දැවැන්ත සටනක් - Godzilla vs. Kong - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 24, 2021

දැවැන්ත සටනක් - Godzilla vs. Kong

හොලිවුඩ් සිනමාලෝලීන් පුලපුලා බලා සිටි දැවැන්ත චිත්‍රපටයක් ලෙස 'ගොඩ්සිලා වර්සස් කොංග්' හැඳින්විය හැකිය. 'ගොඩ්සිලා වර්සස් කොංග්' අද (24) සිංගප්පූරුවේ තිරගතවීම් ආරම්භ කළ අතර ඉදිරි දින කීපයේ දී ලොව රටවල් රැසක තිරගතවීම් ආරම්භ කරනු ඇත. 

'ගොඩ්සිලා වර්සස් කොංග්' සිනමාහල්වල තිරගත වෙද්දී, ඊට සමගාමීව HBO Max හරහා ද මුදල් ගෙවා නැරැඹීමට වොනර් සමාගම කටයුතු යොදා ඇත. ඒ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් විවෘත වන සිනමාහල් සීමිත වීමත්, සීමිත පිරිසක් සිනමාහල්වලට ඇතුළු කර ගැනීමත් ආදී සෞඛ්‍ය නීතිරීති සැලකිල්ලට ගනිමිනි. 'ගොඩ්සිලා වර්සස් කොංග්' HBO Max හරහා විකාශය වන්නේ ලබන 31 වැනිදා සිටය. 
'ගොඩ්සිලා වර්සස් කොංග්' චිත්‍රපටය පුලපුලා බලා සිටි චිත්‍රපටයක් වීමට හේතුව, එය චිත්‍රපට මාලාවක සිවුවැනි චිත්‍රපටය නිසාය.

'ගොඩ්සිලා', 'කිංග් කොංග්' ආදී බොහෝ දෙනා ආදරය කරන දැවැන්තයන් යළි හොලිවුඩයට ගෙන ඒම වෝනර් චිත්‍රාගාරය ආරම්භ කළේ 2014 'ගොඩ්සිලා' චිත්‍රපටයෙනි. 

කිංග් කොංග් එසේත් නැතිනම් කොංග්ගේ චරිතය හඳුන්වාදීම සිදුවූයේ 2017 'කොංග්: ස්කල් අයිලන්ඩ්' චිත්‍රපටයෙනි. 

පෘථිවියේ ආධිපත්‍ය පතුරුවන දැවැන්තයන්ගේ රජා ලෙස 'ගොඩ්සිලා' කිරළු පැලඳියේ 'ගොඩ්සිලා කිංග් ඔෆ් මොන්ස්ටර්ස්' චිත්‍රපටයෙනි. මෙය තිරගත වූයේ 2019 වසරේදීය. 

'ගොඩ්සිලා වර්සස් කොංග්' යනු 'ගොඩ්සිලා කිංග් ඔෆ් මොන්ස්ටර්ස්' චිත්‍රපටයේ ඉතිරි කොටස වන අතර, 'කොංග්: ස්කල් අයිලන්ඩ්' චිත්‍රපටයේ සිදුවීම්වලින් වසර ගණනාවකට පසු සිදුවන සිදුවීම් පෙළකි. 

'කොංග්: ස්කල් අයිලන්ඩ්' චිත්‍රපටයෙන් දකින්න ලැබුණේ ගැටවර වියේ කොංග් කෙනෙකු වන බවත්, 'ගොඩ්සිලා වර්සස් කොංග්' චිත්‍රපයේ කොංග්, හොඳින් වැඩුණු, උසින් ගොඩ්සිලාට නොදෙවැනි දැවැන්තයකු බවත් 'ගොඩ්සිලා වර්සස් කොංග්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඇඩම් වින්ගාඩ් පැහැදිලි කරයි. 

 'ගොඩ්සිලා වර්සස් කොංග්' ඇඩම් වින්ගාඩ් අධ්‍යක්ෂණය කළ අති දැවැන්ත චිත්‍රපටයයි. වින්ගාඩ් දක්ෂ සිනමාකරුවකු බව ප්‍රකට වූයේ 'බ්ලෙයා විච්' සහ 'ගෙස්ට්' චිත්‍රපට හරහාය. එහෙත්, 'ගොඩ්සිලා වර්සස් කොංග්' ඒ සියලු චිත්‍රපට අභිබවා යමින්, වින්ගාඩ් හොලිවුඩයේ බොක්ස් ඔෆිස් සිනමා අධ්‍යක්ෂකවරයකු බවට පත් කරනු නිසැකය. 
ගොඩ්සිලා වර්සස් කොංග් රූගත කරද්දී...
 
'ගොඩ්සිලා වර්සස් කොංග් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම මට අභියෝගයක් වුණා. හේතුව ගොඩ්සිලා සහ කොංග් දෙන්නා සිනමා ලෝලීන්ගේ වීරයෝ දෙන්නෙක්. දෙන්නාට දෙන්නා මාරන්තික සටනක යෙදෙනවා. ගොඩ්සිලා සහ කොංග් දෙදෙනාගේ සටන සිනමාලෝලීන්ගේ බලාපොරොත්තු සුන් නොකරනු ඇතැයි විශ්වාසයි.' යැයි වින්ගාඩ්,‍ වැරිටි වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැහැදිලි කර තිබේ. 

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 මිනිත්තු 53 කි. 

'මා කැමතියි චිත්‍රපටයක් පැය දෙකකට සීමා කරන්න. ජස්ටිස් ලීග් ස්නයිඩර් කට් වගේ මගේ චිත්‍රපටය පැය 4 ක් දිග නැහැ. පැය දෙක ඇතුළත සිදුවීම් සමුදායක් දකින්න ලැබෙනවා. කතාව අපූරුවට ගොඩනැගෙනවා. ඇති තරම් සටන් ජවනිකා තිබෙනවා. මගේ විශ්වාසය චිත්‍රපටයක් පැය දෙකකට වඩා වැඩි විය යුතු නැහැ. එය නැරඹීමෙන් පසු සිනමා ලෝලීන් සහ විචාරකයන් ඒ ගැන පැය ගණන් කතා කළාට කමක් නැහැ. එයයි සිදුවිය යුත්තේ' යැයි වින්ගාඩ් එම සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කර තිබේ.

 ගොඩ්සිලාට ආදරේ කරන සිනමාලෝලීන්ට පමණක් නොව, කොංග් ට ආදරේ සිනමාලෝලීන්ට අසාධාරණයක් නොවන අයුරින් චිත්‍රපටයේ තිර රචනය සිදු කර තිබෙනවා. මේ දැවැන්තයෝ දෙන්නාගේ සටනින් එක් කෙනෙක් පරදිනවා. පසුව දෙන්නා එකතු වෙලා පොදු සතුරා පරාජය කරනවා. ඒ රොබෝ සතුරා පරාජය කිරීමේ වික්‍රමයට, දෙන්නට දෙන්නාගේ සහාය ඕනෑ වෙනවා' යැයි වින්ගාඩ් පවසයි.

'ගොඩ්සිලා වර්සස් කොංග්' චිත්‍රපටය සඳහා වැයවී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 200 කි. පසුගිය 'ගොඩ්සිලා' චිත්‍රපටවලින් හඳුනා ගැනීමට හැකිවුණු චරිත සහ අලුත් චරිත ගොඩ්සිලා වර්සස් කොංග් චිත්‍රපටයට එක් වී සිටිති. 
'ගොඩ්සිලා කිංග් ඔෆ් මොන්ස්ටර්ස්' චිත්‍රපටයට එක්වුණු ජනප්‍රිය යොවුන් නිළි මිලී බොබී බ්‍රව්න් සහ කයිල් චැන්වු චැන් ඔවුන්ගේ සුපුරුදු චරිතවලට එක් වී සිටිති. 

ඊට අමතරව, ඇලෙක්සැන්ඩර් සාස්ගාඩ්, රෙබෙකා හෝල්, ඊසා ගොන්සාලෙස්, බ්‍රයන් ටෙරී හෙන්රි සහ ඩේමියන් බයිසර් ආදී නළු නිළියන් 'ගොඩ්සිලා වර්සස් කොංග්' සඳහා අලුතින් එක් වී සිටින නළු නිළියන්ය. 

'ගොඩ්සිලා වර්සස් කොංග්' චිත්‍රපටයේ කතාවේ ගොළු දැරියක සිටී. 
දැවැන්ත කොංග් සමඟ සංඥා බසින් කතා කරමින් අදහස් හුවමාරු කර ගන්නේ මෙම දැරියයි. ජියා නමැති ඇය  ස්කල් අයිලන්ඩ් දූපතේ කතා නොකරන දැරියකි. මෙම පුංචි දැරියගේ චරිතය රඟපාන්නේ සැබැවින්ම ගොළු දැරියකි. ඇය කයිලී හොට්ල් වන අතර, 'ගොඩ්සිලා වර්සස් කොංග්' ඇගේ පළමු චිත්‍රපටයයි.

෴ ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom