ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී ඇති වූ සිදුවීම, පැවැත්වීමට නියමිත විවාහක ලෝක රූ රැජින තරගාවලියට බාධාවක් නොවන බව, එහි ජාත්‍යන්තර සංවිධායක මණ්ඩලය සදහන් කර සිටී.
නිවේදනයක් නිකුත් කරමින් එම තරගාවලියේ Mrs.World Inc. සංවිධායකයන් සදහන් කර ඇත්තේ ජාතික තරගාවලියේදී කැරොලයින් ජූරි සම්බන්ධ සිද්ධිය පිළිබඳව තමන් පූර්ණ දැනුවත්භාවයකින් පසුවන බවය.
පසුගිය 4 වනදා නෙළුම් පොකුණ රගහලේදී පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී කිරුළ පළඳා විනාඩි කිහිපයක් ඇතුළත රූ රැජිණට කිරුළ අහිමිවීමේ අසාමාන්‍ය සිදුවීමක් වාර්තා විය.
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඔටුණු පැළඳුවා ය.
සභාවේ සිටි කිසියම් අයකු ඇය විවාහක වුව ද දැන් දික්කසාද වී ඇති බව දැනුම් දීමත් සමග තරගයේ තීරණය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුවු අතර ඊට එකඟතාව පළ කරමින් තීරක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ අනුශූරතාව ලබාගෙන ගත් තැනැත්තිය වෙත පිරිනැමී ය.