ඉන්දීය ගොවීන්ගේ ගිණුම් අත්හිටුවයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 2, 2021

ඉන්දීය ගොවීන්ගේ ගිණුම් අත්හිටුවයි

ඉන්දීය රජයේ ඉල්ලීම මත ට්විටර් ගිණුම් සිය ගණනක් අවහිර කළ බව ට්විටර් සමාජ මාධ්‍ය ජාල සමාගම සඳහන් කරයි. 

ඒ අතර ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති සමාගම් සහ නවදිල්ලි අගනුවර දැවැන්ත විරෝධතා සංවිධානය කිරීමට සම්බන්ධ ගොවීන්ගේ ගිණුම් ද වන බව පැවසෙයි.

 මහජන සාමයට තර්ජනයක් වන ට්විටර් ගිණුම් 250කට වැඩි සංඛ්‍යාවක් තහනම් කරන්නැයි ඉන්දීය රජය අදාළ සමාගමට නියෝග කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට හඳුන්වා දී තිබෙන නව නීති රෙගුලාසිවලට විරෝධය පළ කරමින් ඉන්දියාවේ ගොවීහු දස දහස් ගණනක් ඉකුත් වසරේ නොවැම්බර් 26 වැනිදා නවදිල්ලි නුවර ආසන්නයේ විරෝධතාවල නියැළෙති. 

පසුගිය සතියේදී මෙම විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත් අතර ඒ අතරවාරයේදී ගොවීන් පිරිසක් ද ප්‍රවෘත්ති සඟරාවක මාධ්‍යවේදියකු ද අත්අඩංගුවට පත්වූ බව නවදිල්ලි පොලිසිය සඳහන් කළේය. 

අවහිර කරන ලද ට්විටර් ගිණුම් අතර ගොවී ක්‍රියාකාරීන්, ප්‍රවෘත්ති සඟරා, මාධ්‍යවේදීන්, විපක්ෂ ක්‍රියාකාරීන්, කම්කරු හා සිවිල් අයිතිවාසිකම් සංවිධාන මෙන්ම නළුවකු සහ ආර්ථික විද්‍යාඥයකු ගේ ට්විටර් ගිණුමක් ද වන බව පැවැසෙයි.

ට්විටර් සමාගම මේ ආකාරයෙන් ගිණුම් සහ ඒවායේ අන්තර්ගත හෝ ට්විටර් පණිවුඩ අවහිර කිරීමට පියවර ගන්නා බවත් යම් රටක් නිශ්චිත කරුණු කාරණා ඇති ව නිල වශයෙන් ඉල්ලීමක් කළහොත් ඒවා ද සැලකිල්ලට ගන්නා බව ට්විටර් සමාගමේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය. 

දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින මෙම විරෝධතාවලට සහාය දැක්වීම හැර මේ ට්විටර් ගිණුම් අවහිර වීමට ලක්වූ කිසිවකු වෙනත් වරදක් කර නොමැති බව මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගොවීන් නියෝජනය කරන ප්‍රකාශිකාවක් කීවා ය. 

ගෝලීය මාධ්‍ය නිරීක්ෂණ සංවිධානයක් වන ‘සීමා විරහිත වාර්තාකරුවන්ගේ’ සංවිධානය ඉන්දීය රජයේ මෙම ක්‍රියාමාර්ගයට දැඩි විරෝධය පළ කර තිබේ. ‘ට්විටර් ගිණුම් අත්හිටුවීමට ගත් ක්‍රියාමාර්ගය දරුණු ආකාරයේ වාරණයක්’ යැයි එම සංවිධානය සඳහන් කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom