රැස්වීම්වලට සහභාගී කරගන්නවා; හැබැයි කතා බෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 20, 2021

රැස්වීම්වලට සහභාගී කරගන්නවා; හැබැයි කතා බෑ

නිහඬව සිටීමට හැකි නම්, මන්ත්‍රීවරුන් පමණක් සහභාගී වන රජයේ සහ පක්ෂයේ වැදගත් සාකච්ඡා සඳහා මන්ත්‍රිනීන් සම්බන්ධ කර ගැනීමට ජපානයේ ‘පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ තීරණය කර තිබේ. 

ජපන් රජයේ වැදගත් සාකච්ඡා සඳහා මෙසේ අවසර ලබා දෙනු ඇතැයි පැවැසෙන්නේ, මන්ත්‍රීවරියන් පස් දෙනකුටය. 

පිරිමින්ට පමණක් සීමා වූ ජපාන පාලක පක්ෂයේ ආර්ථික සහ දේශපාලනික වශයෙන් වැදගත් තීන්දු තීරණ ගන්නා රැස්වීම්වලට ද මෙම මන්ත්‍රීවරියන් පස් දෙනාට සහභාගී විය හැකිය. 

මේ බව මාධ්‍ය හමුවේ නිවේදනය කළේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ලේකම් 82 හැවිරිදි ටොෂිහිරෝ නිකායි ය. 

එම මන්ත්‍රීවරියන් පස් දෙනාට යම් අදහස් දැක්වීමක් කිරීමට අවශ්‍ය නම්, සාකච්ඡා අවසන් වීමෙන් පසු ඒ සඳහා ඉඩ ලබා දෙන බව ද ටොෂිහිරෝ නිකායි පැහැදිලි කර තිබේ. 

පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ජපානයේ දැඩි ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ. පාලක පක්ෂය එවැනි තීරණයක් ගැනීම කාන්තාවන්ට කළ නිගරුවක් බව බොහෝ දෙනාගේ අදහසය. 

පුරුෂාධිපත්‍යයට යටවුණු ලිබරල් පක්ෂය, කාන්තාවන්ට මෙසේ ඉඩක් ලබා දීමට තීරණය කර ඇත්තේ පසුගිය දා ටෝකියෝ ඔලිම්පික් ප්‍රධානියා ලෙස කටයුතු කළේ 83 හැවිරිදි යෝෂිරෝ මෝරි ඉල්ලා අස්වීම මුල්කොට ගනිමිනි. 

‘කොවිඩ් 19’ වසංගතය හමුවේ වසරක් ප්‍රමාද වුවත් මීළඟ ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ජපානයේ ටෝකියෝ නුවරය. 

ටෝකියෝ ඔලිම්පික් ප්‍රධානියා ලෙස කටයුතු කළේ 83 හැවිරිදි යෝෂිරෝ මෝරිය. 

කාන්තාවන් විවේචනය කරමින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් හේතුවෙන් විරෝධය එල්ල වෙද්දී, ඒ ගැන සමාව ඉල්ලමින්, යෝෂිරෝ මෝරි සිය තනතුරෙන් ද ඉල්ලා අස්විය. 

‘කාන්තාවන්ගේ කතාව වැඩියි. වැඩ අඩුයි. අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලට කාන්තාවන් පත්වූවිට වැඩක් කෙරෙන්නේ නැහැ. කතාව විතරයි’ යැයි යෝෂිරෝ මෝරි කාන්තාවන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් විය. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom