සූවස් ඇළේ හිරවුණු යෝධ නැව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 26, 2021

සූවස් ඇළේ හිරවුණු යෝධ නැව

'එවර් ග්‍රීන්' නැව් සමාගමට අයත්, 'එවර් ගිවන්' නමැති භාණ්ඩ ප්‍රවාහන නැව, පසුගිය දා 23 වැනිදා සූවස් ඇළ හරහා ගමන් ආරම්භ කළේ නෙදර්ලන්තය බලා යෑමටය. සූවස් ඇළට පිවිස, යාත්‍රා කරන්න වූ මෙම යෝධ නැව, වැලි කුණාටුවකට හසුවිය.  නැව පාලනයෙන් ගිලිහී ගිය අතර, එහි ඉදිරිපස ඇළ ඉවුරේ වැලිපරවල ගැටී සිරවිය. 'එවර් ගිවන්' නෞකාව දැන් ඇත්තේ, සූවස් ඇළ හරස් කරමිනි. ඇළ දිගේ ඉහළ පහළ යන සියලු නැව්වල ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ගොස් තිබේ.
'එවර් ගිවන්' නෞකාව නිසා සූවස් ඇළේ සිරවුණු නැව් අතරේ ඉන්ධන බැරල් මිලියන 13 ක් රැගත් නැව් 10 ක් ඇත. එය බරපතල කාරණාවකි. මේ වනවිටත් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 63 කට වඩා වැඩිය. 'කොවිඩ් 19' වසංගතය මැද ලෝකය ආර්ථික මෙන්ම තෙල් අර්බුදයකට ද මුහුණ පෑමේ අවදානමක් නිර්මාණය වී ඇත. 

 සිරවුණු නැව මුදා ගැනීමේ අසීරු මෙහෙයුම මේ වනවිට ආරම්භ වී ඇත්තේ නෙදර්ලන්ත විශේෂඥයන් කණ්ඩායමකගේ මැදිහත් වීමෙනි. මේ වනවිට බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් වැලි පරය හාරා නැව ඉවත් කිරීමටත්, ටග් බෝට්ටු යොදා ගනිමින් නැව අනෙක් කෙළවරෙන් ඇදීමත් සිදුවෙයි. 

නැවේ සේවකයන් එක් වී වෙනත් භාණ්ඩ ප්‍රවාහනවලට භාණ්ඩ පැටවීම සිදු කරයි. ඒ, 'එවර් ගිවන්' නැවේ බර අඩු කිරීම සඳහාය. නැව මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කිරීමට සති කීපයක් ගතවේවි යැයි පැවැසෙයි.

මීටර් 400 ක් දිග, මීටර් 95 ක් පළල, ටොන් 2,00,000 ක් බර 'එවර් ගිවන්' නෞකාව ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් එකකි. මෙය ඉදි කර ඇත්තේ 2018 වසරේදීය. වරකට බහාලුම් 20,000 ක් පමණ රැගෙන යා හැකි මෙම නෞකාව සූවස් ඇළට පිවිසියේ, නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරය බලා යෑමටය. නෞකාව භාණ්ඩ පටවා ගනිමින් පැමිණියේ චීනයේ සිටය. 

 'එවර් ගිවන්' නෞකාව වැලි කුණාටුවකට හසුවුණු බව පැවැසුවත්, වැලි කුණාටුවට හසුවීමට පෙර නෞකාවේ විදුලි බලය විසන්ධි වී ඇතැයි ද මූලික විමර්ශන වාර්තාවක සඳහන් වී තිබේ. 
නෞකාවේ යාන්ත්‍රික දෝෂයක් හටගත් බවත් ඇන්ජින් අක්‍රිය වන්න ඇති බවත් පැවැසෙයි. 

නෞකාව පාලනයෙන් ගිලිහී, පැත්තට හැරී, වැලි පරයේ හැපෙන්න ඇත්තේ ඒ නිසාය. 'එවර් ගිවන්' නෞකාව අනතුරකට ලක්වුණු පළමු අවස්ථාව මෙය නොවෙයි. 2019 දී ජර්මනියේ හැම්බර්ග් වරායට සේන්දු වෙද්දී, නෞකාව මගී පාරුවක හැපුණි. එම අනතුරින් වරායට ද හානි විය. 

 අප්‍රිකා මහද්වීපය හා සෞදි අරාබියට මැදිව ඇති රතු මුහුදත්, තුර්කිය, ග්‍රීසිය හා ඉතාලිය වටකොටගත් මධ්‍යධරණී මුහුදත් යා කරමින් සැතපුම් 101 ක් දිගට ගලා යන, වසර 148 ක ඉතිහාසයකට උරුමකම් කියන සුප්‍රසිද්ධ සූවස් ඇළ මිනිසා අතින් නිමවුණු විශිෂ්ට නිර්මාණයක් වන සූවස් ඇළ සැලකෙයි. 

1869 වසරේ දී විවෘත කරන ලද සූවස් ඇළ හරහා තෙල්, ස්වාභාවික වායු සහ භාණ්ඩ ප්‍රවාහනය සිදුවෙයි. අද එය ඊජිප්තුවේ ඉහළම විදේශ මුදල් උපයන ජීව නාළියයි. ලොව කාර්යබහුල නැව් මාර්ගයක් ලෙස සැලෙකන්නේ සූවස් ඇළ ය. 

2015 දී, ඊජිප්තු ජනාධිති අබ්දෙල් අල් ෆාටා අල් සීසීගේ රජය‍, සූවස් ඇළ පළල් කළේය. ඒ, ලොව විශාලතම නෞකාවලට එහි යාත්‍රා කිරීමට ඉඩ සළසා දෙමිනි. 
නැව සිරවී ඇති අයුරු චන්ද්‍රිකා දසුන්වලින් ...
සූවස් ඇළ නිසා ආසියාවේ සිට මැදපෙරදිග සහ යුරෝපයටත්, යුරෝපය සහ මැදපෙරදිග සිට ආසියාවටත් භාණ්ඩ ප්‍රවාහන පහසු වී ඇත. 

සූවස් ඇළ නොමැති නම්, නැව් ගමනාගමනය සිදුවන්නේ අප්‍රිකාව කෙළවරේ සුබ පැතීමේ තුඩුව පසු කරමිනි. එසේ යෑමට දින 24 ක් ගතවන අතර, සූවස් ඇළ නිසා එම ගමනාගමන කටයුතු දින 14 කට අඩුවෙයි. 

සූවස් ඇළ ඉදිකිරීම සඳහා මුල් වරට උත්සහ ගෙන ඇතැයි ප්‍රංශ අධිරාජ්‍ය නැපෝලියන් බොනපාට්ය. ඊට පෙරද ක්‍රි.පූ 13 වැනි සියවසේදීද ඊජිප්තුවේ නයිල් නදිය, මධ්‍යධරණී මුහුද හා රතු මුහුද යා කිරීමට සැලැස්මක් තිබුණු නමුත් ක්‍රි.පූ 8 වැනි සියවසේදී එම සැලැස්ම අත්හැර දැමුණු බව ඉතිහාස වාර්තාවල දැක්වෙයි. 

ක්‍රි.ව. 1789 සහ 1799 කාලයේ නැපෝලියන් අධිරාජ්‍යයා යුරෝපයේ රටවල් ගණනාවක්ම යටත් කරගන්නා ලද අතර, ඔහු ඊජිප්තුවේදී යෙදුණු ගවේෂණයන් අතරතුර මුල්ම වරට සූවස් ඇළ නිර්මාණය කිරීමේ අදහස පහළ වූ බව පැවැසෙයි. 

නැපෝලියන් අධිරාජ්‍යයාට අවශ්‍ය වූයේ සිය පාලනය යටතේ පවතින ඇළ මාර්ගයක් භාවිත කරමින් බ්‍රිතාන්‍යයේ නාවික වෙළඳ කටයුතු සඳහා බලපෑමක් ඇති කිරීම සහ ඇළ මාර්ගය යොදාගනිමින් බ්‍රිතාන්‍යයන් විසින් සිදුකරන වෙළෙඳ කටයුතු සඳහා බදු මුදලක් අය කර ගැනීමය. 

ක්‍රි.ව. 1804 දී ඇළ මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරිම සඳහා සූදානම් වුවත්, මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද අතර තිබෙන මුහුදු මට්ටම ගණනය කිරීමේ කාර්යයේදී සිදු වූ වැරදි ගණනය කිරීමක් හේතුවෙන්, එහි ඉදිකිරීම් නවතා දැමීමට සිදුවිය. 

යළි 1858 වසරේ දී ප්‍රංශ ජාතික ඉංජිනේරු ෆර්ඩිනන් ද ලෙසෙප් සිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා උපයෝගී කරගනිමින් සූවස් ඇළ ඉදිකිරීමට ඊජිප්තු රජයේ සහය සහ එකඟත්ව ලබා ගත්තේය. 

එම එකඟතාවට අනුව, යුනිවර්සල් සූවස් ෂිප් කැනල් කොම්පැනි සමාගම පිහිටුවීම සිදුවිය. ඇළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමටත්, ඇළ ඉදිකිරීමෙන් පසු වසර 99 ක් එහි මෙහෙයුම් පවත්වාගෙන යෑමටත් එකඟතාවක් ඇති කර ගැනුනි. 

ආරම්භයේ දී, මෙහෙයුම් කටයුතු සදහා බලතල පැවැරීම වැඩි වශයෙන් සිදුවූයේ ප්‍රංශයේ පෞද්ගලික ආයෝජකයන්ටය. 1859 වසරේ සැප්තැම්බර් 25 වැනිදා සූවස් ඇළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණි. 

වසර 10කට පසුව එනම් 1869 නොවැම්බර් 17 වැනිදා සූවස් ඇළ ඉදිකිරීම් නිමවා නිල වශයෙන් විවෘත කරන ලදී. ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදලක් ඇළ ඉදිකිරීමට යෙදවිණි. 

1962 වසරේදී සූවස් ඇළේ පරිපාලන කටයුතු ඊජිප්තු රජයට හිමිවිය. සූවස් ඇළ නිසා නාවුක ප්‍රවාහනයේදී භාණ්ඩ සැපයුම වේගවත් වීම, කාලය ඉතිරි වීම, ඉන්ධන වියදම් අඩුවීම, නාවිකයන් සඳහා වන වියදම් අඩුවීම සහ සාගරයේදී ඇතිවිය හැකි ස්වාභාවික විපත් අවම වීම, කාලය ඉතිරි වීම වැනි වාසි බොහෝමයක් අත්ව ඇති අතර, අද වනවිට ලෝක ආර්ථිකයට සහ ජාත්‍යන්තර වෙළෙඳාමට විශාල මෙහෙවරක් ඉටු කිරීමටද සූවස් ඇළට හැකියාව ලැබී තිබේ.

සූවස් ඇළ හරහා දෛනිකව නැව් 50-60 අතර ප්‍රමාණයක් පමණ ගමන් කරන අතර එමගින් රැගෙන යන භාණ්ඩ ප්‍රමාණය සාමාන්‍යයෙන් දිනකට ටොන් මිලියන 3 ක් පමණ වේ. 

මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද එකම ජල මට්ටමක පැවතීම නිසා, පැනමා ඇළ මෙන් නොව, සූවස් ඇළෙ හි ජල අඟුල් නොමැති අතර සාමාන්‍යයෙන් පැය 11-16 අතර කාලයක් තුළදී සුවස් ඇළ තරණය කිරීමට නැව්වලට හැකියාව ඇත. 

අද වනවිට සූවස් ඇළේ පරිපාලන කටයුතු සිදුකෙරෙන්නේ සූවස් කැනල් අධිකාරිය හරහාය. ඇළේ මුළු දිග ප්‍රමාණය සැතපුම් 101ක් (කි.මී. 163) පමණ වේ. පළල අඩි 984ක් හෙවත් මීටර් 300 කි. 

බටහිර ඉවුර හරහා ඇළට සමාන්තරව දිවයන දුම්රිය මාර්ගයක්ද පිහිටා ඇත. 

උසින් මීටර් 19ක් හා බරින් ටොන් 210,000ක් වන සීමාවේ පවතින නෞකාවන්ට සූවස් ඇළ භාවිත කිරීම සඳහා අවසර ලබාදෙන අතර, ඇළේ පළල සම්බන්ධයෙන් තිබෙන සීමා සහිත බව හේතුවෙන් එකවිට නැව් දෙකකට මාරු වීමට දුෂ්කරතාවක් පවතී. ඊට පිළියමක් වශයෙන් එක් ධාවන තීරුවක් සහ නැවතුම් ස්ථාන කිහිපයක් ඉදිකර තිබේ. 

ඩේලිමේල්

Classified_Ad

Classified_Ad_News_Bottom