ගෝලීය හැල හැප්පීම්වලට අනුගත විය යුතුයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 20, 2021

ගෝලීය හැල හැප්පීම්වලට අනුගත විය යුතුයි

ගෝලීය හැල හැප්පීම් සහ පරිවර්තන සමඟ ශ්‍රී ලංකාව වේගයෙන් අනුගත විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ දී ප්‍රකාශ කළේය. 

අපට පසුගාමී විය නොහැකි බවත් වේගයෙන් වෙනස් වන සමාජ තත්ත්ව මධ්‍යයේ වුවද අනුගත විය හැකි අධ්‍යාපනයක් සිසුන්ට ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයා කීවේය. 

එය විශ්වවිද්‍යාල සහ අනිකුත් උසස් අධ්‍යාපන ආයතනවල අවධානයට ලක්විය යුතු සහ දියුණු වියයුතු අංශයක් විය යුතු යැයි ද ජනාධිපතිවරයා පැවැසීය. 

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2020 උපාධි ප්‍රදානෝත්සවය, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු අතර එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කළේය.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කෙටි කාලයක් තුළ ඉහළ සුදුසුකම් සපුරන පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත්වීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදි සිය ප්‍රශංසාව පළ කළේය. 

වෛද්‍ය, ඉංජිනේරු, නීති වැනි විෂය ක්ෂේත්‍රවල විශිෂ්ටයන් බිහිකිරීමට සමත්වීම විශ්ව විද්‍යාලයේ ව්‍යාප්තියට හේතු වූ බව ද ජනාධිපතිවරයා කීය. 

වත්මන් ගැටලුවලට විසඳුම් සෙවිමේ දී පෞද්ගලික අංශයට රාජ්‍ය විශ්ව විද්‍යාල සහ සෙසු උසස් අධ්‍යාපන ආයතන සමග එක්ව කටයුතු කිරීමට වැඩි අවස්ථා තිබිය යුතු බවත් උපාධිධාරීන්ට නව තාක්ෂණය පිළිබඳව යම් දැනුමක් තිබිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීය. 

අවම වශයෙන් පරිගණක හැසිරවීම සඳහා අවශ්‍ය විෂය දැනුම තිබීම සාර්ථක අනාගතයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇතැයි ද ජනාධිපතිවරයා කීවේය. අධ්‍යයන ක්ෂේත්‍රය කුමක් වුවත් සියලු සිසුන්ට තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව හඳුන්වා දෙන ලෙස සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවැසීය. 

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තෝරා ගැනෙන සිසුන් සියල්ලෝම බුද්ධිමත් බවත් ඔවුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන විට තමන් කැමති විෂයක් තෝරාගැනීමේ ඌණතාවයක් පවතින්නේ නම් එය සිසුන්ගේ නොව අධ්‍යාපන පද්ධතියේ පවතින අඩුපාඩුවක් බවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වාදුන්නේ ය. 

විශ්වවිද්‍යාල මට්ටමට ළඟා වූ පසු තමන් සතුව ඇති නිපුණතා අත්පත් කර ගැනීමට සියලු සිසුන්ට පහසුකම් හා ඉඩ ප්‍රස්තා සැලසිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදි කීය. 

 පර්යේෂණ හා සංවර්ධන කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීමෙන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල ශ්‍රේණිගත කිරීම්වලට හිතකර ලෙස බලපානු ඇතැයි කී ජනාධිපතිවරයා ඉහළ සමත්කම් ඇති පිරිස් ආකර්ශනය කර ගැනීමටත්, රඳවා ගැනීමටත් විශ්වවිද්‍යාල එකිනෙක සමග තරග කළ යුතු බව පෙන්වාදුන්නේ ය. 

එය පිඨ හෝ කාර්ය මණ්ඩලයට සීමා නොකොට ශිෂ්‍යයන්ට ද විවෘත විය යුතු බව ද ජනාධිපතිවරයා කීවේය. 

සෑම විශ්වවිද්‍යාලයකම පාලක මණ්ඩලයට, උප කුලපතිට, පීඨ සහ කාර්ය මණ්ඩලවලට ඔවුන්ගේ අධ්‍යයන වැඩසටහන් තීරණය කිරීමට, සැලසුම් කිරීමට හා කළමනාකරණයට අවශ්‍ය නිදහස තිබිය යුතු බවත් එමෙන්ම ඔවුන්ට තම ආයතන තුළ ඉගෙනීමට සුදුසු සිසු සිසුවියන් තෝරාගැනීමට ද නිදහස තිබිය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ ය. 

 සියලු දෙනා එක්ව කැප වුවහොත් ලෝකය වේගවත් වෙනස්කම් වලට භාජනය වුවද අපේ විශ්වවිද්‍යාල ගෝලීය වශයෙන් තරගකාරී ආයතන බවට පත්කර ගත හැකි බවත්, ඉන් තරුණ තරුණියන්ගේ අනාගත අභිවෘද්ධිය සලසමින් රටේ ආර්ථිකය ද ශක්තිමත් කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදි කීය. 

 ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 31 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී ආරක්ෂක අධ්‍යයන, කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ, නීති, වෛද්‍ය, ඉංජිනේරු, ප්‍රවර්ධන කළමනාකරණ, කාර්මික විද්‍යාව සහ සමාජ විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර ආවරණය කරමින් විද්‍යාර්ථීන් 1,379 දෙනකු සඳහා උපාධි පිරිනැමිණි.

ආචාර්ය උපාධිධාරීන් පස්දෙනෙක්, පශ්චාත්උපාධි ,පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරීන් 263 දෙනෙක්ද ඒ අතර වූහ. මෙම උත්සවයේදී ප්‍රථම උපාධිධාරීන් ලැබූ ගණන 1,111කි. දක්ෂතම යුද හමුදා නිලධාරියා ලෙස දෙවැනි ලුතිතන් ආර්.එම්.ටී.ඊ.පී. රත්නායක, දක්ෂතම නාවික හමුදා නිලධාරියා ලෙස ලුතිනන් වී.එස්. පලිහවඩන, දක්ෂතම ගුවන් හමුදා නිලධාරියා ලෙස පියාසර නිලධාරී ආර්.එස්.පී.ඩී. ගමගේ ජනාධිපතිවරයා අතින් සම්මාන ලැබූහ. 

ඉකුත් වසරේ (2020) අතිශූර නිලධාරියා ලෙස දෙවැනි ලුතිනන් ආර්.එම්.ටී.ඊ.පී. රත්නායක ජනාධිපතිවරයා අතින් සම්මාන ලැබීය. 

 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් එස්.කේ. පතිරණ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ජෙරාඩ් ද සිල්වා, උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් යන් මහත්වරුන්, තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, කොතලාවල විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩල ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Classified_Ad

Classified_Ad_News_Bottom