සුළි කුණාටුව, ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශයට කඩා වැදුණේ මහ වැසි සහ තද සුළං ද සමගය. ‘ඔර්නබ්’ සුළි කුණාටුව, ‘ඔර්නබ්’ යන නමින් නම් කළේ, ලෝක කාලගුණ විද්යා සංවිධානයේ උතුරු ඉන්දීය සාගර කලාපීය නාම ලැයිස්තුවට අනුවය. ‘ඔර්නබ්’ යනු බංග්ලාදේශ වදනකි. ‘ඔර්නබ්’ යන්නෙහි අරුත, ‘සාගරය’ යන්නය.
පසුගිය 2025 නොවැම්බර් මස අවසානයේ උතුරු ඉන්දීය සාගර ප්රදේශයේ (බෙංගාල බොක්ක ආශ්රිතව) හටගත් ඉතා දරුණු විනාශකාරී සුළි කුණාටුවක් අප රටට බලපෑම් කළේය. ඒ, ‘දිට්වා’ සුළි කුණාටුවය. මෑත ඉතිහාසයේ ශ්රී ලංකාවට දැඩිම බලපෑමක් එල්ල කළ විනාශකාරී නිවර්තන සුළි කුණාටුවක් ලෙස මෙය සැලකෙයි.
2025 නොවැම්බර් 28 වන දින ශ්රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට හරහා ‘දිට්වා’ අප රටට කඩා වැදුණි. ‘දිට්වා’ දිවයින හරහා සහ අවටින් ගමන් කරමින් දැවැන්ත වර්ෂාපතනයක් සහ සුළං තත්වයක් ඇති කළේය.
දශක කිහිපයකට පසු ශ්රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආපදා තත්ත්වය නිර්මාණය කළේ ද ‘දිට්වා’ය. මිලියන 1.5 කට අධික ජනතාවක් පීඩාවට පත් විය. ගම්පහ, කොළඹ, පුත්තලම, මන්නාරම, මෙන්ම මධ්යම කඳුකරයේ නායයෑම් හේතුවෙන් කෑගල්ල, මහනුවර, බදුල්ල සහ මාතලේ වැනි ප්රදේශ දැඩි ලෙස අඩපණ විය. ජීවිත හා දේපළ හානි සිදුවිය. ‘දිට්වා’ සුළි කුණාටුව, ‘දිට්වා’ ලෙස කෙරුණේ, ලෝක කාලගුණ විද්යා සංවිධානයේ කලාපීය ලැයිස්තුවට අනුවය. ‘දිට්වා’ යන නම යේමනය විසින් යෝජනා කරන ලද්දකි.
‘දිට්වා’ යනු, යේමනයට අයත් සොකෝත්රා දූපතේ පිහිටි ප්රසිද්ධ ස්වාභාවික කලපුවකි.
සුළි කුණාටු සඳහා නම් තැබීම, ආවට ගියාට සිදුවන්නක් නොවෙයි. ඊට විද්යාත්මක පසුබිමක් ඇත. සුළි කුණාටු සඳහා නම් භාවිත කිරීම, අතීතයට දිව යයි. මුල් කාලයේ, සුළි කුණාටු හැඳින්වීම සිදු වූයේ ඒම සුළි කුණාටු හටගත් දිනය, වර්ෂය හෝ ආගමික උත්සව ආශ්රිතවය.
උදාහරණයක් ලෙස, 1825 වසරේදී කැරිබියානු දූපත් වෙත කඩා වැදුණු දරුණු කුණාටුවක් හැඳින්වුණේ ‘සැන්ටා ඇනා’ කුණාටුව ලෙසය; ඊට හේතුව, එය ‘සැන්ටා ඇනා’ සාන්තුවරයාගේ මංගල දිනයේදී කඩා වැදුණු බැවිනි.
විද්යාත්මකව සහ ක්රමානුකූලව කුණාටු නම් කිරීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ඕස්ට්රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්රාන්තයේ හිටපු කාලගුණ විද්යාඥයෙකු වන ක්ලෙමන්ට් රැග්ස් ය.
19 වන සියවසේ අගභාගයේදී ක්ලෙමන්ට් රැග්ස් විසින් උතුරු ඕස්ට්රේලියා මුහුදු තීරයේ හට ගන්නා සුළි කුණාටු සඳහා දේශපාලනඥයන්ගේ නම්, පුරාණ ග්රීක සහ රෝම පුරාවෘත්තවල එන දේවතාවුන්ගේ නම් මෙන්ම කාන්තා නම් ද යොදා ගැනීම සිදු කළේය.
දෙවන ලෝක යුද්ධ සමයේදී, පැසිෆික් සාගර ප්රදේශයේ මෙහෙයුම්වල නිරත වූ ඇමරිකා ගුවන් හමුදා සහ නාවික හමුදා නිලධාරීන් විසින් තමන්ගේ භාර්යාවන්ගේ හෝ පෙම්වතියන්ගේ නම් කුණාටු සඳහා භාවිත කිරීම පුරුද්දක් කරගන්නා ලදී.
නිල වශයෙන් කාලගුණ විද්යා අංශ මගින් කාන්තා නම් පමණක් භාවිත කිරීමේ ක්රමවේදයක් 1953 දී ඇමරිකා එක්සත් ජනපදයේදී හඳුන්වා දෙන ලදී. පසුව, ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම්ව නම් පත්රිකා සකස් කිරීම අසාධාරණ බවට විරෝධතා මතුවීමත් සමග, (මෙම විරෝධය ඇතිවූයේ ද කාන්තාවන් නිසාම විය හැකිය.) 1979 වසරේ සිට ලෝක කාලගුණ විද්යා සංවිධානය විසින් ගැහැනු නම් පමණක් නොව, පිරිමි නම් ද සුළි කුණාටුවලට යෙදවීමේ නව ක්රමයක් ක්රියාත්මක කළේය.
ඒත් අද වනවිට, එය වෙනස් වී ඇත. අද වනවිට ලොව පුරා හටගන්නා නිවර්තන සුළි කුණාටු පාලනය සහ නම් කිරීම සිදු කරනු ලබන්නේ, ලෝක කාලගුණ විද්යා සංවිධානය (World Meteorological Organization - WMO) යටතේ ඇති කලාපීය කාලගුණ විද්යා මධ්යස්ථාන (RSMCs) සහ නිවර්තන සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීමේ මධ්යස්ථාන විසිනි.
ලෝකය පුරා ප්රධාන සාගර ද්රෝණි කිහිපයක් පවතින අතර, ඉන් එකක් වන්නේ අප ශ්රී ලංකාව ද අයත් කලාපය වන උතුරු ඉන්දීය සාගර කලාපයයි. මෙම කලාපයට අයත් වන රටවල් විසින් සාමූහිකව එකඟ වී නම් ලැයිස්තුවක් සකස් කරනු ලබයි. අපේ මෙම කලාපයේ සුළි කුණාටු සඳහා නම් දැමීමේ ක්රමවේදය මෙසේය.
ශ්රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, මියන්මාරය, ඕමානය, පාකිස්තානය සහ තායිලන්තය යන රටවල් අට මූලිකව එකතු වී උතුරු ඉන්දියානු සාගර කලාපයේ සුළි කුණාටු සඳහා නම් සැපයීම ආරම්භ කරන ලදී. පසුව 2018 වසරේදී තවත් රටවල් කිහිපයක් (ඉරානය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්යය සහ යේමනය) මෙම සංවිධානයට එකතු වීමත් සමඟ වර්තමානයේ සාමාජික රටවල් 13 ක් මෙම ක්රියාවලියට දායක වේ.
සාමාජික රටවල් 13 විසින් නම් ලැයිස්තුවක් කලාපීය මධ්යස්ථානයට ලබා දෙයි. ඉංග්රීසි වර්ණමාලාවේ අකුරු අනුපිළිවෙලට අනුව (රටවල නම්වල ඉංග්රීසි අක්ෂර අනුව) මෙම නම් වරින් වර භාවිතයට ගැනෙයි.
එක් වරක් කුණාටුවකට තබන නමක් නැවත කිසි දිනක භාවිත කරනු නොලැබේ.
විශේෂයෙන්ම යම් කුණාටුවක් අතිශයින් විනාශකාරී වී බොහෝ ජීවිත හා දේපළ හානි සිදු කළහොත්, එම නම සදහටම ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබේ. තෝරාගනු ලබන නම් ආගමික, සංස්කෘතික හෝ දේශපාලනික සංවේදීතාවන්ගෙන් තොර විය යුතුය.
එමෙන්ම කලාපයේ ජනතාවට පහසුවෙන් උච්චාරණය කළ හැකි වීම ද වැදගත්ය.
සුළි කුණාටු නාමකරණය ඉතා වැදගත්ය. එකම කාල සීමාවකදී මුහුදේ විවිධ ප්රදේශවල බහු සුළි කුණාටු වර්ධනය විය හැක. එවැනි අවස්ථාවක අංක හෝ ඛණ්ඩාංක (Coordinates) පමණක් භාවිත කිරීමෙන් ජනතාව අතර සහ මාධ්ය තුළ ව්යාකූලත්වයක් ඇති විය හැක.
නමක් තිබීම නිසා අනතුරු ඇඟවීම් පැහැදිලි වේ. ඒ නිසා නම් තැබීම වැදගත්ය. එපමණක් නොව, කාලගුණ විද්යාඥයන්ට, පර්යේෂකයන්ට සහ ගලවා ගැනීමේ සේවාවන්ට එක් කුණාටුවක් ගැන අනෙක් කුණාටුවෙන් වෙන් කර හඳුනා ගැනීමට නමක් තිබීම ඉතා වැදගත්ය. තාක්ෂණික යෙදුම්වලට වඩා සරල නමක් ජනතාවගේ මතකයේ පහසුවෙන් රැඳෙන අතර, එමඟින් කාලගුණ අනතුරු ඇඟවීම් වෙත දැඩි අවධානයක් යොමු කිරීමට ජනතාව පෙළඹේ.
සුළි කුණාටුවලට නම් තැබීම යනු ස්වභාවධර්මයේ රෞද්ර ක්රියාකාරකම්වලට මානව ස්පර්ශයක් ලබා දීමක් වැනි යැයි කීවොත් එය ද වැරදි නැත. එය ලෝකයේ විවිධ රටවල් එකම වහලක් යටට වී, විපත්වලින් මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා ගෙන යන සාමූහික සහයෝගීතාවේ කදිම නිදසුනකි.
කාලගුණය වෙනස් වෙමින්, අනාගතයේදී විපරිත කාලගුණ තත්වයන් හේතුවෙන් ‘දිට්වා’ පරයන බිහිසුණු සුළි කුණාටු හට ගනු ඇත. එසේ වුවත්, විද්යාවේ සහ කලාපීය සහයෝගීතාවේ බලයෙන් ඒවාට මුහුණ දීමට මෙම නම් තැබීමේ ක්රමවේදය පිටුවහලක් වනු නොඅනුමානය.
World Meteorological
Organization ඇසුරිනි
