්’ නමින් තමන්ගේම නව දේශපාලන පක්ෂයක් ආරම්භ කළේය. හීබෲ බසින් එහි අරුත අවංක යන්නය. තම පක්ෂයට මෙම නම යෙදීම සඳහා ඔහුට ආභාෂය ලැබී තිබුණේ, නිදහස ලබා ආපසු පැමිණි ඊශ්රායල ප්රාණ ඇපකරුවකු වූ එලි ෂාරබී කී වදන් යැයැ පැවැසෙයි.
එලි ෂාරබී පවසා ඇත්තේ මෙයයි. “මේ ප්රශ්නය (ගාසා සහ හමාස් අර්බුදය) විසඳන්න දකුණටත් බැහැ. වමටත් බැහැ. යුත්තේ මැද මාවතේ පමණයි.”
ඔක්තෝබර් 7 ප්රහාරය සහ ඊට අදාළ සිදුවීම් පිළිබඳ ස්වාධීන රාජ්ය පරීක්ෂණයක් පැවැත්වීම, රාජ්ය ආයතන ශක්තිමත් කිරීම සහ ජාතික එකමුතුකම සම්බන්ධයෙන් නව ප්රතිපත්ති යනු ගාඩි සහ ඔහුගේ ‘යාෂර්’ පක්ෂයේ දේශපාලන පොරන්දු වෙයි. ආසන 120 කින් සමන්විත ඊශ්රායල පාර්ලිමේන්තුවේ (නෙසට් සභාව) අභිනවයෙන් පිහිටුවන ලද ගාඩිගේ ‘යාෂර්’ පක්ෂයට ආසන 20 ක් හෝ 23 ක් දිනා ගැනීමට හැකිවේවි යැයි පුරෝකතනය කර ඇත.
මැතිවරණයට පෙර සිදු කළ ජනමත සමීක්ෂණ අනුව, ගාඩි අයිසන්කොට්ට සියයට 49 ක ප්රතිශතයක් හිමිවනු ඇති බවත්, බීබීට හිමිවනු ඇත්තේ සියයට 41 ක ප්රතිශතයක් බවත් පැවැසෙයි. මෙම මැතිවරණයෙන් ගාඩි ජයග්රහණය කළහොත්, එය ඊශ්රායල ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත. ඊට හේතුව, ඊශ්රායල ඉතිහාසයේ කිසිදු දිනක මිස්රා (මැදපෙරදිග සහ උතුරු අප්රිකා සම්භවයක් සහිත යුදෙවවන්) අගමැතිවරයකු බිහි වී නොමැති බැවිනි.
ලුසිත ජයමාන්න
BBC ඇසුරිනි

